ශාකසාර වල අපරිමිත ගුණය මිනිස් ශරීරයට ලබාගැනීමට පහසුම සහ සුදුසුම ආකාරයක් ලෙස කැඳ වර්ග භාවිතය දැක්විය හැකිය. උදෑසන කැඳ කෝප්පයකින් ආරම්භ කරන දිනයක ඇති ප්‍රාණවත් බව සහ ශක්තිය ඉතා ඉහළය. අතීතයේ මෙරටට පැමිණි විදේශිකයන් කිරිපිටි පානය ප්‍රචලිත කිරීම පිණිස කැඳ වර්ග භාවිතය නිවට ක්‍රියාවක් සේ සැළකීමට උත්සාහ කරන ලදී. නමුත් සැබෑ ලෙස සැළකූ කළ දේශීය කැඳ වල අඩංගු ගුණයන් මෙතකැයි කියා විග්රහ කොට අවසන් කිරීම අසීරු කාර්යයකි. අතිතයේ මෙරට ජීවත් වූ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවේ පොළොව තුළ වැඩෙන පැළෑටි සහ ශාක ගණනාවකින් ගුණවත් සහ රසවත් කැඳ වර්ග පිළියෙළ කරගැනීමට තරම් දක්ෂ වූහ.
වර්තමානයේ ද, සාමාන්‍යයෙන් ඕනෑම ගෘහණියක් කැඳ වර්ග සෑදීමට දනී. නමුත් ඒවායේ පෝෂ්‍ය ගුණ කෙතරම් අඩංගු වේද යන්න බොහෝදෙනා අවදානයට ලක් නොකරන කරුණකි. මෙහි දැක්වෙන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන ඉතා පහසුවෙන් සාදාගත හැකි කැඳ වර්ග කිහිපයක් පිළිබඳව වැඩි පිරිසක් නොදන්නා තොරතුරු ය.
1.කොළ කැඳ
මෙය ශාකසාර ආශ්‍රිතව ඉතාම පහසුවෙන් සාදාගත හැකි කැඳ වර්ගයයි. ලංකාවේ ජනතාව ඉතාම ප්‍රියකරන සහ ඕනෑම අයෙකුට පහසුවෙන් සාදාගත හැකි පානයකි. කොළ කැඳ වල පොදු ගුණාංග ලෙස කුසගින්න, පිපාසය දුරුකිරීම, ශරීරගතව පවතින වාත අමාරු සමනය කිරීම, ආහාර මාර්ගයේ ආමාශය, අග්න්‍යාශය සහ අන්ත්‍ර ප්‍රදේශ පිරිසිදු කිරීම ආදිය හැඳින්විය හැකිය. එසේම මලමූත්‍ර පිටකිරීම සහ බහිස්‍රාවය සම්බන්ධ ගැටළුකාරී තත්ව සුවකිරීම, විෂ හරණය, ශරීර ශක්තිය වර්ධනය, මහන්සිය නැති කරවීම, සම පැහැපත් වීම, ධාරණ ශක්තිය වැඩිවීම වැනි වාසි රැසක් කොළ කැඳ භාවිතයෙන් ලැබේ. එසේම ඒ ඒ කොළ වර්ගවල පවතින ඖෂධීය ගුණ කොළ කැඳ මගින් ශරීරයට ලබාගත හැකිය. එනම් මෙහි ඇති ගුණාත්මක බව ඉතා විශාල පරාසයක විහිද පවතී. ඕනෑම නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයක පහසුවෙන් සොයාගත හැකි කොළ වර්ගවලින් කැඳ සාදාගත හැකිය.
කොළ කැඳ සඳහා බහුලවම යොදාගන්නා කොළ වර්ග
•ගොටුකොළ -කැස්සට, පණු රෝග, සෙම් රෝග, ශරීරයේ දැවිල්ල ආදී රෝගවලට, ධාරණ ශක්තිය වැඩිකිරීමට. එමෙන්ම ඇස්වල ක්‍රියාකාරීත්වයට, සම පැහැපත් කිරිමට, මූත්‍ර මාර්ගයේ ආසාදන වලට, කිරි දෙන මව්වරුනට, රක්ත වාතය, අතීසාරය, දියවැඩියාව, ඇදුම, ප්‍රදාහය, අක්මා රෝග වලට සහ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ගුණදායක වේ.
• හාතාවාරිය කොළ – වා පිත් රෝග සඳහා, මවුකිරි වැඩීමට, ශරීර ශක්තිය වැඩීමට, සමට සහ හිසකෙස් වලට, හෘද ක්‍රියාකාරීත්වයට
• පොල්පලා කොළ – මූත්‍ර පද්ධතිය ආශ්රිත රෝග සඳහා
• කරපිංචා කොළ – මේද බිඳහෙලීම, පණු රෝග, ඇස් පෙනීම වැඩි කිරීම, සර්ප ගෝනුසු ආදී විෂ වලටද කරපිංචා කැඳ විශේෂයෙන් යොදාගනී.
• වැල්පෙනල කොළ – ලිංගික ශක්තිය වැඩි වීමට, ශුක්‍ර ක්‍රියාකාරීත්වයට, ස්ත්රීන්ගේ ආර්තවය ක්‍රමවත්ව පවත්වාගැනීමට
• මොනරකුඩුම්බිය කොළ -උණට, මූත්‍ර ගල් දියවීමට, පණු රෝග සඳහා
• ඉරමුසු කොළ – වා පිත් සෙම් දෝෂ සඳහා, රුධිරය පිරිසිදු කරවීමට,කුෂ්ඨ රෝග සඳහා
• ලුනුවිල කොළ – හිසකෙස් පැසීම වැළැක්වීමට, රුධිරය පිරිසිදු කිරීමට
එමෙන්ම පහත සඳහන් කොළ වර්ග සියල්ලම ද කැඳ සෑදීම පිණිස යොදාගත හැකිය.
වැල් තිබ්බටු කොළ • රණවරා කොළ • එළබටු කොළ • කුප්පමේනියා කොළ• නීරමුල්ලිය (ඉකිරිය) කොළ • විශ්ණු ක්‍රාන්තිය කොළ • නිල් කටරොළු දළු කොළ • නෙලුම් දළු කොළ • දියබෙරලිය කොළ • කොහිල කොළ • දියමෙනේරිය කොළ • කීකිරිඳිය කොළ • හීං බෝවිටියා කොළ • එරබදු කොළ • ඔළිඳ කොළ • දිවුල් කොළ • කෝන් කොළ • රත්කරල් හැබ කොළ • කිරි අගුණ කොළ • සුදු කටරොළු කොළ • මුකුණුවැන්න කොළ • පොල්පලා කොළ • කතුරුමුරුංගා කොළ • බෙහෙත් අනෝදා කොළ • බටකිරිල්ල කොළ • යකිනාරං කොළ • ගොනික කොළ • තැල් කොළ • නික කොළ • විලඳවැන්න කොළ • පේර දළු කොළ •අලිගැටපේර දළු කොළ • හීන් උඳුපියලිය කොළ • තෝරකොළ දළු • කහඹිළියා කොළ • කෝවක්කා කොළ
මෙකී කොළ වර්ග එකක් හෝ කිහිපයක් එකට එකතුකර කැඳ සාදාගත හැකිය. එහිදී එකී කොළ වර්ගවල ගැලපීම පිළිබඳව සැලකිලිමත් වීම වටී. මේ සඳහා ගන්නා කොළ ඉතා පිරිසිදු බවට සහතික කරගැනීම ද කළ යුතුම වේ. එසේම එකම කොළ වර්ගයක කැඳ, දිගින් දිගටම කාලයක් පානය කිරීමෙන්ද ගැටළු ඇතිවිය හැකිය.
2. කුරක්කන් කැඳ
ශ්‍රී ලංකාවේ දේශීය ආහාර රටාවේ මුල්තැනක් ගන්නා ධාන්‍ය වර්ගයක් වන කුරක්කන් ආශ්රයෙන් සාදාගන්නා කැඳ, ජනප්‍රිය මෙන්ම ඉතාම ගුණදායක කැඳ වර්ගයකි. තිරිඟුපිටි හෙවත් පාන්පිටි භාවිතයට පැමිණීමට පෙර ශ්‍රී ලාංකිකයන් අතර සහල් වලට පසුව ප්‍රධාන පිෂ්ඨය ලබාගන්නා ආහාරය වූයේ කුරක්කන් ය. කුරක්කන් ග්‍රෑම් සියයක කිලෝ කැලරි 330 පමණ අඩංගුවේ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් සහ තන්තු ප්‍රධාන වශයෙන්ම ඇත. විටමින් B1, B2, නියසින්, රයිබොෆ්ලේවින්, තයමින් වැනි විටමින් වර්ග ද යකඩ, පොස්පරස්, තෙල් සහ මේද සුළු වශයෙන් ද එහි අඩංගු ය. කැල්සියම් වැනි පෝෂක ද අඩංගු වන බැවින් කුරක්කන් කැඳ කුඩා දරුවන්ගේ දත් සහ අස්ථි වර්ධනය පිණිස උපකාරී වේ. ඔවුන්ගේ උදරාශ්‍රිතව ඇතිවන අජීර්ණ තත්වයන් හට ද දිගුකාලීන ප්‍රතිකර්මයකි.
තලප වලට වඩා පහසුවෙන් ආහාරයට එක්කරගත හැකි නිසා කුරක්කන් කැඳ කුඩා දරුවන්ට වඩා යෝග්‍ය ය. එසේම කැල්සියම් පැවතීම නිසා ඔස්ටියෝපොරෝසිස්, ඔස්ටියෝආතරයිටිස් වැනි අස්ථි සම්බන්ධ රෝගයනට ඉතා ප්‍රතිඵල දායක වේ. තන්තු හෙවත් කෙඳි බහුල ආහාරයක් නිසා ආහාර මාර්ගයේ අපහසුතා ඇති රෝගීනට ඉතාම ගුණදායක වේ. එම කෙඳි සහිත ස්වභාවය නිසා කොලෙස්ටෙරෝල් රෝගීන් හට මෙන්ම හෘද රෝගවලින් පෙලෙන අයට ද හොඳ ආහාරයකි. විශේෂයෙන් Glycemic index අගය අඩු නිසා දියවැඩියා රෝගීන්ගේ පිෂ්ඨ අවශ්‍යතාවය සඳහා හොඳ විකල්පයකි. පහසුවෙන් ජීර්ණය වන ආහාරයක් නිසා නිතරම කුසගිනි ඇතිවීමට, බඩ පිපුම හා අජීර්ණ තත්වයන්ට දිව ඔසුවකි. එමෙන්ම කෙඳි ගතිය නිසා මලද්‍රව්‍ය පහසුවෙන් පිටකරවීමට ද දායක වේ.
අන්ත්‍රවල නිපදවෙන සහ ආහාරපාන සමඟ පැමිණෙන විෂ කොටස් ශරීරයෙන් ඉවත් කරයි. කුරක්කන් කැඳ සතියකට දෙතුන් වරක්වත් පානය කිරීමෙන් අග්න්‍යාශගත රෝගවලට විසඳුමක් ලැබේ. කුරක්කන් මගින් අග්න්‍යාෂයේ ඉදිමුම් සුවකර එහි ක්‍රියාකාරීත්වය යහපත් කරයි. රුධිර සංසරණ පද්ධතියේ ධමනි ආශ්රිත රෝග නැති කරයි. රුධිරාණු නිපදවීම ප්රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමට දායක වේ. ශරීරයේ ශක්තිය වඩවන ආහාරයකි. එමගින් ශරීරයේ සමස්ත රුධිර සංසරණය යහපත් අතට හරවයි. එසේම වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන අධික තරබාරුව වැනි බෝ නොවන රෝගවලට ගුණදායක වේ. විශේෂයෙන් සිරුරේ සන්ධිවල සහ මාංශපේශීන්වල ක්රමානුකූල වර්ධනයට, උදරයයේ හා ඉනේ මාංශ පේශීන් එල්ලා වැටීම අවම කිරීමට මහෝපකාරී වේ.
3. කිතුල්පිටි කැඳ
ඉතාම ප්‍රණීත මෙන්ම සිසිල්, ගුණදායක ආහාරයකි. කිතුල් පිටි ආශ්‍රිතව නිපදවූ අයිස්ක්‍රීම්, යෝගට්, පුඩිං, ටොෆී වර්ග මෙන්ම කැඳ වෙළඳපොලේ දක්නට ඇත. කිතුල්පිටි ආශ්රිත කැඳ ඔබට ඉතා පහසුවෙන් නිවසේදී සකසාගැනීමට ද හැකිය. එසේ කාල වේලාවක් නොමැති අයට වෙලදපොලෙන් පහසුවෙන් මිලදීගැනීමට කැද පැකට් තිබේ. කිතුල්පිටි කැඳ වල වැඩි වශයෙන් අඩංගුවන්නේ කාබෝහයිඩ්‍රේටයි. එසේම පොස්පරස්, පොටෑසියම්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ වර්ග, විටමින් සහ මේදය ද සුළු වශයෙන් අඩංගු වේ.
ආයුර්වේදයේ එන අන්දමට කිතුල් පිටි කැඳ සිසිල් ගුණ සපිරි ආහාරයකි. එබැවින් උෂ්ණාධික රෝග සඳහා සහ ගැස්ට්‍රයිටීස් සඳහා ඉතාම ගුණදායක වේ. ආහාර රුචිය වඩන පානයක් ලෙස ද මෙය හැදින්විය හැකිය. මහළු අයට, ගැබිණි මව්වරුන්හට මෙන්ම කුඩා දරුවන්ටද යෝග්‍ය වේ. අර්ශස් රෝගීන් හට ද ආහාර මාර්ගයේ හා උදරයේ තුවාල පවතින අයට ද, අධි රුධිර පීඩනය සහිත රෝගීන්හට ද සුදුසු ආහාරයකි. ශරීරයේ වර්ධනය මෙන්ම ශරීර ශක්තියද වඩන ආහාරයකි. කෙසේ වෙතත් සීනි සහිත ආහාරයක් නිසා දියවැඩියා රෝගීන් හට පාලනයකින් යුතුව ගතයුතු ආහාරයකි. ඇදුම ආදී ශ්වසන රෝග සහිත රෝගීන්නට සුදුසු නොවේ.
3. සව් කැඳ
පහසුවෙන් සපයාගත හැකි ධාන්‍ය විශේෂයක් වන සව් මගින් සාදාගන්නා කැඳ ඉතාම ගුණදායක ආහාරමය පානයකි. ශරීරය සිසිල් කිරීමේ විශ්මිත හැකියාවක් සව් කැඳවලට ඇත. අතීතයේ පටන් අපේ රටේ දේශීය ආහාර රටාව ගැන අවබෝධයක් ඇති ගෘහණියන් දෙල්, බලමාලු, ඉස්සන්, කකුළුවන් සහ දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ආහාර කෑම වේලට එක්කිරීමෙන් පසු, එහි පවතින උෂ්ණාධික බවට ප්‍රතිකර්මයක් ලෙස සව් කැඳ කෝප්පයක් පිළිගැන්වීම පුරුද්දක් කරගෙන සිටියෝ ය. විශේෂයෙන්ම පැපොල, කම්මුල් ගාය, සරම්ප වැනි වෛරස් රෝගාබාධයන් සහ නගන, ඇස් ලෙඩ වැනි රෝග සඳහා ද ගුණදායකවේ. එහිදී සව්කැඳවල පවතින සිසිල් ගුණය මෙන්ම ආහාර රුචිය වඩවන ගුණයද උපකාරී වේ.
ඉක්මනින් ජීර්ණය වන පිෂ්ඨය, සව් කැඳ වලින් සිරුරට එක්කරගත හැකිය. එය උදරයේ ඇතිවන අපහසුතා මගහරවයි. විශේෂයෙන්ම ශරීරය දුර්වල රෝගීන්හට සුදුසුම ආහාරයකි. කුඩා දරුවන්ට සහ මහලු අයටද ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරීවිය හැකිය. සව් කැඳවල පවතින ප්‍රණීත රසය නිසා බොහෝ දෙනා එයට ප්‍රිය කරයි. ගර්භණී මව්වරුන් සඳහා මෙන්ම, ඔවුන්ගේ කුසෙහි වර්ධනය වන නොමේරූ කළලයන්හි නිරෝගී බව වර්ධනය කිරීමටද සව් කැඳ දිව ඔසුවකි. එසේම ඔවුන්ට ගර්භනී කාලයේ ඇතිවන ආහාර අරුචියටද සව්කැඳ හොඳම විසඳුමකි. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ව වලදී සව් කැඳ පානය එතරම් සුදුසු නොවේ.
සව් වල අඩංගුවන ඛණිජ ලවණ වර්ග, කැල්සියම් සහ විටමින් වර්ගත්, ශාකමය ප්‍රෝටීන වර්ගත් සිරුරට මහත් ගුණදායක වේ. මෑත ඉතිහාසයේ කරන ලද සොයාබැලීම් වලට අනුව පිළිකා රෝගය හේතුවෙන් සහ පිළිකා රෝග වලට ප්‍රතිකාර ලෙස සිදුකෙරෙන Chemo therapy, Radiation therapy, Hormone therapy ආදී සමහර සුවිශේෂී සායනික ප්‍රතිකාර විධි වලින් පසුව ඇතිවන ඔක්කාරය, ආහාර අරුචිය, ශරීරය කෙට්ටුවීම වැනි ආබාධ වලින් පීඩා විඳින්නන්ට සිය නිවෙස් වලදීම කළ හැකි පහසුම ප්‍රතිකර්මයක් වන්නේ සව්කැඳ පානය කිරීමයි.
සව් කැඳ සැකසීමේදී හැකිතාක් අඩු සීනි ප්‍රමාණයක් යොදාගත යුතු ය. එසේම කරාබුනැටි, කරදමුංගු ආදී සමහර කුළුබඩු වර්ග සහ පොල් කිරි යෙදීමෙන් සව්කැඳ පානය වඩා රසවත් වනවා සේම, මිහිරි සුවඳක් ද එයට එක්කරගත හැකිය.
4. සුදුළූණු කැඳ
බොහෝදෙනා නොදන්නා කරුණක් වුවත් මුළුතැන්ගෙයි අනිවාර්ය කුළුබඩුවක් වන සුදුළූණු යොදාගෙන බෙහෙවින් ගුණදායක මෙන්ම රසවත් සුදුළූණු කැඳ පිළියෙල කරගත හැකිය. මෙය සාමාන්‍යයෙන් ලුණුකැඳ සකසා ගන්නා ආකාරයෙන්ම ඉතා පහසුවෙන් සකසාගත හැකි කැඳ වර්ගයකි. එහිදී කැකුළු හාල් තැම්බීමට පෙර තලාගත් සුදුළූණු එයට එක්කරගැනීම කළ යුතු ය. සුදු ලූණු කැඳ පානය කිරීම මගින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම, හෘද රෝග පාලනය, අධික රුධිර පීඩනය පාලනය කිරීම, ආතරයිටිස් රෝගයි සමනය, සහ සිරුරේ ප්‍රතිශක්තිය වැඩවීම ආදී කරුණු සිදුවේ. එසේම සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ආසාදනද දුරුකරවීම, සෙංගමාලය, ඇදුම, මුඛ රෝග, මූත්‍රා මාර්ගයේ ආබාධ සහ පෙණහළු ආශ්රිත ආබාධ සඳහා දීර්ඝකාලීනව සුවගෙන දෙන ඖෂධීය පානයක් වශයෙන් සුදුළූණු කැඳ සැලකේ.
6. දේශීය සහල් කැඳ
දේශීයව ලංකාව තුල වගා කරන ලද සහ වගා කෙරෙන සහල් විශේෂ බොහෝ සංඛ්‍යාවක් පවතියි. සුවදැල්, සුදු හීනැටි, කලු හීනැටි, තණ හාල්, මඩතාවලු සහ වෙනත් දේශීය සහල් රැසක් පවතින අතර ඒවායේ ගුණය අතිමහත්ය. කාබෝහයිඩ්රේට් වලට අමතරව විටමින් බී වර්ග බොහෝමයක් ද, ප්‍රෝටීන, මේදය සහ යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ මේවායේ බහුලව අඩංගු වේ. එසේම තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් ද මේවායේ සුළු වශයෙන් අඩංගු වේ. මෙවැනි පෝෂක අඩංගු දේශීය සහල් වලින් සකසාගන්නා ලද කැඳ වල ඇති ගුණය ද බොහෝ ඉහළය. වැඩිහිටියන් හට මෙන්ම කුඩා දරුවන්ගේ නිරෝගි බව පවත්වාගැනීමට මෙම දේශීය සහල් වලින් සාදාගන්නා ලද කැඳ පානය උපකාරී වේ.
සිරුරේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ප්රශස්ත මට්ටමක් දක්වා අඩු කරවීම මගින් රුධිර වාහිනීවල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම වැළකේ. එමගින් හෘද රෝග සඳහා ඇති අවදානම අඩු කෙරේ. ආහාර හොඳින් ජීර්ණය පහසු කිරීම, දියවැඩියාව වැනි රෝග පාලනය මෙන්ම ශරීරයට ඉහල ශක්තියක් ලබාදීම ද මෙම සහල් කැඳ පානයෙන් සිදුවේ.
ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්රිත ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත්, එමගින් බෝවන රෝග වලට නිරාවරණය වීමට ඇති අවදානම අවම කරවීමටද මෙම කැඳ පානය ඉවහල් වේ. මව්කිරි අහිමි කුඩා දරුවන් හට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබාදීමට තණ හාල් කැඳ උපකාරී වන බව පැවසේ. තවත් ගුණයන් රැසක් ලබාගැනීමට දේශීය සහල් කැඳ පානයට ඔබත් අදම පුරුදු වන්න. වෙලදපොලේ මිලදීගැනීමට ඇති කැඳ පැකට්ටු, වෙනත් කෘතිම බීම වර්ග සහ කිරි පිටි වලට වඩා පෝෂණයක් ඔබට ලබාදෙනු නිසැකය.
හැකිතාක් ‘කැඳ බොන්න’
මෙහි දැක්වෙන කැඳවර්ග වලට අමතරව තවත් බොහෝ කැඳ වර්ග ඔබේ ආහාර වේලට එක්කරගැනීමේ හැකියාව පවතී. ශ්‍රී ලාංකිකයින් ලෙස අවට පරිසරයෙන් සහ වෙළඳපොලෙන් බොහෝ පහසුවෙන් සොයාගත හැකි ධාන්‍ය වර්ග, පළා වර්ග, ඖෂදීය පැළෑටි ආදිය මේ සඳහා භාවිත කල හැකිය. එමගින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය ගුණයන් ඉමහත් සංඛ්‍යාවක් එකවර ලබාගැනීමේ හැකියාව ඇත. මතක ශක්තිය වර්ධනය කිරීම, සිරුරේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීම, සම පැහැපත් වීම, ඇස්වල ක්‍රියාකාරීත්වය වැඩිකිරීම වැනි පොදු වාසි රැසක් කැඳ වර්ග භාවිතයෙන් පහසුවෙන්ම ළඟාකරගත හැකිය. විශේෂයෙන්ම කිරිපිටි භාවිතය කෙතරම් දුරට ශාරීරිකව ගුණදායක ද යන්න පිළිබඳව විවාදාත්මක මාතෘකාවක් වී ඇති මේ කාලයේ, ඔබේ උදෑසන කිරි තේ කෝප්පය පෝෂ්‍යදායී කැඳ කෝප්පයකින් ප්‍රතිස්ථාපනය කිරීම වඩාත් යහපත් බව ඔබටම වැටහීයනු ඇත.
උපුටා ගැනීම: Suwa arana