අපෙ අම්මා ඉක්මනින් කේන්ති යන හොස්ස ළඟන් මැස්ස යන්න බැරි චරිතයකි. මා පාසල් යන කල ඈ අවුස්සා ගැනීමට හිතාමතා විවිධ දේ කලත් පසු කලක මා කල සියලුම දෑ අනුව ඈ නිතැතින්ම කේන්තියෙන් සිටියාය.
මේ නිරන්තර කේන්තියට හේතුවූවේ ඈ අනුමත නොකල මාගේ පෙම් පලහිලව්වයි. කැත්තට පොල්ල මෙන් මටත් ඒකම කරන්නට උවමනා විය. නමුත් මව වෙනස් වූවේ නැත.
ඉතිං මමද අතඇරියේ නැත. විවිධ උපක්රම යොදා ඇගේ හිත වෙනස් කිරීමට උපරිම උතසහය ගතිමි.
එක් දිනක් මාගේ මිතුරෙකු අපූරු යෝජනාවක කලේය.
“අම්මගෙ හිත හැදෙන විදිහෙ සිංදු දාපන් ඇහෙන්න”
මේ ගැන හිතනවිට මට ඉතා අනර්ග ගීතයක් මා වෙනුවෙන්ම කියූ ගීතයක් හමු විය.
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් නුවන් යුග…
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
දෙපාරක් නොසිතා රෙකෝඩ් බාර් එකකින් කැසට් පටයකට මෙම ගීතය ඇතුළු සොමතිලක ජයමහ මහතාගේ ගීත කිහිපයක් පිටපත් කර ගතිමි.
ගෙදර කැසට් පටි දැමීමට තිබුනේ අම්මාගෙම හිතවතියක් ඩුබායි සිට පැමිණි වෙලේ මට තිලිණ කල රේඩියෝ කැසට් එකකි. ඒත් සිංදු අහනවාට තාත්තා දැඩි ලෙස විරුද්ධය.
කෙසේ හෝ එදින හැන්දෑවේ මා සැලසුම් කල පරිදි “සුනිල්වන් ” ගීතයට පෙර ගීතයේ සිට වාදනය වන පරිදි කැසට් පටිය සාලයේ තිබූ රෙකෝඩරයේ දමා මාගේ කාමරයට වී වෙන දේ නිසොල්මනේ බලා සිටියෙමි. පළමු ගීතයෙන් පසු බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව උදා විය. මව කුස්සියේ සිටි බැවිත් රේඩියෝවේ ශබ්දය කල් තියාම තරමක් වැඩි කර තැබුවෙමි.
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා
ගීතයේ පළමු කොටස ආබාධයකින් තොරව වාදනය වූ නමුත් අම්මා කුස්සියේ සිට සාලයට පැමිණි බව මට ඇසුණි.
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
දෙවෙනි පේලියේ මේ පද දෙක පමණක් ඇසී ගීතය නතර විය. සිදුවුනේ කුමක් දැයි බැලීමට මා කාමරේ දොර රෙද්ද අතරින් හිස දැමූවෙමි.
එවිටම
“මේක දඟ ගෙයක් නම් පලයන් යන්න. උඹ හිතුවද මේ සින්දු දාලා අපිව රවට්ටන්න. ආ දැන් අහගනින් සිංදු” මවගේ ආදරණිය වදන් පෙල අවසන් වනවාත් සමඟම අර මගේ දුප්පත් අහිංසක කැසට් රෙකෝඩරය ගුවනින් ඇවිත් මගේ කාමරයේ දොර උළුවස්සේ වැදී කුඩු පට්ටම් වී ගියේ මට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබාය.
උපුටා ගැනීම: Nirantha Vissundara