“ජෝන්….ජෝන්…නැගිටිනවා…..හතත් පහු වෙලා…යන්නේ නැද්ද ??? මේ මගුල් මකරත් අරගෙන ඉක්මනට යනවකෝ…ආර්යා උදේ හෝදල වනපු රෙදි වැල් ටික මූ ඔක්කොම කඩලා….ජෝන්…”
සංසාගේ බෙරිහන් දීමට මාව උඩ ගිහින් නැගිටුණි.
“උගේ පිට උඩ යන්න බෑ..පස්ස රිදෙනවා කියාපන්..” මට නින්දෙන්ම කියවුණි.
” මට තේරෙනව ද ඒක ඌට කියන්න..මං කියන දේ තේරෙන්නේ නෑ නේ ඒ සතාට..තමුසෙම නැගිටලා ඇවිල්ලා කියනවකෝ…අනික ඌව දැන් එපා වෙලා නම් ඔය ඕනි තරම් ඉන්නේ ගිනි පිඹින මකරෝ හොයන කෙල්ලෝ..ඒ කාට හරි දෙනවා ” සංසා නැවතත් බෙරිහන් දෙන්නට විය.
ටාගේරියන් වංශයට නෑ කම් කියන නිසා මට මකරෙකු කලීසිගෙන් තෑගි ව්දිහට ලැබුණි.ඒ ඇය වෙනුවෙන් ඇගේ සිහසුන ලබා ගැනීමට මා උදවු කල නිසාවෙනි.දැන් නම් එය තෑග්ගක් නොව හෙනයක් ලෙස හැමදාම මට වද දෙමින් සිටී.මවු රටට පැමිණීමෙන් පසු රටේ පවතින රජයට මකරා සමග උදවු කිරීම මට පැවරුණු රාජකාරියයි.
“ස්ටාරක් කෙනෙක් විදිහට හිටියනම් මේ මුකුත් නෑ නේ.ගෑනුන්ට උදවු කරන්න ගිහින් තමා මේ හැම ලෙඩක්ම”
හැමදාම උදේට මං මටම කියා ගන්නා වචන ටික එය විය.සංසා විසින් පිලියෙල කර තිබූ බිත්තර රොටී දෙක පරිප්පු හොදි සමග ගිල දැමූ මම එලියට යනවිට ආර්යා මා දෙස රවා බලන්නට විය.කෙල්ල උදේම හෝදා වැලට දමා තිබු රෙදි ටික බිමය.
” රේගා…මොකද්ද මේ උබ කරල තියෙන්නේ …ආ…?? “
මම ආර්යාට ඇහෙන්න ඌට සැර කලෙමි.ආර්යා හා සංසා මගේ නැගනියන් විය.
“හරි එහෙනම් රේගා අපි යමූ..සංසා මෙයාට කන්න දුන්න නේද???
“ඔව් ඔව්..” සංසා කේන්තියෙන් කියනවා ඇසුනි.
රේගා මාවත් කර පින්නාගෙන ඉගිලෙන්නට විය.උඩ යනවාත් සමග අල්ලපු ගෙදර චමින්ද මල්ලි අසමින් සිටි සිංදුව ඇසුනි.
“කෙලින්ම අ..අහන්න අයියා…”
දැන් ඇහෙන සිංදු හරියට අමුවෙන් අරක්කු බොනවා වැනිය.කන් රත් කරගෙන මූණ ඇඹුල් වෙන සිංදුය.රේගාත් සමග කොළඹ දෙසට පියාසර කරන්නට විය.ඒ සමගම වෝකි ටෝකි එකට පණිවිඩයක් ලැබුණි.
“ජෝන්…සයිනොෆාම් එන්නත් ටිකක් හගුරන්කෙතට යවන්න ඕනි…ඕවර්..”
“පණිවිඩය ලැබුණා..ඕවර්” මම උත්තර දුන්නෙමි.
එන්නත් ටික හමුදා මූලස්ථානයෙන් ලබා ගත් පසු හගුරන්කෙත බලා පියාසර කරන්නට විය.
“බුරුස්…” ගා හඩක් නැගුනි..
” හරි නේද??? දැම්ම නේද උබ බෙටි ටික පාරටම..රේගා..??? “
ඒ වෙද්දී අපි හිටියේ කොල්ලුපිටියට උඩින්ය.වාහන රැසක් මූගේ ජරාවෙන් වැසී ගොස් තිබුණි.එන ගමන් හගුරන්කෙත රෝහලේ වෛද්යවරයා ට ඇමතුමක් ගත්තෙමි.
“හෙලෝ ඩොක්ටර්…මම ජෝන්..වැක්සින් ටික අරගෙන එන ගමන් මකරත් එක්ක..බාන්න තැනක් තියෙනවාද??? “
“හෙලෝ..ඔව්…ආ වැලි ලොරියද…අද වැලි එපා..මන් ඉස්පිරිතාලේ ඉන්නේ..”
“නෑ නෑ වැලි නෙමෙයි ඩොක්ටර්..මම ජෝන් වැක්සින් ටිකත් අරගෙන එන ගමන් මකරා එක්ක..මකරව ලෑන්ඩ් කරන්න තැනක් තියෙනව ද..?”
“ආ…ඔහ්හ්..සොරී..ජෝන් මට හරියට ඇහුනේ නෑ..ඔව් පුලුවන් ඉස්කෝලේ පිට්ටනිය තියෙනවා..”
“හරි ඩොක්ටර් ..කට්ටියට පොඩ්ඩක් කියල තියන්න”
නැත්තන් මිනිස්සු රේගාව දැක කලබල වී දුවන්න පෙර දැනුවත් කර තැබීම නුවණට හුරුය.ඩොක්ටර් කියූ පරිදිම ඉස්කෝලේ පිට්ටනියට රේගාව ලෑන්ඩ් කලෙමි.ඒ වන විටත් ප්රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පිට්ටනියට රැස් වී හිටියේ රේගා සමග සෙල්ෆි ගැනීමටය.
“සුදු තාත්තියා එන්නකෝ ඉක්මනට සෙල්ෆි එක ගන්න..”
එක තරුණියක් එසේ කියමින් තරුණයෙකු ඇදගෙන ආවේ හරියට හරකෙක් ඇදගෙන එන ගානටය.
” මට බයයි සුදු අම්මියා..මූ තාත්තියාව කෑවොත් එහෙම..”
“එහෙම වෙන්නේ නෑ මැට්ටෝ…මන් ඉන්නකන් ඔයාට එහෙම වෙන්නේ නෑ”
“අනේ මගේ මැට්ටී…මේ මැට්ටට එච්චර ආදරයක්..මැරිලත් පැයක් ආදරෙයි මගේ සුදු අම්මියාට..”
“ඒක නෙමෙයි තාත්තියා..අපි මොකද්ද දාන කේප්ශන් එක මේකට…??”
“අපි දාමූ ෆීලින් ඕසම් විත් මම්කර බොම්යී..කියලා..”
උන් දෙන්නගේ ආදරේ දැක මට බිත්තට රොටී ඔක්කාරෙට එන්න විය.එහෙම ආදරයක් දකින්න බැරි මම තිරිසනෙක්දැයි මා ඇතුලාන්තයෙන් විමසන්නට විය.හොද වෙලාවට රේගා කාලා ආවේ.නැත්තන් මූ උන් දෙන්නව ගිලිනව ඒ ආදරේ බලා ඉන්න බැරුව.
එන්නත්කරණයට සම්බන්ද වී සිටි නිළදාරීන් මා දෙසට දිව ආවේ කඩියන් රැලක් මෙනි.මොවුන්ට ඉබ්බන් කියන්නේ මන්දැයි මට නොතේරුණි.මා අත තිබූ එන්නත් පෙට්ටි ටික ලබා ගත් සැනින් නැවතත් ඔවුන් රෝහල දෙසට දුවන්නට විය.වෙන වැඩක් නොතිබුණු නිසා මා හවස් වන තුරු එහි රැදී සිටියෙමි.රජාකාරී වේලාව අවසන් උනු ව්ගස මා රේගා වෙත ගියේ නැවත නිවෙස කරා යෑමටයි.ඒ වන විට ඌ බෙටි ගොඩක් දමා තිබූ අතර තරුණ තරුණියන් ඒවා සමගද සෙල්ෆි ගනිමින් සිටින අයුරු දකින්නට ලැබුණි.
“රේගා…බෝයී අපි යමු එහෙනම් අදට වැඩ ඉවරයි…”
රේගා පිට නගින විටම අම්මාගෙන් කෝල් එකකි.
” හෙලෝ…පුතා..ගෙදර එනකොට හංදියේ කඩෙන් පාන් ගෙඩියක් ගේනවද…ආ..නංගිට රී ලෝඩ් එකකුත් දාන්නලූ..”
අපේ අම්මාට නම් මන් එන්නේ මොකා පිටදැයි වැදගත් නැත.
“හරී …හරී….” මම කේන්තියෙන් උත්තර දුන්නේමි.
“දැන් කීයේ ඉදලද උබට කියන්නේ පාන් ගේන්න කියලා..යකෝ පාන් ගෙඩියක් අරගෙන වරෙන් ඉවර වෙන්න කලින් නැගිටලා..”
ඒ වචන ටික ඇසුනේ කන ලගය.උඩ ගිහින් ඇහැරුනි.නින්දෙයි සැප නින්දෙයි වෙනස තේරුණි.මෙට්ටය අලුත් නිසා සැප නින්දක හිද ඇත.මේ දවස් වල නැවතත් ගේම් ඔෆ් ත්රෝන්ස් බලන නිසා හීන වලද පේන්නේ ඒකමය.
“හරි අම්මේ යන්නා…..ම්” කියා මම මූණ හෝද ගන්න ඇදුනෙම්.
උපුටා ගැනීම: Danushka Munasinghe Hewayalage