මේක මට සිදුවුන කතාවක්..
ටිකක් නෙමේ ගොඩක්ම අධිස්වභාවිකයි.
මගෙ තාත්තා doctor කෙනෙක්. අපේ ගෙවල් තිබුනෙ කෑගල්ලෙ. තාත්තා doctor කෙනෙක් හින්දා එයාට මාරුවීම් හම්බෙන සැරේට අපිත් ( අම්මායි මායි ) තාත්තා එක්ක යනවා. තාත්තා වැඩ කරන hospital එක ලඟින් ගෙයක් කුලියට අරන් ගියා. ඔහොම මාරුවීම් හම්බෙනකොට ගෙවල් මාරු කරා. ඔහොම යද්දි 2018 තාත්තාට කිරිබත්ගොඩ රෝහලේ පත්වීමක් හම්බුනා. එතකොට අපිත් තාත්ති එක්ක මහර පැත්තෙ ගෙයක් කුලියට අරන් ගියා. ඔය කියන කිරිබත්ගොඩ ගෙදරදි තමයි මේ සිදුවීම සිද්ද වෙන්නෙ.
තාත්තා කිරිබත්ගොඩ රෝහලට සේවයට ගියා. සතියක් රෑ, සතියක් දවල් ඔය වගේනෙ ඉතින් සේවය කරන්න ඕනෙ. ඔහොම ඔය ගෙදර ඉද්දි අපිට එක එක දේවල් වෙන්න ගත්තා. හැමෝම වගේ නිදාගද්දි නින්දෙන් හීන දකිනවානේ , ඒත් මේ ගෙදර ඉද්දි දැක්ක හීන ටිකක් අමුතු බය හිතෙන හීන. දවසක හීනෙන් ගෑනු කෙනෙක් අඬනවා , කෑගහනවා ඔය වගේ හීන දැක්කා… හරියට අම්මාටයි මටයි නින්දක් තිබ්බෙම නෑ. කොහොම හරි ඒ ගෙදර කාමර දෙකක් තියෙනවා ඔක්කොම දේවල් තියෙන්නෙ එක කාමරයක විතරයි. අනිත් කාමරේ එහෙම අවුලක් නෑ හොඳට නින්ද යනවා. කොහොම හරි දවසක් මන් නිදාගෙන ඉද්දි එක එක අමුතු සද්ද ඇහෙන්න ගත්තා, ටිකක් අඬනවා වගේ. ඔන්න ඔහොම වෙද්දි මට නින්ද ගියෙම නෑ. හැබැයි තාත්තා රෑට ඉන්න දවස් වල තාත්තා හොඳට ඉන්නවා මොකද තාත්තා ඉන්නෙ අනිත් කාමරේ. මේ කාමරේ හිටියෙ මායි අම්මායි විතරයි. ඔය සිදුවීම හින්දා අපි කතාවෙලා කාමර දෙක මාරු කරා. තාත්තා අනිත් කාමරේට ගියා අපි තාත්තාගෙ කාමරේට ආවා. ඔහොම සතියක් තාත්තා ඒ කාමරේ පාවිච්චි කරා. තාත්තටත් ඒ සතියෙ අපිට ඇහුන ඔය මන් කිව්ව දේවල් ඇහිලා තියෙනවා. අමුතු හීන පෙනිලා තියෙනවා. අපි තාත්තාගෙ කාමරේ ඉද්දි හොඳට නින්ද ගියා. මොකුත් හීන එහෙම පෙනුන් නෑ. පස්සෙ තාත්තා කිව්වා ඔය කාමරේ දෝශයක් වෙන්න ඇති ඕවා ගනන් ගන්න එපා කියලා. කොහොම හරි දවසක් ඔය ගෙදර අයිති කාරයන්ගෙ පුතෙක්ට රට යන්න ඇවිල්ලා ඔය ගේ විකුණන්න තීරණය කරලා තිබ්බා. එතතොට තාත්තා අතෙත් සල්ලි තිබ්බ හින්දා ඒ ගේ අඩුවට වගේ අපි ගත්තා. ඔහොම පස්සෙ අපි ගේ රෙපයාර් එකක් කරලා. අපි ඒ ගේ ස්ථීර පදිංචියටම ආවා.
ඔහොම ටික කාලයක් ගතවෙද්දි අපේ අම්මා අසනීප වෙන්න ගත්තා. ඇඟ කෙට්ටුවෙලා එයාව අපිටවත් අඳුරන්න බැරි වුනා. තාත්තා අඳුරන හොඳ හොඳ යාලු ඩොක්ටස්ලා ලඟ චැනල් කරලා බෙහෙත් ගත්තා කිසිම අඩුවක් වුනේ නෑ. එක දොස්තර කෙනෙක්ටවත් අම්මාගෙ ලෙඩේ හොයාගන්න බැරිවුනා. ඔහොම යද්දි අම්මා කෙට්ටු වුනා, කොන්ද එහෙම වකුටු වෙන්න ගත්තා. මේ ඉන්නෙ මගෙ අම්මාද කියලා මටම අඳුර ගන්න බෑ. ඔහොම යද්දි අපේ අම්මාට ටිකක් මානසික ලෙඩක් හැදුනා කොටින්ම කිව්වොත් පිස්සු වගේ. එයා කියන එක එයාම දන්නෑ. කෝ ධර්මෙ කෝ ධර්මෙ කිය කිය අහනවා. ඉතින් ඕවා අපිට හිතාගන්නවත් බැරිවුනා. අහල පහල කවුරුත් ඉතින් අපි එක්ක එච්චර කතාවක් තිබ්බෙ නෑ එතකොට. ගෙවල් කලින් අයිතිවෙලා තිබ්බ කෙනාගෙ අයියා විතරයි අපිත් එක්ක කතා කලේ.
ඔහොම යද්දි අපේ අම්මා පිස්සුවෙන් වගේ. ගණන් උගන්නවා වගේ හැසිරෙන්න ගත්තා නිකන් සම්පූර්ණම චීට කෙනෙක් වගේ. තාත්තා කිව්වා අම්මාට මොකක් හරි දිශ්ඨියක් වැදිලා පල්ලියට අරන් ගිහින් ෆාදට කියලා අම්මාව bless කරගමු කියලා. ඔහොම අපි අම්මාව දලුගම පල්ලියට එක්කන් ගියා. පල්ලියෙ ෆාදර් අම්මාව bless කරලා. ආසිරි පැන් බෝතලක් දුන්නා. දිනපතා කොන්තෙ කියන්න එහෙම කිව්වා. කොහොම හරි පල්ලියෙදි අම්මා ටිකක් හොඳට හිටියා ඒත් කොණ්ඩෙ අවුල් හැමවෙලාවෙම. අම්මාට සිහි කල්පනාවක් තිබ්බෙ නෑ. එයා කියන්නෙ කරන්නෙ මොනාද කියලා අම්මාවත් දන්නෑ. ඔහොම ඉද්දි දවසක් මන් නිදන් ඉන්න වෙලාවක පල්ලියෙ ෆාදර්ටත් ගිහින් බැනලා තිබ්බා. ” කෝ මගෙ ඉඩම කෝ…. ධර්මේ…” ෆාදර් කිව්වෙ ඔය වගේ දේවල්ලු එදා කිව්වෙ. ඉතින් ඔහොම අම්මාව අපිට පාලනය කරන්න බැරි වුනා. අත්තිමට අම්මාව ලණු වලින් ඇඳේ බැඳලා තියන්න වුනා. ඔහොම ඉද්දි පල්ලියෙ ෆාදර් කිව්වා සුව මෙහෙයක් එහෙම පල්ලියෙ තියෙනවා ඒවාට එයාව එක්කන් එන්න කියලා. ඒවටත් ගියා එතකොට ටිකක් විතර අම්මාට හොඳ වුනා, අපි කතෝලික වුනාට ආච්චි බෞද්ද නේ එයා බෝධිපූජා කරා පන්සල් වලට අරන් ගියා. එතකොටත් අම්මා හොඳට හිටියා. අන්තිමට ආච්චිගෙ කීමට අම්මාගෙ අතේ මතුරපු නූලක් බැන්දා එතකොට ටිකක් අම්මාට සුවයක් තිබ්බා. ඒත් එච්චරම නෑ. එයාව අපිට බැලන්ස් කරගන්න පුලුවන් ගානට අම්මා හිටියා. ඉතින් ඔහොම යද්දි අම්මා ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. අම්මා හැසිරුනේ වෙන ගෑණු කෙනෙක් වගේ. පස්සෙ ඔහොම මාස ගානක් යද්දි අපේ අම්මා. නැතිවුනා. ඔය ඔක්කොම දේවල් වුනේ අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුලත අපිට හිතාගන්න බෑ.
කොහොම හරි අම්මාගෙ මරණ ගෙදරට අල්ලපු ගෙදර කට්ටිය ආවා. ඒ ගෙදර හිටපු ආච්චි කෙනෙක් කිව්වා මේ ඔය ගෙදර මැරිච්ච 6 වෙනි කෙනා කියලා. ඊට පස්සෙ ඒ ආච්චි අපිට සම්පූර්ණ කතාවක් කිව්වා.
මේ ගෙදර මීට 40 කට විතර කලින් එක්දාස් නමසීය අසූ ගනන් වල වගේ ඊරියවැටිය පැත්තෙ ඉස්කෝලෙක උගන්නපු ගණන් ටීචර් කෙනෙක් ඉඳලා තියෙනවා ලු. ඒ ටීට මේ ගෙදරදි ලමයින්ට එහෙම ගනන් සිංහල වගේ ඉගැන්නුවාලු. පස්සෙ අපි ඉන්න ගෙදරයි පල්ලෙහා ගෙදරයි ඉඩම්ආරවුලක් තිබ්බාලු වැටකට. ධර්මෙ කියන්නෙ පල්ලෙහා ගෙදර හිටපු මනුස්සයා. පස්සෙ ඔහොම ලොකු ආරවුලක් ඇතිවෙලා පල්ලෙහා ගෙදර මනුස්සයා(ධර්මෙ) මේ ගෙදර හිටපු ටීචට යකඩ ඉන්නකින් ගැහැව්වාලු. කොහොම හරි ඒ ගෑනු කෙනා බිම වැටුනාට පස්සෙ ඔලුවට යකඩ ඉන්නෙන් ඇන්නාලු. ඒ ගෑනු කෙනා එතනම මැරුණාලු කොහොමහරි ඇනලා ආයෙ යකඩ ඉන්න උස්සද්දි ඒ ගෑනු කෙනාගෙ මොලේ වගේ කෑලි යකඩ ඉන්නත් එක්ක ආවාලු. ඔහොම ඒ මිනිහා යකඩ ඉන්න ගෙදර තිබ්බ ලිඳට දැම්මා කියලා තමයි ඒ ආච්චි කීව්වෙ. ඒ යකඩ ඉන්නෙ ඒ ගෑනු කෙනාගෙ ඔලුවෙ කෑලි එහෙම එල්ලි එල්ලි තිබ්බාලු. ඕක අහද්දි මගෙ ඇඟ හිරි වැටිලා ගියා. ඉතින් ඊට පස්සෙ ඒ මිනිහාව පොලිසියෙන් අල්ලන් ගිහින් ඇප හම්බෙලා නිදහස් වෙලාලු. පස්සෙ ඔය ටීචගෙ පුතා ගේ විකුණලා වෙන පැත්තකට පදිංචියට ගිහින්. පස්සෙ ඔය ටීචව මරපු මනුස්සයා 2000 දි වගේ ඔය ඉඩම අරන්ලු සල්ලි වලට. ඔය අතරෙ මේ ගෙදර කුලියට දීලා… ඒත් ගෙවල් කුලියට ගත්ත අයට වැඩිකල් ඉන්න හම්බෙලා නෑලු. එක්කෙනෙක් ඔය ගෙදර් කාමරේක එල්ලිලා මැරිලා හිටියාලු. තව දෙන්නෙක් අපේ අම්මා වගේම ගෙදර නැති වුනාලු. ඔහොම ඒ ගෙදර මරණ 6 ක් වුනාලු. පස්සෙ අපි ඔය කතාව ගෙවල් පැත්තෙ අනිත් අයගෙනුත් ඇහුවාලු ඔක්කොම කියන්නෙ එකම කතාව. දින වකවානු විතරයි වෙනස්. හැමෝම කියන්නෙ ඒ වගේ සිද්දියක් මේ ගෙදර සිද්ද වුනා කියලා. පස්සෙ අම්මාගෙ තුන්මාසෙ දානෙ වෙනකන් අපි ඒ ගෙවල් ලඟින් ගෙයක් කුලියට ගත්තා. ඔහොම මාස තුනකට පස්සෙ අම්මා නැතිවුන ගෙදර තුන්මාසෙ දානෙ දුන්නාට පස්සෙ අපි ඒ ගෙදර වෙන කෙනෙක්ට විකුණලා තාත්තායි මායි කෑගල්ලෙ ආවා අම්මා නැතුව
මාරම දුකයි උන දේට.

කොහොම හරි ඒ පැත්තෙ මිනිස්සු කිව්වෙ අම්මාට ඒ ගෙදර නැතිවුන ටීචව වැහිලා අම්මා නැතිවෙන්න ඇති කියලා.
ඇත්තටම එහෙම දේවල් වෙන්න පුලුවන්ද ?
මැරුණ කෙනෙක්ගෙ ආත්මයකට වෙන කෙනෙක්ගෙ ජීවිතය්ක් ඔය වගේ පාලනය කරන්න පුලුවන්ද ?
උපුටා ගැනීම:ソイサー ネハーラ ケーテャキ