ගිනි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගින්නක් කියන්නේම තාපයක් නිකුත් කරමින්, දැවෙන ආලෝක කදම්බයක් ය. ඉංග්රීසියෙන් ෆයර් කියාද, දෙමළෙන් නිරිප්පු කියාද හඳුන්වන ගින්න බාලයෙක්යැ යි බැහැර නොකරන ලෙස ධර්මයෙහි සඳහන් වන්නේය.
දැන් කාලේ කඩේකට ගියහම ලෙහෙසි පහසු නැතිය. දාහක් දුන්නත් මල්ලක් පිරෙන්නට බඩු ගන්නට බැරිය.එළවළු කිලෝ එකක් රුපියල් විස්සටවත් දෙන්න බැරියැයි ගොවීයෝ පොළවේ පස් කනවා ය. රුපියල් තුන් හාරසීයකටවත් වේලක් දෙවේලක් කන්නට එළවළු ගන්නට බැහැයි පාරිභෝගිකයෝ දත් මිටි කනවාය. අතරමැදි මුදලාලිලා සද්දක් බද්දක් නැතිවම ගිනි කනවාය.
කන්නට ඉතින් උයන්නට ඕනෑය. උයන්නට ලිප ගිනි මොළවන්නට ඕනෑය. ලිප ගිනි මෙලවූවේ නැති තැන කුස ගිනි එනවාය. අද කාලේනම් ඉතින් ගෙදර ඉවුවේ නැතත් ඕනෑ තරම් ටේක් අවේ තියනවාය. ඕනෑ සල්ලිය. පාට සුවඳ රස උපරිමය. ගුණය, පෝෂණය , හිතකරබව බිංඳුවය. ඔය මොනවා උනත් අම්මාගේ අත්ගුණේට ඔය කොයි එකටත් යට ය. අම්මා සිංහල අලුත් අවුරුද්දට ලිප ගිනි මෙලවිල්ල කරන්නේ නැකතටය. නැකතට ලිප් බැද ගිනි මෙලෙවුවේ ඒ කාලේය. දැන්නම් කරන්නේ සුභ දිශාව බලා නැකතට ගෑස් ලිප පත්තු කිරීමය.
ආනෙක් අතට ලුණුයි බතුයි කමුකො රත්තරන් කියාන බැන්දාට පස්සෙන් පහු ලිප ගිනි මොළවන්නේ කොහොමදැයි දෙන්නා දෙමහල්ලෝ මරා ගන්නා අවස්ථාද තියනවා ය. දන්නා තරම් පද කස්තිරම් දා ඕනෑම ගිනිවිජ්ජුම්බරයක් කර දවසේ සම්තින්ග් එක හොයා ගන්නට සමහරු පෙළඹෙන්නේ ඒකය. කනකර ටික ගිනි පොළියට උකස් කර ගෙදර අඩුපාඩුකම් පිරිමහන්න වෙන වෙලාවල් ද සමහරවිට එනවාය. කොහොමත් පොළී ගෙවිල්ල ලේසි නැතිය. ලීසින් එක මතක් වෙනකොට වීසින් වගේ එන්නේ , සියොලඟම ගිනි ගන්නවා වාගේ දැනෙන්නේ ඒ නිසාය.
කොහොමත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතැයි පැරැන්නෝ කියනවා ය. කොයි කොයි කට කතාවෙත් පොඩි පොඩි අස්කොන් තියනවාය. කටකතා පතුරවන්නට දස්ස ගෑණුන් වගත්, උන්දෙලා තරම් ගිනිබෝම්බ තුන්ලෝකේවත් නැති බවත්, සමහරු කියනවාය. ඒ වුණාට චීත්ත අදින මල් බයිසිකල් කාරයෝ සමාජයේ නැතුවා නොවේය. කවුරු මොන කතා හැඳුවත් දවසක අළු යට ඇති ගිනිපුපුරු සේ ඇත්ත එළියට එනවා ය.
ගින්දරයි පුලුනුයි එකට ලං කරන්නට එපායැයි කියාද කතාවක් තියනවාය. විසේකාර කොල්ලෙක්ට, කෙල්ලෙක්ට වැඩි පුර ලංවන්නට , තනි වන්නට ඉඩ හසර ලැබුණුකල දැල්වෙන නුරා ගින්න හේතුවෙන් මොනවායින් මොනවා වේදැයි පෙර කල වැඩිහිටියෝ නිතර සිටියේ විමසිල්ලෙන් ය. දැන්නම් ඔවුවා වෙනස් ය. කෙල්ලෙක් කොල්ලෙක් තනිපංගලමේ දමා යන්න ඒ හැටි භය වෙන්න ඕනෑ නැතිය. උන් දෙන්නා වගේ වගක් නැතිව සෙල්ෆියක් ගසාගෙන, ටික් ටොක් එකක් කරාන, චැට් එකක් දාන් , “තමා තම ලෝකේ තමා ” කියාන දෙපසට වී ඉන්නවාය. දැන් ගැටළු ඇතිවෙන්නේ, වැඩිමල් උන්දෙක්, බාල අයෙක් එකට තිබ්බොත් ය. සිය හැට දෙහැවිරිදි පෙම්වතා ඉල්ලා විසිදෙහැවිරිදි පෙම්වතිය පොලිසියේ යකා නටන්නේ ඒ නිසාය. තම මවගේත් , මවගේ විසිදෙහැවිරිදී පෙම්වතාගේත් විවාහයට විසිහතරහැවරිදී දියණිය සුභ පතන්නේ ඒ නිසාය. මෙවුවගේ ගිනිවිජ්ජුම්බර අපේ අම්මා මුත්තා කාලෙවත් වුනාදැයි බලාන ඉන්නට වෙන්නේ අපටය.
කොහොමත් අපි ඔහේ බලාන ඉන්නට දක්ෂ ජාතියක් ය. ඇස්දෙක ගිනිකණ වැටෙනකන් මෙලෝ ගාණක් නැතිව බලාන ඉන්නට දක්ෂ ජාතියක් ය. දෙසැම්බර් තිස් එක් වෙනිදා රෑ ඇතැම් රූපවාහිනී නාලිකාවල විකාශනය වූ ගිනිකෙළි සංදර්ශන පුදුමාකාරය. ගින්දර වාගේ හැඩවුණු ගෑණු පිරිමි තාලෙට නටනවාය. නෝනා දිගට ඇදලාය. ඉනට පළලාය. පාදය ඔසවනවිට රෝස තිරිවානා ගලත් ගලක්දැ යි සිහිකරනවා ය. දරුවොත් එක්ක බලන්නට බැරි නිසා නොබලා හිටියා මිස, හොදින් බැළුවානම් අහවල් ඇදුමේ මෙහෙමයි මල් මල් කියන්නට වුව ප්රේක්ෂක අපට හැකියාවක් ලැබෙනවා ය. එහෙමයි කියා අපේ නළු නිළියන්ට බනින්නට හොඳ නැතිය. ඒ තරමට රටක් ලෝකයක් ඉස්සරහා තමන්ගේ බිරිඳගේ , දියණියගේ ,සහෝදරියගේ රහස් ප්රදේශ, තව දුරටත් රහසක් නොවන තත්වයට පත්කරන්නට, දවසක් හෝ පාසැල් ගිය එකෙකුට හිත් දෙන්නේ නැතිය. මේ කොරෝනා කාලේ හැදෙන චිත්රපටියකුත් නැතිකොට උන්දෙලාත් සුදහ ගින්දර නිවා ගන්නට මේ තරම් දෙකේ කොළේට වැටුනා ද දන්නේ නැතිය. රූපවාහිනි නාලිකා වල විකාශනය වන වැඩසටහන් පිළිබඳ නියාමනයක්, ආචාරධර්ම පද්ධතියක් ඇතිකළ යුතු නිළධාරීන් හා බළධාරීන් ද, දෙන දෙයක් කා වෙනදෙයක් බලාන ඉන්නා කොට, නිකම්ම නිකන් හූදී ජනයා වන අපි ගිනිවතුරෙන් මත් වූ නාලගිරියා වගේ, ගිනිකුන්දම් ගෙන රටයැකුමට සැරසෙන්නට හොඳ නැතිය. අනේ කාලේ වනේ වාසේ කියාන ඉන්නට වගබලා ගන්න ඕනෑය.
වගබලා ගන්නවානම් වැදගත්ම දේ ආරක්ෂාවය. ඉන්ධන ප්රවාහනයේදි තෙල් බවුසර්වල “වහා ගිනි ඇවිලෙන සුළුයි” කියා සදහන් කර ඇත්තේ ඒ නිසාය. ඉන්ධන විතරක් නෙමේය සමහර නැන්දම්මලාත් ලේලිලාත් එහෙමය. වහා ඇවිලෙනවාය. හොස්ස ලඟින් මැස්සා ගියත් ඇතිය. මෙවුවා නිසා හිස ගිනි ගන්නේ මහත්තුරුන්ගේ ය. ඒ වෙලාවට ගිනිසිසිල මන්තරයවත් කියාන රැවුලයි කැදයි දෙකම බේරාගන්නට උන්දෙලා වඟබලා ගන්නට ඕනෑය. ගෑණුන් එක්ක එවුවා බේරාගන්නට ලේසි නැත්තේ, උන්දෙලා ගිනිකඳු වාගේ නිසාය. ඇතුලේ ලෝදිය පැහෙන වග, පිටට පේන්නේ නැතිය. කොයි වෙලා පුපුරයිදැ යි කියන්නට බැරිය. පලාතම දැවී හළුවෙන්නේ බලා ඉදිද්දීය.
ලැවුගිනි නිසා පහුගිය කාලයේ බලා ඉද්දී වනාන්තර අක්කර ගණන් විනාශ විය. නිදාගෙන ඇහැරෙන විට කැලෑ අක්කර ගාණන් පිච්චිලාය. වෙච්ච විදිහක් කවුරුත් දන්නේ නැතිය. වන්නිලැත්තෝ නඩු කියන්නට යන්නේ මේ අවනඩු ගැනය. රතු ඉන්දියානු නායක සියැටල් කිවුවේ ද මේ අවනඩුව ගැනය. හිතන්නටයැයි කියමි. සියැටල්ගේ ම වචනයෙන් ලියා තබමි. “අප දන්නා පරිදි මේ මහපොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහපොළොව ට අයිතිය. පවුලේ සියළු දෙනා එකම ලේ බැම්මෙන් බැදෙන්නාක් මෙන් මෙලොව ඇති සියළු දේ එකට බැදී තිබෙන බව අපි දනිමු. ජීවිතය නැමති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූලක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කළහොත් ඒ තමාටම කර ගන්නා උපද්රවයකි. ” මහපොළව ගිනි තැබූ දිනෙක, මිනිසාද දැවී හළුවී යනු ඇතිය.
උපුටා ගැනීම: ජීවනී පෙරේරා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!