ගම්පහ දෙවෙනියා හරිය…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දුම්රිය ස්ථානාධිපති තනතුර මහජනයා සමඟ සෘජුවම ගැටෙන තනතුරක් වන අතර දුම්රිය ස්ථාන සීමාව තුල සිය අධිකාරී බලය පතුරවා මෙහෙයුම්, පරිපාලන, ගිණුම් සහ දේපල කළමනාකරණය ආදී බහුවිධ රාජකාරි ගණනාවක් ඉටු කරයි.
වර්ෂ 2000දී හඟුරන්කෙත ප්රදේශයෙන් දෙවන පෙල දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙස තේරී පත්වූ තරුණයෙකු වැඩ බාර ගැනීමට කොටුව දුම්රිය ස්ථානයට පැමිණියේ ගමේ නෑදෑ හිත මිතුරන් පිරිවරා ගත් දොර දෙකේ බස් රථයකිනි. පැමිණි සියල්ලගේම ආශිර්වාදය ලැබ ඔවුන්ගෙන් සමු ගැනීමට තවත් පැය කිහිපයක් ගියේ පිරිස කොටුව දුම්රිය ස්ථානයේ අස්සක් මුල්ලක් නෑර වන්දනා කල බැවිණි.
ඒ කාලයේදීම ආපු තවත් අයෙක් ඉතා අපූරු ලෙස පත්වීම බාරගත් ආකාරය අද ප්රසිද්ධ කරමි.
නමින් ඒකනායක වූ මේ තරුණයාගෙ ගම ගිරිබාවේය. වත්මන් ගම්පහ ප්රධාන දුම්රිය ස්ථානාධිපතිත් ඒකනායක නමින් වූවාට මේ එයා නොවේ.
ඉතින් අපේ කතානායක ඒකනායකගෙ ගෙදරට දිනක් පත්වීම් ලිපියක් ලැබුණි. තවත් පැයක් යන විට අහල ගම් හතකම උදවිය මේ අපේ ඒකනායකට දුම්රිය ස්ථානාධිපති පත්වීමක් ලැබුණු බව දැනගෙන හමාරය.
එදා හවස් වන විට ක්රිස්කො ටින් එකක් කෙහෙල් ඇවරියක් ඔතා ගත්තු ගමේ බහුතරයක් ආශිර්වාද කරන්නට ඒකනායකලගේ ගෙදරට රොක්විය. ගමේ අක්කලා ඇවිත් “මල්ලි ගොඩ ගියා” කියා ඔලුව අතගා විකාරයක් කලෝය. එහෙම දෙයක් පොඩි කාලෙත් වෙලා ඇතිමුත් ඒක මෙතන කියන්න බැරිය.
පත්වීම් ලිපිය ලද දින සිට වැඩ බාර ගැනීමට ගිය දිනය දක්වා ඒකනායක ගෙදරට නොපැමිණි කෙනෙක් ඒ ගමේ නොවීය. හැමෝගෙම බලාපොරොත්තුව ඒකනායකට කියා තමන්ගෙ පුතා සහෝදරයා රේල්ලුවට දාන්නය. ඉතින් අපේ මිත්රයා ඒ දවස්වල ගෙදරට ඇන්දෙත් සුදු නිල ඇඳුමක් බව දැනගන්නට ඇත.
වැඩිහිටියෙකු අවවාද කලේ ළඟම තියන ගල්ගමුව දුම්රිය ස්ථානයට ගිහින් විස්තර අහමු කියලය. ඒත් පත්වීම ගම්පහට ඒකත් දුම්රිය ස්ථානාධිපති දෙක ලෙසය. ඉතින් ගල්ගමුවෙ කට්ටිය ඉරිසියා කරයි කියලා විස්තර අහන්න ගියේ නැත.
ඉතින් පත්වීම බාර ගන්න දකුණු කකුල පෙරට තිය තියා ගොස් කෙසේ හෝ ලොකු අයියා සමඟ ගම්පහට ඒකනායක ආවේය.
කෝච්චිය පුරුදු නැති නිසා දෙන්නම බස් වලින්ලු ගමන.
දැන් දුම්රිය ස්ථානය ඉදිරිපිටට ආපු ඒකනායක අයියට මදක් ඉන්න කියා. ටවුම පැත්තට මුහුණලා තිබෙන ප්රධාන කවුලුවට ගොස් “ඉස්ටේෂන් මාස්ටර් හම්බ වෙන්න පුලුවන්ද ” ඇහුවේ ටිකට් ගනිමින් හිටපු අය දෙපැත්තට කරලය.
කරුමෙට ඒ කවුන්ටරේ ඒ වෙලාවෙ වැඩ කලේ එස්.එම්.ඩී.සී.සේනාරත්න මහතාය.
“එහා පැත්තෙන් එනවා” සේනාරත්න මහතා සැරෙන් කියුව දේ අහපු ටිකට් පෝලිමේ හිටිය නංගිලා ඒකනායකට නෝන්ඩි කලෝය.
අනේ ඒ පිළිතුරෙනුත් නංගිලාගේ හිනාවෙනුත් ලැජ්ජාවට පත්වූ ඒකනායක පසුපස බලන විට අයියාත් සිද්ධිය දුටු බව දැන ගත්තේය.
“මම ඌට දෙකක් කියන්නද.ඌ එතකොට දැන ගනී අද ඉදන් මල්ලි මේ ඉස්ටේෂමේ දෙවෙනියා කියලා.” අයියා කොක්කටය.
“නෑ මොකුත් කියන්න ඕන නෑ අයියෙ මම වැඩ බාර ගත්තම බලා ගන්නම් එයා ගැන” ඒක නායක සිංහයෙකු සේ පවසා නැවතත් අනෙක් කවුන්ටරයට ගොස් “මට දුම්රිය ස්ථානාධිපති මුණ ගැහෙන්න පුළුවන්ද” ඇසුවේය.
එම කවුන්ටරයේ සිටි පී.එම්.ජේ.ඇලෝෂියස් මහතා කවුන්ටර් පුටුවට නැග මේ කතා කරන්නේ කවුරුදැයි බැලීය. එවිට ඒකනායකව දුටු ඔහු අරයටත් වඩා හයියෙන් “අර පැත්තට යනවා” යයි පැවසුවේය.
දැන් ඒකනායකත් අයියාත් කවදාවත් නැති තරම් කේන්තියකින් පෙලෙනවාය.
“මල්ලිට මතකයි නේද මුන් දෙන්නව. අතඅරින්න එපා හොඳ වැඩක් කරන්න. උන් දන් නැහැ මේ කතා කරන්නෙ අද ඉදන් මේ ඉස්ටේෂමේ දෙවෙනියට කියලා. මම ගිහින් දෙකක් කතා කරන්නද? ” අයියා ජිම් පප්පා රෝමන් කාරයො දුටුවිට මෙන් දඟලන්නට විය.
“එපා අයියෙ උන්ට දවස් දෙක තුනක් යනකොට තේරෙයි ගිරිබාවෙ ඒකනායකලට පාට් එක දාලා කර ගත්තු වැරැද්ද.” මෙහෙම කියපු ඒකනායක එතන වැඩ කරන සේවකයෙකුගෙන් අහ ගත්තා ලොකු මහත්තයා ඉන්න තැන. ඒ වගේම කවුන්ටර් දෙකේ හිටපු අයගෙ නමුත් සේනාරත්නයි. ඇනෝපිලසුයි කියලා අහගත්තා.
අයියත් එක්ක ගම්පහ ප්රධාන දුම්රිය ස්ථානාධිපති අරම්පත් මහතා හමු වෙලා විස්තර කියලා. සුහද කතා බහක් එහෙම කෙරුවට පස්සෙ අයියා ගියා. දැන් අරම්පත් මහත්තයා වැඩ කටයුතු කරන විදිහ පරණ අයගෙන් අහගන්න කියලා කිව්වා. ඒ අතර ඒකනායකගෙ ඇස් හොයන්නෙ දෙවෙනි ලොක්කට තියන කාමරේ කෝ. කිලො. එහෙම එකක් නෑ පේන්න නම්. ‘වෙන තැනක ඇති’ කියලා හිත හදා ගත්තා.
දැන් ඉතින් ඒක නායකට හරි සතුටුයි. ගම්පහ වගේ තැනක දෙවෙනියා වෙන එක ඉතින් ගිරිබාවෙ තොරණක් ගහල පිළිගන්න තරම් දෙයක්නෙ ඉතින්. හොඳ තැනකින් කසාදෙකුත් කර ගන්න පුළුවන්. මිනිහා හීන දකිනවා.
“එන්නකො මාත් එක්ක” කියමින් අරම්පත් මහතා ඉස්සර උනා.
දැන් ඒකනායක පස්සෙන් යනවා. යන්නෙ අර කවුන්ටර් තියන පැත්තට. දැන් මෙයාට මැවිලා පේනවා.සේනාරත්නයි. ඇනෝපිලසුයි අතට අත දීලා “සොරි” කියලා සමාව ගන්න විදිහ.
දැන් කවුන්ටර් කිට්ටු වෙනකොට ඒකනායක අර ප්‘රේමදාසල රැස්වීම් වලදි ඉස්සෙනවා’ වගේ ඇඟලි වලින් ඉස්සිලා උජාරුවෙන් ගිහින් බුකින් ඔෆිස් එකට ඇතුලු උනා.
මේ වෙලාවෙ අරම්පත් මහත්තයා ඒකනායක දිහාට ඇඟිල්ල දික් කරල. සේනාරත්නටයි ඇලෝශියස්ටයි කියුවා. “මෙන්න ඔයාලගෙ අළුත් ගෝලයා. ටිකක් දුර ගමකින් ඇවිත් ඉන්නෙ. මෙහේ වැඩ ටික ඔක්කොම කියා දෙන්න” කියලා.
එදා තමයි ඒක නායක සපත්තු දාගෙන ගම්පහ ඉස්ටේෂමේ බිම ඇඟිල්ලෙන් හාරන්න හදපු මුල්ම දවස.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!