ගණ දෙවියන්ගේ උපත පිළිබඳ විවිධ ජනකථා ජනප්රවාද ජනග්රැති බොහෝ ඇත. සෘෂිවරුන්ගේ මුණිවරුන්ගේ භාෂිතය සහ ඉපැරණි පුරාණ 18 මුලාශ්ර කොට ලියවුණු මෙම ලිපිය ගණදෙවියන් කෙතරම් බලවතෙක්‌ද ශක්‌තිවන්තයෙක්‌ද යන්න හෙළි කරයි.
බුද්ධ ධර්මයට අනුව ලොව පවතින්නේ හේතුඵල දහම මතයි. එනම් ” නාමරූප” ධර්මතාවයයි.” ” නාම” යනු මානසික ශක්‌තියයි. තේජෝ (තාපය) විඥාන (මනස) “රූප” යනු ස්‌කන්ධයයි. පඨවි (ඝන) ආපෝ (ද්රව) වායෝ (වායු).
සෑම දෙයක්‌ම හට ගන්නේ මෙම හේතුඵල දහම මතයි. එසේ නම් හට ගත් භෞතික ලෝකයේ නිර්මාණකරු වූයේ බුදුරජාණන් වහන්සේද ගරු කළ විශ්ව නීතියයි. ඒ කුසල් හා අකුසල්ය, මීට අමතරව “නානත්ථ හේතු” ලෙස ගුප්ත ශක්‌තීන් ගැනද බුදු හිමි දේශනා කළහ. එසේ නම් බුද්ධත්වය දිව්ය ලෝක බ්රහ්ම ලෝක මේ සියල්ල නිර්මාණය කළේ අරූපී ශක්‌තිය තුළිනි. රූපයක් නැති අරූපී විශ්ව ධර්මතාවයට විවිධ ආගම් කතෘවරු විවිධ නම් දුන්හ. විවිධ ඇදහීම් ක්රම තැනූහ. විවිධ ආගම් ලෝකයේ බිහි වූයේ ඒ හරහාය. ලාබාල සිදුහත් තවුසාටද විදර්ශනා ඥාන උපදවා ගන්නා තුරුම ධ්යාන උපදවා ගැනීමට ආධාර උපකාර ගුරුහරුකම් ලැබුණේ එකල ධ්යාන ලාභී පූජකවරුන් වූ ආලාරකාලාම උද්ධකරාමපුත්ත ආදී තාපසයන්ගෙනි. විශ්වය සුරකින ජගන් මාතාව ස්‌වභාවධර්මයේ මාතාව ලෙස “පාර්වතී” හෙවත් පත්තිනි දේවි ලෙස සැලකේ. මහා බලගතු දේව මාතාවගේ ස්‌වාමියා වූයේ දෙවියන්ට අධිපති වු, ඊෂ්වර දෙවියන්ය. පතිවත රැකි නිසා පත්තිනි වූ පාර්වතී මාතාව ලෝක පාලක ධර්මතා වන ” හිරි ඔතප්” එනම් ලඡ්ජා බියට ගරු කළ දේව මාතාවකි. දෙවියන් ළඟ මිනිසුන් අතර මෙන් කාමය රාගය නොමැත. නමුත් නිරාමිස වූ ස්‌නේහය සහ ප්රේමය පවතී.
ඉතින් පාර්වතී මාතාව ස්‌නානය කරන ස්‌ථානයට කිසිවකුගේ පැමිණීමට පාර්වතී මාතාව අකමැති වූ නිසා නන්දි දේව (ශිව දේවිඳුන්ගේ වාහනය වූ දිව්යමය ගවරජු) ට එම පොකුණ අසල මුර තේවාවේ යෙදෙන්නට අණ ලැබුණි.
තම අධිපති ශිව දෙවිඳුන්ට එතැනින් පාර්වතී මාතාව අසලට යැමට නන්දිදේව ඉඩ දුන් නමුත් බෙහෙවින් ආචාරශීලී කාන්තාවක් වූ පාර්වතී දේවිය මෙයට අකමැති වී තමාගේ ආරක්ෂාවට ප්රබල තමාට ගැති ආරක්ෂකයෙක් තැනීමට සිත් පහළ විය.
ඉන් කල්ප ගණනකට පෙර අවුරුදු දසදහස් ගණනක් නාගලොවේ සිල් රැක විවිධ දුෂ්කර තපස් වෘත සමාදන්ව මහා දානමානාදී සිදු කර උග්ර තපස් බලයෙන් නැඟê සිටි පාර්වතී මාතාවට දිනක් රූපයක් නැති නාමයක් නැති විශ්වයෙන් හඬක් නැඟê කථා කොට මෙසේ ප්රකාශ කොට ඇත. ඔබ මහා උග්ර තපස් රැක ධ්යාන ලාභී විය. ඉතින් විශ්වයේ පරමාත්මාව වූ මාගෙන් කැමති වරයක් ගනු සකල යස ඉසුරින් පිරී ගිය පාර්වතී මාතාවට අඩුවක් නැති නිසා එම වරය එදා පසු ගන්වා යෑයි අවසර ලබා ගත්තාය.
එම අතීත ප්රවෘත්තිය මතක් වුණු පසු පාර්වතී මාතාව තම නළලේ හා දිව්යමය සිරුරේ ගල්වා තිබූ කුංකුම, චන්දන, හඳුන් ආදිය එක්‌කොට සෘද්ධි බලයෙන් ඉතා රූමත් කුමාරයෙකුගේ පිළිරුවක් මැවුවාය. පසුව ඇය විශ්වයෙන් ඉල්ලා සිටියේ කරුණාවේ උල්පත වූ පරමාත්මාවට මෙය තුළට ගමන් කොට තමාගේ ඉල්ලීමට මෙම ප්රතිමාවට ජීවයක් ලබා දෙන ලෙසයි. විශ්වය එම වරය ලබා දුනි. පරිපූර්ණ වූ පවිත්ර වූ පරමාත්මාව එයින් පසු ජීවමාන වුණි.
ඉතින් දැන් පාර්වතී දේවිය මහත් දරු ස්‌නේහයෙන් කුඩා කුමාරයාට ආදරය කරයි. මවගේ ආදරයට ඕපපාතිකව උපත ලද නිසා කුමරා ” ගෞරී පුත්ර” ලෙස හැඳින්විණි.
දැන් මව ස්‌නානය කරන තුරු ආරක්ෂාව දෙන්නේ බලවත් කුමරාය. මෙය නොදැන ශිව දෙවිඳු තම බිරිඳ බැලීමට පැමිණි නමුත් ඇතුළු වීමට කුමරා අවසර නොදුණි. නොසතුටින් නික්‌මුණු ශිව දෙවිඳු කුමරයා පලවා හැරීමට නන්දිදේව පිටත් කර හැරීය. බලවතකු වූ නන්දි දේව මෙම කුමාරයා සමඟ සටනින් පැරදී නැවත ශිව දෙවියන් කරා නික්‌ම ගියේය. මෙයින් කෝපයට පත් ශිවදෙවිඳු තමාගේ මුළු යක්ෂ, රාක්ෂ, බහිරව, දේව සේනා මේ කුමාරයා පරාජය කිරීමට පිටත් කර හරින ලදී.
අකුණු සරක වේගයෙන් සටන් කළ මෙම තනි කුමාරයාට මුළු සේනාවම යටත් කළ හැකි වූයේ සෘද්ධි බලය අධික නිසාය. පසුව අපායට අධිපති යම රජු (යමන්) ද තම සේනාව සමඟ ශිව දෙවිඳුන්ගේ අණට යටත්ව කුමාරයා පරාජය කිරීමට පැමිණි බව කියයි. කුමරාගේ යුද ශිල්ප යටතේ යම රජුද පසු බැසීය. මෙම කුමරයා දෙවියන්ට අණ දෙන විශ්ව ධර්මතාවයේ ශක්‌තිය බව දිවැසින් නොබැලූ ශිව දෙවිඳු බෙහෙවින් කෝපව ක්ෂණයකදී කුමාරයා ඉදිරියේ ප්රාතූර්භූත විය. ශිව දෙවිඳුන්ගේ තුන්වැනි නේත්රය නිරාවරණය කරන විට මුළු තුන් ලොවම දවා අළුකළ හැකි බව සඳහන් වේ. අසුරු සැණින් එල්ල කළ ත්රිශූල පහරින් කුමරාගේ හිස කඳින් වෙන්ව යොදුන් ගණනක් දුරින් පතිත විය. මන්ද ශිව දෙවිඳු සටන් කලාවේ කෙළ පැමිණියෙකු නිසාය.
එළියේ සිදු වූ විපත දිවැසින් දැක පාර්වතී මාතාව මහා වේගයෙන් තම ආදරණීය පුතාගේ කවන්ධය බැලීමට පැමිණියාය. මේ උපතේ වටිනාකම හා පූජනීයත්වය දන්නා පාර්වතී මාතාව දරු දුක දරා ගත නොහැකිව මහා වේගයෙන් හඩා වැළපුණාය. එසේම තමා වෙනුවෙන් දිවි පිදූ කුමාරයා කෙරෙහි මාතෘධාරක ස්‌නේහය දරාගත නොහැකි වූ පාර්වතී මාතාව උදහසට හා දැඩි කෝපයට පත්වූවාය. පත්තිනි දේවිය කෝප වූ විට ඇය තුළින් විද්යා මාන වන අධර්මය විනාශ කරන ශක්‌ති අවතාරය ” කාලී මාතාවයි.”
මහා කාලී මාතාව නව දුර්ගා අවතාර මවා ගනිමින් ශිව දෙවියන්ගේ සේනාවට මුරුගසන් වර්ෂාවක් මෙන් ප්රහාර දෙන්නට පටන් ගත්තාය. කාලී මාතාව කෝප වූ විට විශ්වය විනාශ කළ හැකි බලයක් ඇයට තිබෙන බව දන්නා මහා විෂ්ණු හා මහා බ්රහ්මයා පැමිණ තමාගේ ගුණ ගයන නාරද මුණිවරයා පිටත් කළේ කාලි මාතාව සනසා ඇය සමඟ සාමයට කතා කිරීමටයි. කාලී මාතාව නාරද මුණිවරයාට කියා සිටියේ විශ්වයේ බලගතුම රූමත්ම දෙවියන් වූ තම කුමාරයාට නැවත ප්රාණය නොලැබුණ හොත් ශිව දෙවියන්ගේ මුළු සේනාවම විනාශ කරන බවයි.
මෙය සැලවුණු මහා විෂ්ණු දෙවියන් මිනිස් ලෝකයට පැමිණියේ අකුසල් කළ මරණාසන්න දරුවෙකුගේ හිස ගලවාගෙන දිව්ය ලෝකයට රැගෙන යැමටය. එවැනි දරුවෙක් සොයාගත නොහැකි විය. අකුසල් කළ දරුවෙක් සොයා ගියේ කුමන අරමුණක් නිසා හෝ යහපත් දරුවෙකුගේ හිස ගෙනයැමෙන් බලවත් අකුසලයක් වන බව දෙවියන් දන්නා නිසාය. පසුව විෂ්ණු දෙවියන් තම සේනාවට අණ කළේ මිනිස් ලෝකයේ වෙසෙන දුර්ලභ සුදචි ඇත් පැටවෙකුගේ හිසක් සොයාගෙන එන ලෙසයි. කර්මය ගෙවී ඒ මොහොතේ මරණය වූ ඇත් පැටවෙකු වෙසෙන බව මහා බ්රහ්මයා පෙන්වීය.
අනතුරුව දෙවියන් සෘද්ධි බලයෙන් සුදු ඇත් පැටවාගේ සිරස අර දරුවාගේ ප්රාණ ඌෂ්ණය ඇති කඳට සවි කරන ලදී. දෙවියන්ගේ අධිෂ්ඨාන බලයෙන් එම අපූර්ව රූපයට ප්රාණය ලැබිණි.
කාලි මාතාව සමඟ සටන් කොට දිනිය හැකි ජගතෙක් ලොව නැති බව දන්නා සියලු දෙවිවරු කාලි මාතාවගේ දරු දුකෙන් හට ගත් කෝපය සන්සිඳුවා ලීමට තිස්‌තුන් කෝටියක් දෙවිවරු තමාගේ සියලු ශක්‌තීන් දේව ආයුධ, තන්ත්ර, යන්ත්ර, බලය හා සෘද්ධි ශක්‌තීන් කුමරුට පිරිනමන ලදී. ඊට අමතරව නවග්රහ දෙවිවරු ගිවිසුමට පැමිණියේ මෙම ඇත් මුහුණ ඇති දෙවියන්ට වඳින පුදන අයට ග්රහදොස් ඇති නොකරන බවටයි.
කවදත් කාලී මාතාවගෙන් බැට කන අසුර නායකයෝද ගණ දෙවියන් වඳින අයට විපත් ගෙන නොදෙන බවට පොරොන්දු විය. බහිරවයන් අට දෙනා ගණපති රැකීමට අට කොන තම සේනාව සමඟ සිට ගත්හ.
තම ආදරණීය බිරිඳ අස්‌වැසීමට මහා ඊෂ්වර (ශිව දෙවිඳු) ගණපති ඉදිරියේ වැඳ වැටී සමාව අයෑද සිට දේවනීතියක් පැනවූයේ සියලුම දේව පූජා, යන්ත්ර, මන්ත්ර, තන්ත්ර, පෙරහැරකදී සියලු දෙවියන්ද, බ්රහ්මයින්ද, මිනිසුන්ද ප්රථමයෙන්ම වැඳිය යුතු දෙවියන් තමා නොව “ගණේෂ බවයි”
එදායින් පසුව ගණපති ” ප්රථම පූජ්ය විය. විශ්ව ශක්‌තිය එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ මුලධාතු සියල්ලේම පැතිරී පවතිණ. මහා ධ්යාන තලය ගණේෂ නිසා “නිර්ගුණම්” විශ්වමුඛ” ආදී නම්වලින් එතුමන් හඳුන්වයි. ” සූර්ය කෝටි සමප්රභා එතුමාගේ බලය සෘෂිවරු සුර්යයන් කෝටියකට සම කළහ.
අසාමාන්ය රූපයක් ලද තම පුත්රයා සියලු දෙවියන්ගේ නායකයා හැටියට පත්කොට සියලු බලතල වරප්රසාද ලබාදුන් නිසා පාර්වතී මාතාව නැවත මාතෘ අවතාරයට පැමිණියාය.
කාලී නම් වූ අඝෝර අවතාරය අතුරුදන් විය. එසේ නම් ගණදෙවියන්ට පූජා පැවැත් වීමේ දී සකල දෙවියන්ගේ ආශිර්වාදය, නවග්රහදොස් නිවාරණය, යක්ෂ, භූතයන්ගේ අතවර දුරුවන ආකාරය හා බුද්ධිය එමෙන්ම අධ්යාපන ලෝකය විවර වන ආකාරයත් එයට හේතු වූ සියලුම කරුණුත් මෙම උත්පත්ති කථාවෙන් මැනවින් පැහැදිලි වේ.
ගණදෙවියන්ට රතු මලක් පූජා කිරීමේ රහස නම් අම්මාගේ නළලේ හා ශරීරයේ කුංකුමවලින් උපත ලද ඒ ඉතිහාස කතාව මතක් කරලීමටය. කුංකුම නම් සංයෝගය තද රතු පැහැතිය.
………….අන්තර්ජාලය ඇසුරෙනි………..
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න