මම ගුරුවරියක්.
රජයේ පාසලක නෙවෙයි.ජාත්යන්තර පාසල් ගුරුවරියක්.
ටික කලකින් මම ඒ රැකියාවෙන් සමු ගත්තා.
දවසක් මගේ ගෝලයෙක් මහ රෑ 10ට විතර හදිසියෙන් අපේ ගෙදර එන්නද ඇහුවම මම එන්න කිව්වා.
මේ දරුවා එන්නේ මොකටද කියලා මම ඇහුවෙත් නෑ.ඒක නිසා මම ටිකක් චකිතයෙන් තමයි හිටියේ..
ඇවිල්ලා මට ලියුම් කවරයක් දීලා කිව්වා.”මිස්, ප්ලීස් ට්රයි යුවර් බෙසට් ටු කම්” කියලා.
මම හිතුවා මේ ළමයාගේ වෙඩින් එකද කියලා.ඒත් ඒ වෙද්දි උසස් පෙල කරනවා.
ලියුම් කවරය බැලුවාම දැක්කා ඒක ආරාධනාවක් කියලා.එයාගේ කුලුඳුල් චායාරූප ප්රදර්ශනට ආරාධනාවක්.
ඒ 2019 අවුරුද්දේ.
අපි ප්රදර්ශනට ගියා.එතන තිබ්බා ලස්සන ෆොටෝ.ඔක්කොම ලස්සන ලස්සන කුරුල්ලන්ගේ ඒවා.
ඒවාට මිල නියම කරලා තිබුනා.මේ ප්රදර්ශනය කලේ අනුරාධපුරයේ පාසලක පුස්තකාලයක් හදන්න කියලා පස්සේ ආරංචි උනා.
ඔය පින්තූර අතර මගේ හිත ගිය ලස්සන පිලිහුඩුවෙක්ගේ රූපයක් තිබුනා.ඒක මම කීප සැරයක්ම බැලුවා.යන්න කලිනුත් ආපහු ගිහින් බැලුවා.ඒ රූපය රුපියල් 5000 කට මිල කරලා තිබුනා.
මගේ ගෝලයා මගෙ ඇහුවා “ඩූ යූ ලයික් ඉට්” කියලා.මම කිව්වා “පිලිහුඩුවෙක්ට පන්දාහක් දෙන්න බෑ පුතා” කියලා.
————————————————————–
අද උදෙන්ම කෝල් එකක් ආවා.
“මිස්, විල් යූ බී දෙයාර් ඇට් හෝම් ටුඩේ?”
මේ කතාකරන්නේ අර දරුවා.
එන්න සුදුසු වෙලාවක් අහලා,
දැන් ටිකකට කලින් මාව බලන්න ආවා.. රැපින් පේපර් එකක ඔතපු ලොකු පෙට්ටියක් අරන්.
ඇස් දෙකට කඳුලු ආවා.2019 මම බල බල ඉඳලා ආව පින්තූරේ මට ගෙනත් දීලා.තේකක් වත් නොබී දනගහලා වැඳලා “හෙට රට යනවා මිස්” කියලා මේ දරුවා ගියා.
ගුරු අභිමන් කිව්වේ තෑග්ගක් ලැබුනාට නෙවෙයි.
අද කාලේ ජාත්යන්තර පාසලක ඉගැනුම ලබපු දරුවෙක්ට තමන්ට සාමාන්ය පෙල උගන්වපු ගුරුවරයෙක්ව ගෙදරට ඇවිත් බලලා යන්න තරම් කළගුණ සැලකීමට මතක් වීමටයි.
පුතුනි ඔබට ජය.

උපුටා ගැනීම: Kushani Wijethunga