අම්මා බෝ ගහට වැඳලා පවුලේ ආරක්ෂාව ඉල්ලන කොට තාත්තා පොල් ගහට වැඳලා පවුලේ ආරක්ෂාව ඉල්ලන්නවා මම දැක්කේ තාත්තගෙ රස්සාව පොල් ගස් නගින එක නිසයි. තාත්තා නගින හැම පොල් ගහකටම නගින්න කලින් ගහට වඳිනවා. අපේ ගෙදර තියෙන පොල් ගස් වලට නගිද්දිත් තාත්තා එහෙම වැඳලා නගිනවා මම දැකලා තියෙනවා. තාත්තා එහෙම පොල් ගහෙන් ආරක්ෂාව ඉල්ලන්නෙ පවුලේ ආරක්ෂාව ඔහු මත රැඳිලා තියෙන බව දන්න නිසා වෙන්නැති. අම්මා බෝ ගහෙන් ආරක්ෂාව ඉල්ලන්නේ අම්මගේ හිතේ මොකක් හරි විශ්වාසක් තිබුණා ඇති බෝ ගහෙන් ආරක්ෂාව ලැබෙනවා කියලා. ඒත් ඒ ආරක්ෂාව ලැබුණේ නැහැ.
එක දිගට දවස් දෙක තුනක් වැස්සක් නැතුව හුළඟක් තිබුණ නිසා ඒ හුළඟ අස්සේ තාත්තා ගෙදර පොල් අතු වහල තිබුණට වඩා ශක්තිමත් කරන්න පටන් අරගෙන තිබුණේ හුළගෙන් පස්සෙ එන වැස්ස ගැන විශ්වාසක් නැති නිසා. එදා මම උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොටයි දැක්කේ තාත්තා උදේම වැඩ පටන් අරගෙන තියෙනවා. එදා ඉස්කෝලේ ඇරිලා දවල් ගෙදර එන්න කලින් මට ගෙදර එන්න වුනා. නැහැ! මාව එදා ගමේ මාමා කෙනෙක් ඉස්කොලෙන් වේලාසන ගෙදර එක්කගෙන ආවා “තාත්තා අසනීප වෙලා” කියලා. තාත්තා අසනීප වෙලා නැති බවත් තාත්තා හුළං වෙලාවේ පොල් ගහේ ඉද්දි ගහෙන් වැටිලා මිය ගිය බව මට තේරුම් ගන්න පුලුවන් වුනා ගෙට ගොඩ වෙනකොට ඇහුණ අම්මගේ විලාපයෙන්.
එදා තාත්තා හුළගෙන් පස්සේ එන වැස්ස ගැන හිතලා වහල හැදුවට තාත්තා බලාපොරොත්තු වුන ඒ වැස්ස වෙනුවට ආවේ අම්මගෙයි මගෙයි ජිවිත තෙම්මන්න කඳුලු වැස්සක්. ඒ කඳුලු වැස්සේ මායි අම්මයි ජිවිතේ ගැටගහ ගෙන දිනෙන් දින අතීතයට දවස් එකතු කරාට අපි දෙන්නට එකට ගත කරන්න වුනෙත් ටික කාලයයි.
ඒ වෙනකොට මම රස්සවක් කරන්න පටන් අරගෙන තිබුණේ. අම්මා එතකොටත් තාත්තා යනකොට දීලා ගිය කඳුලු ඇස් වල පුරවගෙන හිටියේ මම නිසා බිමට වැටෙන්න නොදි අල්ලගෙන. අම්මා ඇස් අස්සේ පුරවගෙන හිටිය කඳුලු අම්මා මට දෙන්න ඉක්මන් වුනා. තාත්තා ආරක්ෂාව ඉල්ලපු පොල් ගහ තාත්තට ආරක්ෂාව නොදුන්නා වගේම අම්මා ආරක්ෂාව ඉල්ලපු බෝ ගහත් අම්මට ආරක්ෂාව දුන්නෙ නැහැ.
වැට මායිමේ තිබුණ පංසල් වත්තේ අම්මා පාර්ථනා ඉල්ල ඉල්ල හිටිය බො ගහ නිදාගෙන හිටිය අම්මව බදාගත්තේ අම්මා ඉල්ලපු පාර්ථනා බර වැඩි නිසාද නැත්තම් තාත්තව වට්ටපු හුළඟ ම බෝ ගහත් අම්මගේ ඇඟ උඩට වැට්ටුවේ අම්මවත් තාත්තා ලඟට යවන්න ඕන නිසාද කියලා අම්මගේ වියෝවෙදි මට හිතුණා.
මට මේ දේවල් ආයෙත් මතක් වුනේ ගෙදර මිදුලේ තාත්තව වට්ටපු පොල් ගහ ලඟ තියෙන බංකුව උඩ වාඩිගෙන, අම්මව මරලා දාපු බෝ ගහේ මැරිච්ච මුල දිහා බලාගෙන ඉන්න වෙලාවේ. ඒ වෙලාවේ තමයි කොහෙදෝ ඉඳලා ආපු දඩබ්බර හුළඟ මගේ ඇඟේ දැවටෙන්න ගත්තේ. මතකයේ අවතැන් වෙලා හිටිය මට ඒ මොහොතේ මොකක්දෝ සහනයක් දෙන්න ඒ හුළඟට පුලුවන් වුනා.
මම හිටපු මතකයෙන් ගැලවිලා මගේ ඇඟේ දැවටුණ ඒ හුළඟ ගැන මම හිතන්න පටන් ගත්තා. හුළඟ එන්න එන්න තද වෙද්දි වට පිටාවේ තිබුණු ගස් වලට ඒ හුළඟ දරාගන්න බැරි බව මට තේරුණා. හුළගෙ සැර දරාගන්න බැරිම තැන මම වාඩිවෙලා හිටිය බංකුව ලඟ තිබුණු පොල් ගහෙන් පොල් ගෙඩියකුත් පොල් ගහ බිමට අතහැරියේ බර දරාගන්න බැරි නිසා වෙන්නැති. පොල් ගෙඩිය මං හිටිය බංකුව ලඟට වැටෙද්දි මාවත් ගැස්සිලා මගේ හිතත් ගැස්සුනා තාත්තවත් මේ විඳියටම බිමට අතහැරලා දැම්ම ඇති කියලා..
උපුටා ගැනීම: Pubudu Udatiyawala