දෙවෙනි ඉනිම සහ අනෙකුත් මල් නාට්ය වලට පින් සිද්ද වෙන්න අපේ කෙල්ලෝ ගවුම් අඳින්න පටන් අරන්.. කෙල්ලෝ විතරක් නෙමේ ආච්චිලා අම්මල නැන්දල පුන්චිල ඔක්කොම අඳින්නේ දැන් ගවුම්.. එක අතකට අර කාලෙකට කලින් ඇදපු උඩටත් නැති පල්ලටත් නැති විච්චුරන වලට වඩා ගවුම් අඳින එක හොඳයි.. චිරාත් කාලයක් තිස්සේ අපේ කෙල්ලෝ ඇන්දේ ගවුම් නේ.. ඔය 70 දශකයේ අපේ අම්මලා උනත් රෙදි යාරෙන් මහගෙන ඇඳපු ගවුම් එක්ක ගත්ත පරණ ෆොටෝ කෑලි එහෙම තියෙන්නේ ඇල්බම් වල .. ඒ තරං කොටට ඇන්දේ ඇයි කියල ඇහුවම එයාල බනින්නේ ඒ කාලේ තිබ්බ ආණ්ඩුවට.. හැබැයි ඒ කව්රුත් අකමැත්තෙන් නම් ඒ ගවුම් ඇඳලා ඉන්න බවක් නම් පෙනුනේ නෑ හිනා වෙලා ඉන්න හැටියට….
බදින්න කලින් මගේ ප්රියතම ගවුම් කීපයක් තිබ්බ.. අපේ මල්ලි ඒවට කිව්වේ උඩැක්කි කියල.. ඌ මොන හේතුවකට එහෙම කිව්ව්වද කියල දන්නේ නැති උනත් උඩක්කියක් දැක්කම අදත් මට ඒ ගවුම් මතක් වෙනවා.. මල් මල් චීත්ත රෙද්දකින් ඔළුවයි අත් දෙකයි දා ගන්න පුළුවන් විදියට හිල් තුනක් කපල කොට්ට උරේ වගේ ගවුමක් මහන්න අපේ අම්ම ගන්නේ විනාඩි විස්සක් විතර.. ඒ තරම් සරලයි.. රෙදි තිබ්බොත් රැලි පටියකුත් අල්ලනවා.. තව ඕනනම් සාක්කුවකුත් දානවා මෝඩ පාට යන්න.. බොහොම කාලයක් මම ඔය ගවුම් අන්ද මට මතකයි..
ඊට පස්සේ ඉතින් කසාද බැඳලා, ජොබ් කරලා, බිසී වෙලා, ඉරිදා විතරක් ගෙදර ඉන්නකොට කරන්න තියන එලෝකෝටියක් රාජකාරි එක්ක උඩැක්කි ඇඳිල්ල එහෙම්ම නැතිවෙලා ගියා.. හැමෝම වගේ බාග කලිසම් කෑල්ලකට ටී ෂර්ට් එකක් තමයි ඉතින් මගේ ඇඳුම උනේ ගෙදර ඉන්න වෙලාවට..
කාලේ ටිකෙන් ටික ගෙවිල රස්සාවෙන් පොඩි break අරන් ගෙදර ඉන්නකොට මට ආයේ අර උඩැක්කි ගවුම් මතක් උනා… අම්මේ අර ඉස්සර අන්ද වගේ ගවුම් දෙක තුනක් මහමුද මට ගෙදරට අඳින්න මං අපේ අම්මගෙන් ඇහුව.. .. අපෝ ඒවා දැන් ඔයාට හරියන්නේ නෑ… ඉන්න මං ඔයාට ගවුමක් දෙන්නම්.. අම්ම එහෙම කියල අල්මාරියෙන් අරන් දුන්න ගවුමක් .. රතු පාට දිග බාච්චුවක් වගේ එකක්.. එයාට අව්රුද්දට තෑගි හම්බ උන එකක්.. පාට හරියන්නේ නැති නිසා ගන්නලු..
ඔන්න ඉතින් මම ගවුම ඇඳලා බැලුව කියන්නකෝ.. නරකම නෑ .. එත් පොඩි අව්ලක් තිබ්බ .. ආණ්ඩවනේ කඩවලේ… ඔය සාස්තර කියන කිට්ටිය ඉන්නේ.. අන්න ඒ වගේ පෙනුමක් ආව.. තව කොන්ඩෙත් උඩට කරලා බැන්දම.. ආයේ ඉතින් එහෙම්ම තමයි .. අව්ලක් නෑ ගෙදරටනේ.. මම හිතුව..
හොඳම හරිය උනේ පස්සේ.. ඔය මොකක්ද හලෝ ඇඳන් ඉන්නේ.. අපේ එක්කෙනා මුණ ඇඹුල් කරන ඇහුව.. ඒක මාර පහසුයි අනේ.. ගෙදරටනේ.. මං උත්තර බැන්ද ..කොහොම හරි රතු දිග ගවුම මගේ uniform එක වෙන්න වැඩි දවසක් ගියේ නෑ . සතියකට දෙපාරක් තුන් පාරක් මං ඒක ඇන්ඳා ඒ හැම වෙලාවේම අපේ එක්කෙනත් මුණ එල්ලගෙන උන්න..
ලඟදි දවසක මගේ රතු ගවුම අන්තරස්දාන වෙලා තිබ්බ.. එහෙ මෙහෙ හොයල බලනකොට ඒකෙ උඩ කෑල්ල විතරක් ඉතුරු වෙන්න සාය හරිය කපල කව්රු හරි අරන් ගිහිං … කව්ද මේ අලුගුත්තේරු වැඩේ කලේ කියල හොයන්න මම පොඩ්ඩක් විපරම් කලා .. හ්ම්ම් උදේම අපේ එක්කෙනා විසින් ෂැම්පු ගාල නාවපු අපේ බලු හාමිනේල දෙන්න රතුපාට රෙදි දෙකක් පොරවාගෙන හිනා වේවි උන්න.. උන්ගේ අය්යා අක්කගේ ප්රියතම රතු ගවුම දෙකට කපල අලුත් බාත් ටවල් දෙකක් දෙන්නට හදල දීල තිබුන..
උපුටා ගැනීම: Roshani Senarath