ගමේ විත්ති! (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හුග කාලෙකින් කතාවක් ලියන්නේ. ගොඩක් අය ඇහුවා කො අනේ ඔයාගෙ කතාවක් නැද්ද කියලා. මන් මේ දවස්වල ජීවිතේ ගැන බොහොම බරසාරව හිතන්න පටන් අරන් ඉන්න නිසා නැගිටිනකොට පාන්දර දහයවත් වෙනවා. ඔව් ඔව් ගෑණු ළමයි හැදෙන්නෙ එහෙම තමයි. දවසක් දෙකක් නැගිටින්න පරක්කු උනා කියලා හෙණ ගහනවද?
එහෙම හෙණ ගැහුවෙ නැති උනාට ඇත්තටම හෙණ ගහපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. ඔයාලට මතක නම් අර මගෙ දේවාල කතාවේ හිටපු දේවාල අත්තලාගෙ ගෙදර ගිය කාලෙක උනු කතාවක් තමයි මේක. ඔන්න එකොමත් එක කාලෙක හිටියා හරි ලස්සනට සූටි සූටි මල් වැටිච්ච ගවුම් ඇදලා වෙල්මා වගේ කොන්ඩේ පීරන හරි ලස්සන බොනික්කියක් වගේ ගෑනු ළමයෙක්. ( මන් ගැන කිව්වේ ). ඔය ළමයට හිටියා හරිම වස නපුරු අක්කා කෙනෙක්. අක්කා මෙයාට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල්. දැන් නම් හරි හොදයි අපේ අක්කා. මන් එතකොට මොන්ටිසෝරි යන කාලේ. හැංගිමුත්තෝ සෙල්ලම කරන්න ඔය ගෙදරට පිරෙනවා ගමේම ළමයි අටක් දහයක් වගේ සෙට් එකක්. අයියලා අක්කලා සේරම. මට මතක විදියට මට වඩා බාල කෙනෙක් හිටියෙ නැ. මන් කිව්වනේ කලිනුත් ඒ ගෙදර තියෙන්නෙ වෙලක් මැද්දේ කියලා. හෝ දහස විස්ස තිහ හතලිහ කියලා අන්තිමට ඉතුරු වෙන එකා අත්තා වෙලා එයා තමා හැන්ගෙන අයව හොයන්නේ. ඊටපස්සෙ කවුරුහරි හයිය තියෙන කෙනෙක් සැමන්ටින් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් අරන් උසි කපුටො උසික්කා කියලා පුළුවන් තරම් ඈතට විසි කරනවා. එතකොට හොයන්න ඉන්න කෙනා ගිහිල්ලා අරක අරන් ඇවිත් මිදුල මැද්දෙන් ලී කෝට්ටක් හිටවලා තියෙන තැනින් ඇවිත් විසික්කරපු එක තියනවා. ඒ ටිකට විසික්කරපු කෙනා දුවලා ගිහින් හැන්ගෙනවා. ඕක තමා සෙල්ලම.
දැන් මාත් විරිත්ත විරිත්ත අක්කලා අයියලා අහුවෙන ඕන එකෙක් පස්සෙ දුවනවා. වැඩියෙ දුවන්නේ නෑ.. මට වැඩි වෙලා හැන්ගිලා ඉන්න බෑ ලෙඩක් හැදෙනවා. වැඩි වෙලාවක් හිටපු ගමන් වකුගඩුවල ක්රියාකාරීත්වය වැඩිවෙලා ඉක්මනට වතුර පෙරෙන්න ගන්නවා. ගොඩක් වෙලාවට කවුරු හරි එක්ක හැන්ගෙන්න ගියාම මන් හොරෙන් අහනවා, කෝ.. එනවද කියලා. ඒත් මොකෙක්වත් උත්තර දෙන්නෙ නෑ කෑ ගහන්න එපා කියලා අතින් සංඥා කරනවා විතරයි. මට ඉතින් එහෙම බෑ ප්රශ්නයක් ඇහුවොත් උත්තර ඕනා. මන් ඉතින් ඈ ඈ ගගා හැන්ගිලා ඉන්න තැනින් නැගිටලා හොරෙන් හොරෙන් අඩි තිය තියා හොර පූසි මීකිරි කන්න වගේ හොම්බත් උල් කරාන යනකොට හොයන්න ඉන්න එහාට මාලු දැල දැම්මා වගේ එක තැනින් හතර පහක් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට කවුරුහරි අක්කෙක් මාව මුල්ලකට හේත්තු කරවලා ඒ ගොල්ලො දූවලා යනවා මට පේන්නෙ නැතිවෙන්න. මොකද මන් දැක්කොත් එයාලගෙ පස්සෙන් යයි කියලා.
හහ්! වැඩේමයි මටත් පස්සෙන් යන්න. පුළුවන් තරමක් හැන්ගිලා ඉදලා බැරි උනොත් මන් තනියම පටන් ගන්නවා සෙල්ලම් කරන්න. ඉතින් කියෝනවා තනියම. මහිලා සමිතියක් ගැන සෙල්ලමක් කරොත් එතන ඉන්නෙ ගෑනු විසිපහක්ද ඒ විසි පහේම භූමිකා එකම වේදිකාව රගදක්වන්නෙ මන් තමයි. සමහර වෙලාවට සෙල්ලමට ඕනා කරන පුටුවක් එහෙම ගන්න යන්න වෙන අවස්තාවලදි මාව දැක්කෝ කියලා කෑගහලා මව සෙල්ලමෙන් අයිනුත් කරනවා. මලවිකාර කවුද එයාලා එක්ක සෙල්ලම් කරන්න ආවේ මන් මේ තනියම සෙල්ලමක් කරනවා කියලා පුටුව අරන් මගේ තැනට යන ටිකට ගොලුබෙලි ප්රජාශාලාව වගේ ගේ ඇතුළ! සේරමලා හැන්ගිලා ඉන්නේ ගේ අස්සේ. මට එදා ඉදන්ම කවුරුමහරි නිතර දෙවෙලේ කල්පනා කර කර විදවනවා බලන් ඉන්න බැරි පුරුද්දක් තියෙන නිසාම හොය හොයා ඉන්න එකාට ගිහින් පහලගෙදර ආරියවති ඇද අස්සේ ඉහළ ගෙදර සිරියාවති දොර මුල්ලේ කියලා අර මනුස්සයාගෙ වේදනාව හෑල්ලු කරලා එනවා. ඔය සේරටම කවුරුත් මට මුකුත් නොකීවට අපේ අක්කට නම් කියලා තිබ්බා අපො ඔයාලගෙ නංගිව කොහෙහරි හන්ගනවකො කියලා.
අපේ අක්කත් විදේශීය කුමන්ත්රණ වලට මුවා වෙලා ගොනා වගේ හාවි වගේ ඉන්න මාව ඉස්සරලම හන්ගන්න වග බලාගත්තා. ඊටපස්සෙ ඔන්න මාව එක්කන් ගියා තඩි බැරල් එකක් ලගකට. වැහි වතුර එකතු කරන බැරල් එකක්.. තව අයියා කෙනෙක් එක්ක මාව උස්සලා මුන් දෙන්නා මාව දැම්මා අර තඩි බැරල් එකට. දාලා වහලා මුන් දෙන්නා දැන් ගියා. බැරල් එක තිබ්බෙත් මිදුලෙ පැත්තකට වෙන්න. දැන් ඉන්නවා ඉන්නවා. ටික ටික හුස්ම ගන්නත් බෑ වගේ මට. මොනාකරන්නද ඒත් හැන්ගිලා නේ. අන්තිමට හොයාගන්න කෙනානෙ දිනන්නෙත්, ඒ හින්දා මාත් සද්ද වහලා හිටියා. ඉන්නවා කීවට ඉතින් ඉන්නත් අමාරුයි. බැරල් එක ඇතුලෙන් අමුතු සැර ප්ලාස්ටික් සුවදකුත් එනවා. හුස්ම ගන්නත් අමාරුයි. හිමීට හොරෙන්ම අක්කේ අක්කේ කීවට කවුරුත් උත්තර දෙන්නෙත් නෑ. මන් දැන් ආයේ ඇගිලි ටිකත් කට ලගට අරගෙන තනියම හිනාවෙවී ඉන්නවා මන්නෙ දැන් දිනන්නේ කියලා. ඒ හිතලා අනිත් අතට ඉන්න බැරිබවත් දැනෙනවා. දාඩියත් දානවා. හුස්ම ගන්නත් අමාරුයි. ඉන්නම බෑ කියලා තේරුන හින්දා අත් දෙකෙන් ගැහුවා අර ප්ලාස්ට්ක් බැරල් එකට ඇතුලෙ ඉදන්ම තක තක ටකට ටකට කියලා. ඒ සද්දෙට හොයන්න හිටපු අයියා ඇවිත් මාව එදා ගොඩ ගත්තෙ නැත්නම් ඉතින් ඉල්ලෙ හුස්ම සෙයිදු වාන තමා.
ඒ ක්රමෙත් හරිගියෙ නැතිපාර ඊලගපාර අක්කලා මාව ගේ ඇතුලට එක්කන් ගිහින් කරුවල කාමරේකට දැම්මා ආයුධ පෙන්නන්න වගේ. ඔන්න ඊටපස්සෙ කොහෙන්දෝ මන්දා පැදුරක්ද මාගලක්ද දන්නැ ලොකු මොකක්හරි අරගෙන ඕකෙන් මාව මමිය වගේ ඔතලා දොර මුල්ලකින් තියලා ආයෙ මුන් ටික වාස්ප උනා. බැරල් එක ඇතුලෙ මැරුනා නම් සැපයි දෙයියනේ මේක අස්සෙ ඉදන් තැම්බෙනවට වඩා. බයික් එකකින් ගිය එකෙක් ටිපර් එකකට යට වෙලා තව මදිවට විල්බැරෝව ඉස්සරහා රෝදෙට චප්ප උනු එකෙක්ව ඔතලා වගේ මන් දැන් චයිනීස් රොල්ස් එක වගේ ඉන්නවා. එක විදියකට ඉන්න පුළුවන් එකෙක් නෙමෙයි හින්දද කොහෙද මට දැන් අත පය හොලවන්නම ඔනා. ටිකකින් දැනෙනවා නහය කසනවා වගේ. ආයෙ ටිකකින් ඔලුව කසන්න ඕනා වගේ. තව ටිකක් වෙලා ඉන්නකොට මොනවද මන්දා කටු කටු ඇගේ ඇනෙනවා වගේ ඉන්නම බෑ. උඩ බැලුවාම වහලෙ විතරයි පේන්නෙත්. දැන් ටික ටික අර බැරල් එක ඇතුලෙ ඉන්නකොට ලාවට වර්ධනය උනු සුලුදිය අමාරුව වකුගඩු ඔස්සේ මහා බඩවැල හරහා පෙනහලු දක්වා එනවා වගේ තේරුනත් මාවා මේ මගුලකින් ඔතලා යන්න විදියක් නෑ නේ.
දැන් ඉන්නම බෑ.. අතින් තද කරගන්න අත් දෙක හොයනවා හොයනවා අත්දෙක කොහෙද නෑ. අක්කේ අක්කේ ගෑවට අක්කත් අහල ගං හතකවත් නෑ. ලොකු එකෙක්නම් ඉවසන් ඉදියි පොඩි එකෙක් කොහොමද යකෝ මනස පාලනය කොරගන්නේ ඕක ඉවසගන්න. ඕන මගුලක් කියලා පැදුර හපාගෙන මාත් කකුලක් උස්සලා බැලුවා. මරු වැඩේ දැන් ටිකක් පැදුර බුරුල් උනා. අනිත් කකුලත් උස්සලා බැලුවා.. අවුලක් නෑ ශේප් පැදුර උස්සගන්න පුළුවන් නම් අඩිදෙකක් විතර යාගන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙට දැන් කොරවක්කා ගංජා ගහලා වෙලේ ඇවිදිනවා වගේ මාත් දැන් පැත්තට කකුල් තිය තිය ඉස්සරහට යනව. යන්නෙ කොහෙද කියලා දන්නැ. මොකද ඔලුව උස්සලා උඩ විතරයි බලන්න පුළුවන් වහලෙ විතරයි පේන්නේ. කොරන්න දෙයක් නෑ.. පුළුවන් විදියට දැන් උඩ බලාගෙන උලු එකා.. යි උලු දෙකා….යි උලු තුනා…යි කියලා අඩිය තියනකොට මෙහෙන් ජල බිංදු ක්රමයට බිංදු බිංදු තාරකා එකින් එක එක කදුලු වගේ දිය වෙලා බිමට වැටෙනවා. බිංදු වැටි වැටී ටික ටික ඉස්සරහට යනවා. ඒ අස්සෙ ටික ටික පැදුර බුරුල් වෙනවා. මාත් හැන්ගිලා අහුවෙන්නෙත් නෑ. ඔහොම හිත හිතා ගියා විතරයි අනෙ අම්මෝහ් ! කියලා කාටහරි කිය වුනා. කටහඩේ හැටියට නම් ගෙදර කිරි අම්මා වෙන්න ඕනා. ඒත් කියන්න බෑ නේ හොයන්න ඉන්න එකාද දන්නෙත් නෑ නෙ. නිකන් බොරුවට අවදානමක් ගන්න ඕනේ නැති නිසා කටපියාගෙනම හිටියා. මාත් උඩ බලාගෙන ඉන්නකොට මට පේනවා මන් දිහා ගිලින්න බලාගෙන ඉන්න උත්තල වෙලා සමතලා වෙච්චි තඩි මූනක්. බලනකොට මන් හිතුවා හරි කිරි අම්මා පැදුර ඇතුලට එබිලා බලලා වී වේලන ලොකු මාගලට කොහෙන්ද කකුල් ආවේ කියලා.
පස්සෙ ඉතින් අපි දෙන්නා සුහද සාකච්චාවක් දාලා එයා මාව හන්ගගෙන පැදුර පිටින්ම ඔතාගෙන ගිහින් පිලිකන්නෙන් තිබ්බා.. ඒ වෙනකොට මට දාන්න ඉතුරු වෙලා දෙයක් තිබ්බෙ නැති තරම්. මොකද කාමරේ ඉදන් සාලෙට එනකන්ම සිග්සැග් මැෂිමකට අහු උනු ගැඩවිලෙක් ගිහින් වගේ හරී ලස්සනට දියසීරාවක් ගලාගෙන යනවා සාලෙ මැද්දෙ. කොහොමහරි එදා පැදුර විසික්කරලා හොදලා වේලෙන්න දාලා මාවත් හෝදලා කිරිඅම්මා මාව තියාගත්තා. අක්කලා සෙල්ලම් කරා.
ආයෙ ඔන්න නිවාඩු කාලෙක ඔය ගෙදර ඉන්නකොට ඔහෙ ඉන්නවා ගොලු අත්තෙක්. අපේ අත්තා කියලා තිබ්බා ගොලු අත්තට කතා කරන්න ඕනේ ගොලු භාශාවෙන්මය! අපි කතා කරන එක එයාට ඇහෙන්නෙ නැතය කියලා. මාත් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හරි හරි කියලා ඔය කියන කාරණා හොදින් ධාරණය කරලා සුපුරුදු පරිදි මගෙ යටිබඩේ ගබඩා කරගත්තා. පහල වෙල ගාව තියනවා වතුර එන පීල්ලකුයි උල්පත්දිය දාන පොඩි ලිදකුයි. පීල්ලට ටිකක් එහායින් තමයි ලිද තියෙන්නේ. අපි ඔතනින් තමයි නාන්න යන්නෙ. දවසක් කිරි අම්මයි මායි නාන්න යනකොට ඉන්නවා ගොලුවා නියරක් උඩ ඉදගෙන. කිරි අම්මා ඉතින් ගෙදර පාපිස්සෙ ඉදන් හෝදන හින්දා මට ඒ වෙනකන් කැමති දෙයක් කරගන්න පුළුවන්. හැබැයි පේන මානෙ. මොකද මන් පොඩි කාලේ දෙපාරක් තුන්පාරක්ම ගෙදර පූසා ලිදටයි පීල්ලටයි දාලා උන්ට හිතාගන්න බැරි ලෙඩ හැදුනලු. එදා ඉතින් ගොලු අත්තා හිටියනෙ. ඒ හින්දා පාලුවක් නෑ. දැන් ඉතින් ගොලු අත්තා මොනාදෝ අහනවා. මට නම් මෙලො දෙයක් තේරුනේ නෑ. ඒ භාෂාව හරිම සංකීර්ණයි මට. මන් මට කැමති එකක් කියනවා. ගොලු අත්තා එයාට කැමති දෙයක් කියනවා. ගොලු අත්තා අහන්නේ මට සින්දු කියන්න පුළුවන් ද කියලා නම්… මන් කියන්නේ අපේ අප්පචිලාගෙ ගමෙ එතන හාමි මෙතන ඉදලා අතෙන්ට දිව්වා නම් උන්දැ දපනෙ දාලා වැටෙන හැටි ගැන. ගොලු අත්තා මට කියන්නෙ කතන්දරයක් කියන්න කියලා නම්.. මන් ඉතින් පුළුවන් තරමින් ඉන කඩ කඩ අත් විහදලා මොණරි වගේ
අගර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි…
වැට දිගේ බිම දිගේ මල් පිපිලා පොරි වගේ… කිය කියා බිමට එනකන් නැමිලා නියරෙ නිකට වදිනකන්ම සර්ස්වතීට ආවේස උනු පත්තිනි වගේ නටනවා.
ගොලු අත්තාත් මට උපරිම සහයෝග දුන්නට මොකද විසිල් ගහගහ්න්න බැරිව ලග තියෙන ගල් කැට මඩ කැට ඇහිද ඇහිද ජබොග් ගාලා සද්දෙ ඇහෙන්න ලිදට දානවා. පොඩි සද්දෙටත් මන් ලිදට වැටුනද බලන කිරි අම්මා මන් කෙලින් කටින් ඉන්නවා දකිනකොට ලිපට පිබිනවා වගේ හුස්මක් පිටකරලා රෙදි හෝදනවා. ගොලු අත්තා මරු වැඩ කාරයා. මොනවා උනත් මාව සතුටු කරන්න විදියක් හොයාගත්තනේ. මාත් ඕක කරන්න ඕනා කියලා හිතාගෙන කුඹුරෙ තිබ්බ වී පැල ටික අත් දෙකෙන්ම දෑත බදලා ගලවලා ලිදට දානවා දැන්. දොස් දොස් ගගා ටික ටික වී පැල ටික ලිදේ. මරු වැඩේ. ලිදෙන් එකයි මඩ. ගොලු අත්තා දැන් පිස්සා නම් ඔලුව වනයි වනයි කියනවා වගේ ඔලුව වනනවා. මන් දැන් ගොලු අත්තට අතින් පුළුවන් තරම් හැඩ වැඩ දාලා කිව්වා ඔයත් කරන්න් ඔයත් කරන්න කියලා. මොන! ගොලු අත්තා මන් කියන එක අහන්නෑ ඔලුව වනවා. උන්නු තැනින් නැගිටලා ආව ගොලු අත්තා මගෙන් පස් පිඩක් ඉල්ලාගත්තා. මටත් දැන් හරි සතුටුයි. එයත් සෙල්ලමට කැමතියි. මාත් පුළුවන් තරම් වෙලට බැහලා මඩ හාරලා හාරලා මඩ කරියා වගේ දෝතින්ම වීපැල ටිකක් එලතු කරලා ලිද දිහා බලාන හිටියා. බලාන හිටියට ගොලු අත්තා එව්වා ලිදට දැම්මේ නෑ. මන් දෙන දෙන එක ආයෙ කුඹුරෙ හිටවනවා. මට දැන් යක්ස කේන්තියි. එයාමයි පටන් ගත්තේ. මන් මේ වෙනකොට මගෙ උපරිමය සෙල්ලම වෙනුවෙන් යොදවලා මඩ කරියෙක්ට චොක්ලට් පුඩිං කවලා වගේ. මෙ මනුස්සයා මාව සෙල්ලමට අරන්.
හිටපන්කො කොරන්න කියලා අත්තට කිව්වා ඉදගන්න කියලා. අත්තත් අනේ ඉදගත්තා. ගියා ලිං බැම්ම ලගට. ගත්තා කිරි අම්මගෙ චීත්තෙ. කිරි අම්මා ඇහුවා මොකටද චීත්තෙ කියලා.. මන් කිව්වා මන් සෙල්ලම් කරනවා ගොලු අත්තා එක්ක කියලා. පිටිපස්ස බලපු කිරි අම්මා ගොලු අත්තා දිහා බලලා ටිකක් වෙලා කල්පනා කරා. එතකොටම අත්තා අතක් උස්සලා ආහ්.. හරි හරී.. ළමයව බලාගන්නම් වගේ සංඟාවක් දුන්නා. කිරි අම්මා ගොලු අත්තට මොනාදෝ අතින් කිව්වා. මන් දන්නැ මොනා කීවද කියලා. මට එව්වගෙන් වැඩක් නෑ.. ලොකු අයගෙ කතා මොකටද ළමයින්ට! කිරි අම්මා අනිත් පැත්ත හැරිලා රෙදි හෝදනකන් ඉදලා.. ගොලු අත්තගෙ අත් දෙකම ඉල්ලගනෙ අත්දෙක එකතු කරලා චීත්තෙන් බැන්දා. දැන් ගොලු අත්තා අයේ හැහ් හැහ් හැහ් ගගා දගලනවා. මාත් පට පට ගාලා ඉදගෙන උන්නු ගොලු අත්තගෙ මුනේ ඉදලා පාදන්තය දක්වාම මඩ ගෑවා, මඩ කැව්වා, මඩ පෙව්වා, මඩ වලින් ඇගේ පච්ච ඇන්දා. මරු හිනා මට දැන්. වෙසක් එකට බලුප් වැලක් දාලා තොරණකට ගන්න පුළුවන් අපෙ ගොලු අත්තව. මන් දැන් ගොලු අත්තා වටේට යනගමන් වී පැලෙන් පැලේ ගොලු අත්තගෙ ඇගට දානවා. නමෝතස්ස බුද්දං සරණං දේවානම්පියතිස්ස කියලා මොන්ටිසෝරියේ ඇහෙන බෞද්ධ වචන ටිකක් කිය කිය වටේ යනවා. අම්මලත් එහෙමනෙ පැන් කල අරගෙන බෝ ගහ වටේ යන්නේ. ඒ වගේ යනවා. හිතන තරම් වෙලාවත් කියන තරම් වෙලාවත් යන්න උනේ ගොලු අත්තා ගොඩ්සිලාට ඉස්පොල්ලෙ ගියා වගේ මෙන්න බොලේ එකපාරම නැගිටලා ගියා පීල්ල දිහාට. ගොලු අත්තව දැක්ක කිරි අම්මා තව ඩිංගයි බාගයයි හුංගයි තුන්කාලෙන් ලිදේ!
කෝමහරි අපේ කිරි අම්මා වැඩේ කෑවා. ගොලු අත්තාගෙ අත් දෙක ලෙහලා සතුරාව ග්රහනයෙන් මුදවා ගත්තා. අත්තව ලෙහන ගමන් කිරි අම්මා කියපි,
“” ඕකනෙ මන් කිව්වේ පරිස්සමට කියලා , ඇහුවෙ නෑ නෙ.. “
ඇත්ත තමා කිරි අම්මා කියන්නේ, ගොලු අත්තට ඔය මුකුත් වෙන්නෑනේ මන් දුන්නු විදියට වී ටික ලිදට දැම්මා නම්. කොහෙද පන්ඩිතකමනෙ.
ඔන්න ඉතින් ඒ දවසත් ඔහොම ඉවර වෙලා ඉර බස්නාහිරෙන් ඕෆ් වෙලා ඊලගදවසෙ ආයෙ නැගෙනහිරින් වැඩට ආවා. උදේට කුඹුරට එන ගිරව් කොක්කු වගේ කුරුල්ලෝ පන්නන්න තැනින් තැන සුදු ඉටිකොල ගහලා තියනවා වෙල මැද. ඊට අමතරව අත්තා බෙලෙක් පිගන් දෙකක් අරන් ඔය දෙක සද්දෙට ගහපුවාම උන් බය වෙලා යනවා. එහෙ ඉන්න දවස්වල ආසාවෙන්ම ඔය වැඩේ බාරගත්තේ මන්. ගෙදර පිටිපස්සෙ ඉදන් පල්ලමක් බැහලා තමා වෙලට යන්නෙ. ගෙදර පිටිපස්ස, ඊටපස්සෙ පල්ලම, ඊටපස්සෙ පොඩි පාරක්, ඊටපස්සෙ වෙල. බොහොම පොඩි දුරයි. ඔය පාරට කලින් අතරමැද්දේ තියනවා කම්බි වැටක්. මන් දැන් ඔතන ඉදලා ටයිටනික් නැවේ බෑන්ඩ් එකේ සිම්බල් එක ගහන එකා වගේ ටක ටක ටක ටකර ටකර පටෝං කියලා අර බෙලෙක් පිගන් දෙක ගහනවා. කුරුල්ලෙක් කූඹියෙක් තියා පාරෙ එහා මෙහා යන බල්ලෙක්වත් ඔය වෙලාවට යන්නෙත් නෑ. ඊටත් වඩා මුලු ගමම දන්නවා.. අන් අර අපේ අම්මගේ දුව නිවාඩුවට ගමේ ඇවිත් කියලා. මගේ සද්දෙට වඩා හයියෙන් වැහෙන ගෙදර දොරවල් වල සද්ද ජනෙල්වල සද්ද එහෙම ඒ වෙලාවට ඇහෙනවා. උදේම හින්දා මන් ඔතෙන්ට එන්නේ රෑට පොරවපු බෙඩ් සීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන හර්න් දෙවියි රොබින් බලන්න එනවා වගේ.
ඔන්න එතකොට බල්ලෙක්වත් යන්නෙ නැති පාරෙ ගොලු අත්තා එනවා. ගොලු අත්තා අපේ අත්තා එක්ක ගජ යාලුයි. ඊයෙ මඩෙන් නෑව්වට ගොලු අත්තා මාත් එක්ක තරහා නෑ. උදේම ඇව්ල්ලා මාව බලන්න. මට දැන් පහලට අඩ ගහනවා. මාත් දුවගෙන ගියපු පාර අම්මටසිරි උනු උනු හැලප ලෝකයක්. කෙලත් ගිලලා කන්න යනකොට වඩාගන්න එන්න කිව්වා. ගොලු අත්තා, අපේ අත්තා, අප්පච්චි ඔය කවුරුත් ඉස්සර මාව කරේ තියාගෙන යනවා. ඒ හින්දා ඒක මට අරුමයක් නෙමෙයි හින්දා මාත් ඉතින් අත් දෙකම උස්සලා රෙද්දත් උන්ඩි කරගෙන පිගන් දෙකත් තද කරගෙන කරට නැග්ගා. ඒත් මේන් බොලේ ඉස්සරහට යන්න ඔනා ගොලු අත්තා පිටිපස්සෙන් පිටිපස්සට යනවා. මුන්දෑ අද බස්නාහිරෙන් නැගිටලාද කියලා කල්පනා කර කර ඉන්නකොට මාව ටික ටික ලිහිල් වෙනවා වගේ දැනුනා. දැන් මට පේනවා ටික ටික අත්තා ඉස්සරහට ඇග ගන්නවා. මන් උන්නු තැනමයි. දෙයියනේ..! මේ මොකක්ද මේ වෙන්නේ.. සුවර් එකටම ඊයෙ ගොලු අත්තා මඩේ ඉදලා මී උණ හැදිලා පීල්ලෙන් නාලා නිව්මෝනියාවට ඇවිල්ලා මැරිලා. අද මේ හොල්මන තමයි ඇවිත් තියෙන්නේ කියලා හිතනකොටම, හර්න් දෙවියන්ගේ බෙඩ් සීට් එක අරගෙන මගෙ ඔලුවෙ ඉදන් වැහුවා වැහුවමයි එලිවෙලා තිබ්බ මගේ ලෝකෙට එකපාර හෙණ ගහලා කරන්ට් ගියා. ආයෙ එක අතකින් රෙද්ද අල්ලලා පල්ලට විසි කරපු මන් වටපිට බලනකොට ගොලු අත්තා නෑ.. ඒ පාර නම් හොලමනක්මයි කියලා බය උනු පාර ඇගට තදකරන තිබ්බ බෙලෙක් පිගන් දෙකෙන් පුලුවන් තරම් වෙර දාලා සට පට සට පට ගාලා කොත්තු බාස්ට සහරා ෆ්ලෑස් එකේ ඩ්රම්ස් අයියා වැහිලා ඒ අයියට සන්ෆලවර් එකේ කීබෝඩ් අයියා වැහිලා ඒ අයියට දෙවෙනි ඉනිමෙ රමන් බල්ලා වැහිලා තුල්සිට කනට ගහනවා වගේ වේගෙන් පිගන් දෙක එකට තියලා සත්සාර නාද වලට කලන්තෙ දානක්න් ගැහුවා. ගැහුවා ගැහුවාමයි ඕන් එතකොට අත්තයි කිරි අම්මයි අක්කයි තුන්දෙනාම ඇවිල්ලා කුණු සොපින් උරයක් කොට්ටකින් උස්සලා ගන්නවා වගේ වැටේ එල්ලිලා උන්නු මාව උස්සලා අරන් බිමින් තිබ්බා. ඊයෙ මඩ නෑව්ව තරහට මාව වැටෙ අමුනලා එල්ලලා ගිහින් පලිය පිරිමහගත්තෙ ඕන් ඔහොමයි අපේ ගොලු අත්තා.
අදටත් අපි ගජ යාලුවෝ. තාම ඉන්නවා අපේ ගොලු අත්තා. ලේ නෑකමක් නැතත් එයාගෙයි මගෙයි බැදීම හරිම ඉස්තරම්.
උපුටා ගැනීම: Prabhashwari Ilangasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!