මෙලොව ඉපදෙන සෑම මනුෂ්‍යයෙක්ටම ගෞරවාන්විතව ඉපදීමටත් , ගෞරවාන්විතව ජීවත් වීමටත් , ගෞරවාන්විතව මරණයට පත්වීමටත් අවස්ථාව තිබිය යුතුය ..
මළමිනි සමඟද ලිංගිකව හැසිරෙන ඇතැමුන් මෙලොව ජීවත්වෙන බව ලෝකයට තව දුරටත් රහසක් නොවෙයි . ඒ පිළිබඳ හාංකවිසියක්වත් නොදන්නා මිනිස්සුන් එමට බව ඊයෙත් දැකගන්නට ලැබුණි . ඊයෙ ලිපියේ වරහන ඇතුළෙ තිබූ එය තේරුම් ගත්තේ කිහිප දෙනෙක් පමණි . නොදන්නා අයට දැන් දැනුවත් විය හැකිය . ඇතැම් මාතෘකා අතිශය ජුගුප්සාජනක වූවත් තව දුරටත් හංගා කතා කළ යුතු මාතෘකා නොවන තැනට පත් වී තිබේ . මැරුණු පසු ශරීරයට කුමක් සිදු වුණත් දැනෙන්නේ නැති බව සැබෑය . ආත්මය පිළිබඳ සංකල්පයත් අප පසෙකින් තබමු . එසේ කියා කවුරු මොනා කලාම අපිට මොකද කියා අහක බලාගැනීමට අපට හැකිද ? මෙලොව ප්‍රකෘති සහ විකෘති කියා දෙකොටසක් ඇත . මිනිසුන් ලිංගිකව හැසිරීම ස්වභාවික සිද්ධියක් , නමුත් ගැහැණු සහ මිනිසුන් අතර නැතුව එය මිනිසුන් සහ සතුන් අතර , මිනිසුන් සහ මළමිනි අතර , මිනිසුන් සහ ගස් ගල් අතර ආදී වශයෙන් සිදුවෙනවානම් එය ප්‍රකෘතියට එහා ගිය විකෘතියක් බව අප පිලිගත යුතුය .
එවන් මිනිසුන් එසේ තත්වයන්ට වැටෙන්නේ කුමක් නිසාදැයි සොයා බැලිය යුතුය , ඔවුන්ව එම මානසික මට්ටමෙන් ගලවා ගත යුතුය . නොඑසේනම් එවන් සිද්ධි අහන දකින එවන්ම වූ මානසික මට්ටම් සහිත පුද්ගලයන් එවන් දේ කිරීමට පෙළඹීම වැලැක්විය හැක්කක් නොවේ . තමන්ගෙ බිරිඳ නැති දවසට අල්ලපු ගෙදර ගැහැනිය හරි කමක් නෑ කියා සිතනව මෙන් ලිංගිකව හැසිරෙන්න මළමිනියක් නැති දවසට පණපිටින් ඉන්න මනුස්සයෙක්ව හරි ඝාතනය කර එම අවශ්‍යතාව සපූරා ගන්නට ඔවුන් නොපෙළඹේවියැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?
මැරුණම මට එහෙම දෙයක් සිදුවෙන්නට තිබෙනවානම් මට එය වළක්වන්නට බැරි බව මම දනිමි , ඔබටද එවන් දෙයක් වුණොත් ගානක් නැතිව ඇති , නමුත් ඔබේ දරුවෙක්ගේ මරණය ඔබට දරාගත හැකි වේවිද ? ඒ දුක අතර ප්‍රාණය නිරුද්ද සිරුරත් කෙළසා ඇතැයි දැනගත්තොත් ඔබට දැනෙන හැඟීම කුමක්ද ? ඕන කෙනෙක් ඕන දෙයක් කළාට කමක් නැත්නම් , තමන්ගේ පුතා මළමිනියක් සමඟ ලිංගිකව හැසිරුණාට කමක් නැද්ද ? අනේ අපේ අය එහෙම නෑ කියල කරුණාකරල නොකියන්න නොසිතන්න . මෙවන් ජරාජීර්ණ සමාජයක ජීවත් වෙන අපි සිදුවන සියල්ලටම අහක බලාගෙන සිටියොත් නුදුරු අනාගතේදි අහන්න දකින්න ලැබෙන්නෙ මීට වඩා වෙනස් මීටත් වඩා පිළිකුල්සහගත දේවල් බව මතක තියාගන්න .
ලංකාව වගේ ආසියාතිය රටවල ගැහැණු දරුවන් හදන්නේ කෙසේදැයි මං ඔබට අමුතුවෙන් ඉගැන්විය යුතු නැත , වාඩිවෙන විට කකුල් දෙක පවා ළංකර වාඩිවෙන්නයැයි හදන සමාජයක නිරුවත සම්බන්ධයෙන් තරුණියකට ලැජ්ජාවක් බයක් නැත යැයි කීවොත් ලොකුම විහිලුවක් වන්නේ එය බව කිව යුතුය . ඔව් මට මාගෙ නිරුවත ප්‍රදර්ශනය කිරීමට ලැජ්ජාවක් ඇත . එය ඔබට නොමැතිනම් එය මගේ වරදක් නොවේ . යම්කිසි අනතුරක් වූ විට සැත්කමක් කිරීමට වූ විට කාන්තා වෛද්‍යවරියන් සොය සොයා සිටිය නොහැකිය , අනතුරකට ලක් වී සිහි නැතිව සිටීමටද පුලුවන , ඉතින් එවැනි අවස්ථා මට පාලනය කළ නොහැකිය . ඊලඟ මොහොතේ මාව බෝම්බයකට හසුවිය හැකිය එවිට නිරුවත කෙසේ වෙතත් ඇඟේ කෑලිවත් හොයාගත හැකිවේදැයි මා දන්නේ නැත , සුනාමියකට ගසාගෙනගොස් ඇඳුම් නැතුව වෙළරට ගොඩගසා තිබෙන්නටද පුලුවන , ගෞරවාන්විතව මිය යන්නත් වාසනාවක් තිබිය යුතුය . ස්වාභාවික තත්වයකදී හැර එය වෙනස් කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැත .
ඉස්පිරිතාලයකට බෙහෙත් ගැනීමට ගිය විට දූෂණය කර මරා දමන , දරුවෙක් බිහිකරන මවකගෙ ප්‍රසූත වේදනාව යන්නට පෙරම ඇයව කෙළසා මරණයට පත් කරන නොමිසුන් සිටින ලෝකයක හැකි සෑම අවස්ථාවකදිම කාන්තා වෛද්‍යවරියන් සිටියානම් හොඳයැයි සිතීම ටූ මච් නැත . ඉතින් කොල්ලෙක්ට මෙන් නොව කෙල්ලන්ට සිතන්නට බොහෝ දේ ඇත . එය ලඳ බොළඳකම හෝ ලාමක කම නොවන බව කියයුතුය . විළිලැජ්ජාව නැත්නම් ඕනම ජරා වැඩක් කරයි යනුවෙන් සමාජයෙ කියමනක් ඇත . අද සමාජයේ අහන්නට දකින්නට හිතන්නවත් බැරි කතා අසන්නට දකින්නට ලැබෙන්නේ ඒ ලැජාව බය බොහෝ දෙනාට නොමැති නිසාය . ඉතින් ලැජ්ජාව බය ඇත්නම් සතුටු විය යුතුය .
ජීවත්ව සිටියදිත් ඇඳුමක් ගැලවෙන විට ඒ දෙසට කැමරා ටික අල්ලන ලෝකෙක මරණයක නිරුවතක් ගැන කවර කතාද ?
ඔබ හෝ මම මියගිය පසු ශරීරය අපයෝජනයකට ලක්වීමේ පුවතක් කිසිවෙකු හෝ දැනගතහොත් එය ඊලඟ දිනයේ පුවත් පත් වල , රූපවාහිනී නාලිකා වල ප්‍රධාන පුවත නොවනු ඇද්ද ? නම ගම වයස ආදි එකී නොකී මෙකී කරුණු සහිතව දවසේම මාතෘකාව එය නොවනු ඇද්ද ? කැමරා ඔසවාගෙන ඒ පිළිබඳ තව තව ප්‍රශ්න ඇසීමට අපගේ නිවෙස් වලට නොඑනු ඇද්ද ? අපගේ දෙමව්පියන් ඉන්පසු කඩයකට ගොඩ වූවත් “අනේ එහෙමත් වෙලාලු නේද” යැයි මිනිසුන් නොඅසනු ඇද්ද ? ඉතින් අපි මියගොස්නම් අපිට ලැජ්ජාවක් දුකක් දැනේද ? නැත නැත නැත . අපි වෙන ආත්මයක ඉපදිලා කසාද බැදල දරුවන් ලැබෙනකලුත් මෙවන් සිදුවීම් අහන අහන දකින දකින සැරයක් පාසා මෙකල පව්ලේ මිනිසුන්ට ආදරණීයයන්ට මැරි මැරි උපදින්නට තරම් දෙයක් වනු ඇත .
මැරෙන මිනිසුන් ගැන නොව ජීවත්ව සිටින මිනිසුන් ගැන සිතිය යුතුය , මතු මතු මෙලොව උපදින්නන්ගේ ලෝකය සුන්දර විය යුතුය , අපිට මොකෝ මොනා වුනාම කියා නොසිතිය යුත්තේ එහෙයිනි .
කුණු කය දිරනා නාමෙ නොදිරනා කියල කතාවක් ඔබ අසා ඇත , අපි ඉපදෙන්නත් පෙරම මියගොස් සිටි ඇතැමුන් ගැන අදටත් සමාජයෙ ඇතිවෙන කතා ඔබ මම කොතෙකුත් අසා ඇද්ද , අප ගැනත් එසේ කතාවෙනු ඇත . ජීවත්ව සිටියදී කොතෙක් යහපත් ලෙස ජීවත්වුනද ඉන්පසු ඒ සියල්ල උඩු යටිකුරු වනු ඇත .
සමාජ සදාචාරය , මාධ්‍ය සදාචාරය ආදී එකී නොකී මෙකී සියලු දේ පැවතිය යුත්තේ මිනිසුන්ගේ ඉපදීමත් ජීවත් වීමත් මරණයට පත්වීමත් යහපත් කිරීමටය .
මිනියටත් බැඳීමක් ඇතිකරගෙන යැයි සිතන අය මෙය තමාගේ සිතින් ඇසිය යුතුය ‘හෙට සුනාමියක් විත් ගේ දොර ගසාගෙන ගියහොත් දුක් නොවන්නේද ?
කන කර ආභරණයක් හොරෙක් ගලවන් දිව්වොත් දුක් නොවන්නේද ? තමන්ගේ කිසිවෙකුට හෝ අනතුරක් කරදරයක් සිදුවුවහොත් දුක් නොවන්නේද ?’
බැඳීම මිනියකට පමණක් නොව මේ සියලුම භෞතික වස්තු සඳහාද නොපැවතිය යුතුය .
මා සෝවාන් වී නැත මේ ලොව කිසිවකට බැඳීමක් නැති මුත් සමීපතම කිහිප දෙනෙක්ට බැඳීමක් පවතින බව මා පිළිගත යුතුය , බොහෝ දේ අත් හැරද ඇත , අත් හැරියද හැක නමුත් ඔවුන්ව නොහැකිය , අවසන් කැමති පත්‍රය පවා සකසන විට අසරණ විය හැක්කේ ඒ නිසාය . මරණයෙන් පසු නොව දැනුදු ශාරීර අවයව දන්දිය හැකිය , නමුත් හෙට දිනයේ මා පවසන තුන් හතර දෙනාගෙන් යමෙක්ට අවයවක් අවශ්‍ය වී මගේ අවයවයක් ගැලපිලත් දෙන්නට එකක් නොමැති වුවහොත් මා කෙතරම් අසරණ වේදැයි මම දනිමි . ඉතින් මට බැඳීම තිබෙන්නේ අවට භෞතික දේ සමඟ නොව මා සමඟ නොව ඒ තුන් හතර දෙනා ගැනය .. කිසිවෙක් සමඟ බැඳීමක් නැත යැයි කිවහොත් එය නිසැකයෙන්ම ආත්මාර්ථකාමිකමය . අද සමාජයේ එසේ කියන අය එසේ කියන්නෙ යම්කිසි ඵලයකට පත් වූ නිසා නොව ආත්මාර්ථාකාමි බව නිසාය .. මා තව දුරටත් මගේ මනස සාදා ගත යුතුය එවිට බැඳීම් ගැනත් තව ප්රශස්තව බලන්නට මට හැකිවනු ඇත .
තර්ක කරන්නට උවමණා නැත , අප වචන හරඹ කළ යුත්තේ යහපත් සමාජයක් වෙනුවෙන් මිසක් එකිනෙකාගෙ බලපුලුවන්කාරකම් පෙන්වීමටවත් , එකිනෙකා තලාපෙලා දැමීමටවත් , තර්ක කර ජය ගනු පිණිසවත් නොව . ඔබට කළ හැකිනම් කළ හැකි ලොකුම දේ මෙම පෝස්ටුව සමග තර්ක කිරීම නොව , කියා ඇති කරුණු ගැන හරවත් කතිකාවතක් ඇතිකිරීමය . අවැඩ තුරන් කිරීමට යමක් කිරීමය ..
ස්තූතියි 



උපුටා ගැනීම: W.චතුරි මහේෂිකා-