මවක් සහ දරුවෙක් අතර පවතින ආදරය සෙනෙහස ගැන මා ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.මවක් තුළ තම දරුවන් කෙරෙහි තියෙන සෙනෙහස ගැන කවි ගී සිනමා නිර්මාණ ඕනෑ තරම්. ඇත් රැලක ඇතින්නකට පැටවෙක් ලැබුණම ඇත් රංචුවේ සෑම ඇතින්නකටම කිරි එරෙනවලු. ඉතින් මනුස්ස ලෝකයේ වගේම සත්ත්ව ලෝකයේත් මව සහ දරුවා අතර තියෙන බැඳීම් ඇතැම් විටක අපේ දෑසට කදුළක් එක් කරනවා. ඉතින් මවකට සෙනෙහස ඇති වෙන්නේ තමන්ගේ දරුවෙක් කෙරෙහි විතරක්ම නෙවෙයි. එවැනි සිදුවීම් මනුස්ස ලෝකයේ ඕනෑ තරම් දකින්නට අසන්නට ලැබුණත් සත්ත්ව ලෝකයේ එවැනි සිදුවීම් අසන්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් මේ කියන්න යන්නේ සත්ත්ව ලෝකයේ සිදුවුණු හරි අපූරු බැඳීමක් පිළිබඳව.
ඉතින් වයස අවුරුදු දෙකක් වුණු රොකී බලු පැටියෙක් . ඒත් රොකීව මෙලොවට බිහිකරලා සුළු වෙලාවකින් ඉතාම අවාසනාවන්ත විදියට රොකීගේ මව මේ ලෝකයෙන් යන්නට යනවා. ඉතින් ඉපදුණු දවසේ සිටම රොකීට තමන්ගේ මවගේ උණුසුම ආදරය අහිමි වුණා. ඉතින් පුංචි කාලේ අම්මගෙන් තොර ලෝකයක් දරුවන්ට නැහැ.එයාලා ළඟ හුරතල් වෙනවා තරම් දෙයක් පුන්චි දරුවන්ට නැහැ. ඉතින් ඒ කාරණය මිනිස් ලෝකය සත්ව ලෝකය කියලා වෙනසක් නැහැ. ඉතින් ඒ නිසාම මේ පුංචි රොකීට තමන්ගේ අම්මා නැති අඩුව හොඳින් දැනෙන්න ඇති. නමුත් මවගේ සෙනෙහස මොකද්ද කියලා දුන්නු රොකීට සැබෑවටම මව් සෙනෙහස දුන්නු කෙනෙක් හමුවුණා.ඉතින් පුංචි රොකීට මවක් වගේ ආදරය දුන්නේ ගවයෙක්.

ඒ ගවයා පුංචි රොකීට කොතරම් ආදරය කළාද කිව්වොත් පුංචි රොකීට අමතක වුණා එයා සුනඛයෙක් කියලත්. තණකොළවලින් වටවුණු ලෝකය තමන්ගේ නොවෙයි කියන එකත් පුංචි රොකීට අමතක වුණා. පුංචි රොකී සෙල්ලම් කළේ මේ අලුත් අම්මා එක්ක. සීතලට උණුසුම හේව්වේ ඒ අම්මාගෙන්. සරලවම කිව්වොත් රොකීගේ මුළු ලෝකයම වුණේ ඔහුගේ මේ අම්මා. මොකද රොකී ඉපදුණු දවසේ ඉදලම මේ අම්මත් එක්ක ජීවත් වුණු නිසා.
ඉතින් මේ ගවයත් පුළුවන් හැමවෙලාවකම රොකීව තමන්ගේ ළගින් තියා ගන්නටයි උත්සාහ කළේ . ඒ ගවයාට විතරක් නෙවෙයි රොකීටත් ඔහුගේ ආදරණීය අම්මගේ ආදරය නැතුවම බැරි වුණා. මොකද ආදරය සෙනෙහස තියෙන තැන සතුන් විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙ අපිත් නතර වෙනවා. ඒ වගේම තමයි රොකීටත් ඉපදුණු දවසේ ඉඳලා ආදරය සෙනෙහස දුන්නු ඒ අම්මා ළඟ ඔහු නතර වුණා.

ඉතින් කාලය මේ විදියට ගෙවිලා ගියා. නමුත් හදිසියේම රොකීට තමන්ගේ අම්මාගෙන් වෙන් වෙන්නට සිද්ධ වුණා. අනේ ඉතින් ඉපදුණු දවසේ ඉඳලම මුළු ජීවීතේම කරගත් තමන්ගේ අම්මා කව්දෝ කට්ටියක් ඇවිත් අරගෙන ගියා.මොකද ඒ දෙන්නව අයිති පුද්ගලයා ගවයාව විකුණන්න කටයුතු කළ නිසා. අනේ ඉතින් තමන් හදාවඩා ගත්තු අවුරුදු දෙකක් වුණු පුංචි දරු පැටියාගෙන් වෙන් වෙන්නට ගවයාට සිද්ධ වුණා. රොකීගේ අම්මාව අරන් ගියපු දිහා රොකී ඇස්වල කඳුළු පුරවගෙන බලාගෙන හිටියා. අනේ ඔහුට කියන්නට පුළුවන් වුණා නම් මගේ අම්ම විතරයි මට ඉන්නේ. එයාව අරන් යන්න එපා කියලා. ඒත් රොකීට කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකක් හරි නපුරක් වෙන බව රොකීට දැනෙන්නට ඇති.
ඉතින් පුංචි රොකී තමන්ගේ අම්මාව අරන් යන දිහා ලොකු වේදනාවකින් බලන් හිටියා. ඊට පස්සේ තමන්ගේ අම්මගේ හඬ ඇහෙන පැත්තට ගිහින් කොහොමහරි අම්මාව ගාල් කරපු තැනටම රොකී ගියා. රොකීගේ අයිතිකාරයත් රොකීගේ පස්සෙන් රොකීව අරන් එන්නට ගියා. ඉතින් රොකීට තමන්ගේ අම්මාව දැක්කම යන්තම් හෝ සැනසීමක් ලැබුනා. අම්මගෙ තුරුළේ රොකී හිටියත් රොකී හිටියේ ගොඩක් බයකින්. ඒත් වැඩි වෙලාවක් රොකීට අම්මගේ තුරුලේ ඉන්න ලැබුණේ නැහැ. මොකද රොකීගේ අයිතිකරු රොකීව බලෙන්ම ගෙදර අරගෙන යන්න සූදානම් වුණු නිසා. ඔහුව එක්කන් යන අතරෙත් රොකී අයිතිකරු අතින් මිදෙන්නට දැගලුවා. ඒත් රොකීට ආයේ අම්මා ළගට යන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

නිවසට ආපු ගමන් රොකී තමන්ගේ අම්මා එක්ක ජීවත්වුණු ගාලට ගියා. දුකින් වාඩිවෙලා සිටින රොකී වෙලාවකට මහත් වේදනාවකින් වගේ කෙදිරි ගෑවා. තවත් වෙලාවක හයියෙන් බිරුවා.තවත් වෙලාවකට වටපිට බල බලා තමන්ගේ මව සෙව්වා. නමුත් ආයේ රොකීට අම්මාව ලැබුණේ නැහැ.දින කිහිපයක්ම දුකින් තමයි රොකී කාලය ගත කළේ . තමන්ගේ අම්මාගෙන් වෙන් වුණු නිසා දරා ගන්න බැරි දුකකින් පුංචි රොකීව වෙළාගෙන තිබුණා. නිතරම තමන්ගේ අම්මාව මතක් වුණා. කිසිම කෑමක් බීමක් රොකී ආහාරයට ගත්තෙත් නැහැ. ඉතින් මේ නිසාම අයිතිකරුට නැවත විකුණපු ගවයාව අරන් එන්නට සිදු වුණා. ඒ පුංචි රොකීගේ දුක නැති කරන්නට.
ඉපදුණු දවසේ ඉඳලම හැදුණේ වැඩුණේ සෙල්ලම් කළේ නිදාගත්තේ මේ ගවයා එක්ක. ඒ නිසා රොකීට එය දරා ගන්න බැරි බව අයිතිකරු තේරුම් ගත්තා. අවසානයේ දී පුංචි රොකීට තමන්ගේ අම්මාව ආයේ ලැබුණා.ඉතින් රොකීට සතුට දරගන්න බැරුව අම්මා වටේ සතුටින් දුව පැන ඇවිද්දා. අම්මට තුරුළු වුණා.

ඉතින් මේ සිදුවීම ගැන වෛද්‍යවරුන් කියන්නේ රොකී පුංචි කාලයේ සිටම හැදුනේ මේ ගවයා එක්ක නිසා එයාට පිටස්තර ලෝකයෙන් වැඩක් නැහැ කියලයි . ඉතින් පුංචි රොකී මව් සෙනෙහස ලැබුවේ මේ ගවයාගෙන්. ඒ නිසා සුනඛයෙක් වුනත් ඒ ආදරය ඔහුට මහමෙරක්. ඒ හිමිකරු ගවයාව නැවත රැගෙන එන්නට තීරණය නොකළා නම් ඒ ශෝකයෙන්ම රොකී මිය යන්නත් තිබුණා.
කොහොමහරි ඒ සිදුවීමෙන් පස්සේ සැමදෙයක් ගැනම අවබෝධ කරගත් රොකීගේ සහ ගවයාගේ අයිතිකරු තීරණය කළා අඩුම තරමේ පුංචි වෙලාවක් හරි පුංචි රොකී වෙනුවෙන් වෙන් කරන්න.ඔහුට පිටස්තර ලෝකය ගැන කියලා දෙන්න. ඒ වගේම රොකීට අනෙත් සුනඛයන් සමඟ මිතුරු වෙන්නටත් අවස්ථාව සලසා දුන්නා. රොකීගේ හිමිකරු කියන විදියට ගවයෙක් වුණු තමන්ගේ අම්මගෙන් තොර ලෝකයක් තියෙන බව රොකීට වටහාදීමෙන් රොකීට සතුටින් ඉන්නට හැකිවෙයි .නමුත් උපන්දා සිටම ආදරය සෙනෙහස දී බලාගත් තමන්ගේ අම්මාව නම් රොකී කවදාවත්ම අත්හරින එකක් නම් නැහැ. මිනිසුන් වගේම සතුන් පවා ආදරයට සෙනෙහසට හරිම ලෝබයි.
ඉතින් මිනිසුන් වුණු අපි බොහෝ සංවේදී කල හැකි තරමේ මෙවැනි සත්ත්ව ලෝකයෙත් අපූරු බැඳීම් ඕනෑ තරම් ඇති.
උපුටා ගැනීම: The Lanka Post