ඊයෙ පෙරේදා දවසක මම දැක්ක මිනුවන්ගොඩ කියන්නෙ මිනි වූහාන් ගොඩ කියන එක ලොප් වෙලා හැදිච්ච වචනයක් ය කියලා මීම් එකක්. හරිම නිර්මාණශීලී වැඩක් ඒක. හැබැයි මිනුවන්ගොඩ කොල්ලෙක් වසයෙන් කියන්ඩෝනේ මිනුවන්ගොඩට ඒ නම ඇවිල්ලා තියෙන්නෙ ඒම නෙමේ. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
සිරිසඟබෝ රජ්ජුරුවො හිස දන් දුන්නට පස්සෙ එතුමාගෙ පරිවාර දේවීන් වහන්සේලා තම තමන්ගෙ ආභරණ මුතු මැණික් ගලවලා අත්තනගලු ඔයට පැනලා සියදිවි නසාගත්තලු. මිනුවන්ගොඩ නගරය මැදින් අත්තනගලු ඔයේ දියත්තක් ගලා බසිනවනෙ. ඉතිං අර දේවීන් වහන්සේලා ටික ගලවලා විසි කරපු රන් රිදී මුතු මැණික් ආභරණ ටික එක තැනක ගොඩගැහිලා තිබ්බලු. අන්න ඒ මිණි රුවන් ගොඩ තිබ්බ ස්ථානය පසුව මිනුවන්ගොඩ බවට පත් උනා කියල තමා මම අසා තියෙන්නෙ.
ඉතිං බොහෝ ප්රදේශ වලට නම් හැදිච්ච විදි පිලිබඳ හරි අපූරු ජනප්රවාද තියෙනවා. මට මං පොඩි කාලෙ වෙච්ච හරි අපූරු සිද්ධියක් මතක් උනා. මම තුනේ හතරෙ වගේ ඉද්දි දවසක් අපේ අම්මගෙන් මම ඇහුවා ඇයි අම්මෙ ජා ඇලට ජා ඇල කියලා කියන්නෙ කියල. මමත් පොඩි කාලෙ හෙන කුතුහලෙන් පිරිච්ච හැමතිස්සෙම පස්න අහන බඩ්ඩක්ලු. අපේ අම්මා ඉතිං විහිලුවට වගේ කතාවක් හදලා කියල මේම.
“පුතේ ඔය ජා ඇල තියෙනවා නේද ඇලක්. අන්න ඒ ඇල ඉස්සර හරිම ලස්සන දියපාරක් ලු. පස්සෙ මිනිස්සු ඇවිල්ලා ඒ ඇලට කුණු දාලා දාලා අන්තිමට ඒ ඇල ජරා උනාලු. ඊටපස්සෙ මිනිස්සු ඒ ඇලට ජරා ඇල කිව්වලු. ජරා ඇල ජරා ඇල ජරා ඇල කියල පස්සෙ ජා ඇල උනාලු.”
අනේ ඉතිං අහිංසක මම ඔය කතාව හොඳට හිතේ තියාගත්තා අම්මට උඩු ඒකයි ඒනම් ජා ඇලට ජා ඇල කියන්නෙ අර ගඳ ගහන ජරා ඇල නිසා කියල. අනේ ඉතිං දවසක්දා පන්ති බාර මැඩම් ගම් වලට නම් හැදිච්ච හැටි ගැන කියල දෙන දවසක පන්තියෙන් ඇහුවා ඔයාලත් ඒ වගේ කතා දන්නවා නම් නැගිටලා කියන්න කියලා. මමත් පැනපු ගමන් පොර වගේ ජරා ඇලේ කතාව කිව්වා හොඳට රස කරල ලුණු ඇඹුල් ඇතිව. මැඩම් මගෙන් අහපි කවුද පුතේ ඔය කතාව කිව්වෙ කියල. මම කිව්වා ටීච අපේ අම්මා තමා කියල දුන්නෙ කියල. මට අද වගේ මතකයි මැඩම් බැලුවා වහලෙ උලු දිහා. නිකටට ආවා ඇඟිල්ලක්. විනාඩියක් විතර ඇස් කරකෝලා කල්පනා කරලා ” ආඅහ්හ් අම්මා කිව්වා නම් ඉතිං ඇත්ත වෙන්නැති ඉතිං” කියලා පාඩමත් ඉවර කරලා යන්ට ගියා.
මං හිතන්නෙ අපේ පන්තියෙ හිටපු උං තාමත් හිතං ඇත්තෙ ජා ඇලට ජා ඇල කියන්නෙ ජරා ඇල නිසා කියල. පස්සෙ මම ඕක ලොක්කා වගේ ගිහිං අම්මට කිව්වම තමා අපේ අම්මා ඔලුවෙ අත ගහගෙන කිව්වෙ හත් දෙයියනේ මම ඒක නිකං හිතලා ඔයාගෙ කරදරෙන් බේරෙන්න කිව්ව එකක් ය කියල.
ඔය වගේ මිනිස්සු විහිලුවට හදපු ගම් නම් ගොඩක් තියෙනවා. දැන් ඔය තොටලඟට නම හැදුනෙ මේමයි කියලා මලගෙදරකදි හොඳට අඩියක් ගහපු මනුස්සයෙක් කියනවා මම අහගෙන.
එලාර දුටුගැමුණු යුද්ධෙ කාලේ එලාර පැරදීගෙන එනකොට ඔන්න පොරට තේරුනාලු වැඩේ දෙල් වේගෙන එන්නෙ මේම ගියොත් මට අමුඩ ලේන්සුවවත් ඉතුරු නැතුව බඩ පුරෝලා කෑමක් තමා සෙට් වෙන්නෙ, මොකක් හරි දහංගැටයක් ගහන්ඩෝනෙ කියල. ඉතිං එලාර වහාම යැව්වලු දුටුගැමුණු රජතුමාට සංදේශයක් කුරියර් කරලා සටන් විරාමයක් ගහන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමුය කියල. දැන් දෙන්නටම දෙන්නගෙම රජමාලිගාවලට ඕක අත්සන් කරන්න යන එක ඩේන්ජරස් හින්දා දෙන්නටම එන්න පුලුවන් පොදු තැනකට එමු කියල කතා උනාලු. දැන් දුටුගැමුණු රජතුමා මාගම්පුර එලාර රජතුමා අනුරාධපුරේ. දුටුගැමුණු රජතුමා කපටි කමට එයාට ලොකු දුරක් එන්න ඕන්නැති වෙන්න ඔන්න ඔය තොටලඟ කැළණි ගං ඉවුරේ දෙන්නා සෙට් වෙමුයි කියල යැව්වලු සංදේශයක්. (එතකොට එතනට තොටලඟ කියලා නෙමේ කියල තියෙන්නෙ ඕං) එලාර රජ්ජුරුවො කෝකටත් කියල බැලුවලු මැප් එක. අම්මට උඩු දුටුගැමුණු රජතුමා කරල තියෙන කෛරාටික වැඩේ මෙයාට මීටර්ලු. වහාම ගැහුවලු ටෙලිග්රෑමයක් ඔය කියන තැන තොටලඟ උනාට මටලඟ නැතය මට එන්ට බැරිය කියල. ඉතිං ඒ පණිවිඩේ අරං ගිය ඩෑල් එක ආඅහ් මෙතනට කියන්නෙ තොටලඟ කියල වරදවා වටහා ගැනීමෙන් තමා ඔතනට ඒ නම වැටුනා කියලා කියන්නෙ. පස්සෙ ඒ ටෙලිග්රෑමය දැකලා කුපිත වෙච්ච දුටුගැමුණු රජ්ජුරුවො එලාරට දුන්නලු බැටේ ලෙල්ල හුටං වෙන්න.
ඔය කතාවත් එක්කම මට රේඩියෝ වැඩසටහනකදි දෙහි අත්තකණ්ඩියට නම වැටිච්ච හැටි ගැන කියපු කතාවක් මතක් උනා. ඒකෙත් දුටුගැමුණු රජ්ජුරුවො තමා ඉන්නෙ. දුටුගැමුණු කුමාරයා කාවන්තිස්ස රජ්ජුරුවො එක්ක වලියක් ඇදගත්තනේ එයාට ගෑණු ඇඳුම් යවලා. ඊටපස්සෙ රාජ උදහසට ලක් වෙයි කියල මාලිගයෙන් පැනලා කොත්මලේ ප්රදේශයට ගියා කියනවනෙ. ඒ ගිහිල්ලා තියෙන්නෙ දෙහි අත්තකණ්ඩිය පැත්තෙන්ලු. ඒ කාලේ ඒ පැත්තෙ ලොකු කණ්ඩියක් තිබ්ලා තියෙනවා. මගදි ගමන් විඩාවයි දුකයි නිවාගන්න ඔය කණ්ඩිය උඩ වාඩි වෙලා රා කල සොලොසක් බිව්වලු සැන්ඩි බයිට් නැතුව. ඊටපස්සෙ අනේ සිහි නැති වෙලා අර කණ්ඩිය උඩ දොං ලු. ගමේ මිනිස්සු ඇවිල්ලා පව් අසරණ මනුස්සයා කියලා එකෙක්ට කිව්වලු දෙහි ගෙඩියක් කඩං වරෙං ඉහෙයි පයෙයි අතුල්ලන්න සූර් බහිනකං කියල. දෙහි ගේන්න ගිය බුවා හදිස්සියට දෙහි අත්තක්ම කඩං ආවලු. ඊටපස්සෙ දෙහි ගාලා ගාලා මෙයාවත් උස්සං ගියාලු. හැබැයි යද්දි අර දෙහි අත්ත කණ්ඩිය උඩ අමතක කරලා ගියාලු. මගදි මතක් උනාලු එක මිනිහෙක්ට යකෝ දෙහි අත්ත දාලා නේද ආවෙ, කාගෙ හරි කකුලක කට්ටක්වත් ඇනෙයිද දන්නෑ කියල ඇහුවලු කෝ අර දෙහි අත්ත කියල. එක්කෙනෙක් ගත් කටටම කිව්වලු දෙහි අත්තකණ්ඩියේ කියල. එදා ඉඳං තමා ඒ පැත්තට දෙහි අත්තකණ්ඩිය කියල කියන්නෙ.
( උපහාසයට පමණි )