රෑට නිදාගන්න කලින් කාමරේ ලයිට් ඒක ඕෆ් කරන ප්රොසීඩර් එකක් තියෙනව.
ඇද හදාගෙන එලාගෙන නෙට් එක දාලා, පෝන් එකේ ටෝච් එක පත්තු කරල නෙට් එක ඇතුලෙ ඇදෙන් තියනව. ඊටපස්සෙ ස්විච් එක ලගට ගිහින් ආපහු ඇද දිහා බලල මාර්ගය පැහැදිලි කරගෙන ස්විච් එක ඕෆ් කරල තත්පරේට අඩි තුනක වේගෙන් නෙට් එක උස්සන් ඇදට පනිනවමත් නෙවෙයි ඇදට කඩාවැටෙනව තමයි ගැළපෙන්නෙ.
ඉතින් මෙහෙම වැටුණු වෙලාවට එක පාරට හම්බුනු ප්රවේගය ශුන්ය වෙලා නිශ්චල වෙලා ගිය එක දරාගන්න පොඩි වෙලාවක් යනව.
එහෙම වෙලාවට උඩබැලි අතට ඉද්දි පත්තු වෙලා තියෙන ටෝච් එකෙන් පේනව නෙට් එකේ ඇතුලට ඇවිල්ලා ඉන්න මදුරුවො එකා දෙන්නා.
නෙට් එකේ පහළ ස්තරය ආක්රමණය කලොත් විතරයි ප්රහාර එල්ල කරන්නෙ. ඒ මගේ ප්රතිපත්ති, නැතුව ඇද මැද නැගිටගෙන හිටගෙන ඌව මරන්න තියෙන කම්මැලිකමට නෙවෙයි.
ඉතින් මෙහෙම මරාගන්න බැරි මදුරුවො එකා දෙන්න නෙට් එකේ ඉහල ස්තරයට ගමන් කරනව පේද්දි මට කාලකණ්ණි සතුටක් උද්දීපනය වෙනව.
ඒ මගේ පසුපෙළ ආරක්ෂක භට පිරිස දැකල. නෙට් එකේ උඩම ඉන්නව ගම්මිරිස් ඇටයො කීපදෙනෙක්. මකුළුවො නෙවෙයි, මැද ගම්මිරිස් ඇටයක් වගේ ඔලුව තියෙන ඒ වටේට නැමුණු කකුල් අටක් තියෙන ඈයෝ. ඉන්නෙ දැල් එළාගෙන.
ඉතින් මන් බලන් ඉද්දි උඩ ස්තරයට යන මදුරුවො ඕකකගෙ පැටලෙනව. ඊටපස්සෙ ඇටයො දැල ඔතනව.
ගම්මිරිස් ඇටයොන්ට කෑම හම්බෙනව. මට කරදරයක් නැතුව දෙයියනේ කියල නින්ද යනව. මන් දැල් කඩන්නෙත් නෑ මදුරුවො මරන්නෙත් නෑ. දැල් කඩල ආහාර දාම වලට ඩිස්ටර්බ් කරල පරිසර තුල්යතාව විනාස කරන්න හොද නෑ, එහෙමයි අපි ඉගෙනගෙන තියෙන්නෙ.
ඉතින් අද අම්මා නෙට් එක මාරු කරල, අම්ම කොහොමත් මගෙයි ගම්මිරිස් ඇටයොන්ගෙයි සහජීවනයට වැඩි කැමැත්තක් නෑ.
ඉතින් අද මදුරුවො පහල ස්තරයට එනකන් බලන් ඉන්න වෙලා.
ඒ ඉන්න ගමන් මේ ලිව්වෙ. මේ ඉහළ තියෙන්නෙ ගම්මිරිස් ඇටයන්ගෙන් හුදකලා වූ නෙට් එකේ ඉහල ස්තරයට මේ මොහොතේ මට දිස්වන ආකාරය දැක්වෙන පෝටෝවක්.
උපුටා ගැනීම: Merida DunBroch