“යාලුවෝ දෙන්නා බස් හෝල්ට් එකේ ගහගෙන. පොලිස් මහත්තයෙක් තමා බේරලා තියෙන්නේ” අම්මා තාත්තට කියනවා මං අහන් හිටියේ. අපි අහිංසක මිනිස්සු. ඒත් ඒ වෙලාවේ මට දිනිදු එක්ක හොඳටම තරහා ගියා. එක වසරේ ඉදන් අපි එකටම හිටියේ. ඒත් ඊයේ අපේ තාත්තාට ගොයියා ගොයියා ගගා ලමයි විහිලු කරා. මං එතනට එද්දි දිනිදු ඒ ලඟ හිටියා. දිනිදුත් මාව ගණන් නොගෙන ඒ වෙලාවෙ මොනාදෝ ලියනවා. හැමෝටම රවලා මං පුටුවෙන් ඉඳ ගත්තේ ආයෙ දිනිදු එක්ක වචනයක් කතා කරන්නෙ නෑ කියලා හිතාගෙන. ස්කෝලේ ඇරිලා ස්ටෑන්ඩ් එකට යනකොට දිනිදු මට කතා කරනවා ඇහුනා. ඇහුනේ නෑ වගේ ඇවිත් මං හිටගත්තේ එයා එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බෙ නැති හින්දා.
” ශලිත්. ඇයි උඹ අවුලක්ද? ” දිනිඳු ඇහුවම මං නෑහුනා වගේ හිටියා.
” උබේ කන් ඇහෙන්නේ නැද්ද? ගොයි මහත්තයෝ” කියලා හෙමින් කිව්වත් මට ඒක හොඳට ඇහුනා. මොන තරහක් ආවද මං දන්නෙ නෑ දිනිඳුව බිම පෙරලන් මං ගැහුවා. කට්ටියබ්කෑ ගැහුවත් මං නැවැත්තුවේ නෑ. තාත්තගේ රස්සාවට නේද උඹලා හිනාවෙන්නෙ කියලා හිත හිත මං දිනිඳුට හොඳටම ගැහුවා. කටින් ලේ එනවා දැක්කා. එක පාරක්වත් දිනිඳු මට ගහන්න හැදුවේ නෑ. ඇස්වල කඳුලු පුරවන් දිනිඳු බලන් හිටියෙ මං යාලුවා හින්දම කියලා මං දන්නවා. “ඔන්න පොලිසියෙන්” කියන සද්දෙට මං දිනිඳුව අත් ඇරලා උඩ බැලුවා. ශර්ට් එක ඉරිලා බොත්තම් කැඩිලා දිනිඳු හරි අමාරුවෙන් ඉන්නවා දැක්කා. බස් එක එනවා දැකලා මං ඒකට දුවලා දැක්කේ ආයෙ නම් ජීවිතේට මේ වගේ යාළුවෙක් එපා කියල හිතලමයි.
” මහත්තයා. අන්න අර පුතාලගේ අම්මා ඇවිල්ලා.” මං පියවි සිහියට ආවේ ඒ හඬට.
” අපේ ලමයට ගහලා මූණත් තුවාල කරලා. එච්චර හරියක් කරන්න ඒ දරුවා තමුන්ලගෙ දරුවට කරපු වරද මොකක්ද? ” බනින සද්දේ ඇහිලා මං එලියට ගියා.
” ආ. වීරයා ආවද? හෙට පොලිසියේදි හම්බෙමුකො.” එහෙම කියලා එයා යන්න ගියා. දිනිඳුගේ තාත්තා පොලිසියේ ඒකයි ඔච්චරම පොලිසියට යන්න ඇත්තේ කියල හිතන් මං උදේ තාත්තා එක්ක යන්න ලෑස්ති උනා.
පොලිසිය ලඟට යද්දිත් දිනිඳු ඇවිල්ලා එලියේ. මේ පොඩි රණ්ඩුවට මොකටද පොලිසි ආවේ කියලා මං හිත හිත හිටියා. දිනිඳු දිහා නොබලම මං යන්න යද්දි මට කතා කරා.
“ශලිත් ” අතේ තියන් හිටපු පොත මට දුන්නා.
” මේ මොකක්ද?”
“ඊයෙ කට්ටිය එක එක ඒව කියද්දි මං ඔයාට බැරි උන නෝට් එකක් ලියන ගමන් හිටියේ. එයාලට උත්තර දෙන්න ගියා නම් මට මේක ලියලා දෙන්න බැරි වෙනවා. ගොයි මහත්තයා කීවට සොරි. ගොයියා නෙමේ මට ඔයාගෙ තාත්තා ගොයි මහත්තයෙක්. ඒකයි එහෙම කිව්වේ ” දිනිදු පොත දීලා බිම බලාගත්තා.
එවෙලෙම දිනිදුගේ තාත්තා පොලිසියේ ගේට් එකෙන් එලියට ආවා.
” දැන් තමුන්ට මොනාද මගේ දරුවගෙන් ඕනේ.?මොනා ගන්නද මෙච්චර රණ්ඩු?”
” යාළුකම..
” මං ගිහින් දිනිඳු ලගින් හිටගත්තා.

උපුටා ගැනීම: Sewmini Wickramasinghe