අද ඉරිදා නිවාඩු දවසෙ මට හිතුනා අද දවස සාරියක් ඇදගෙන ඉන්නවා කියලා.. ඉතින් ඇදගත්තා ගවුමට උඩින් අම්මගෙ පරණ සාරියක්.. ආ මන් එදා අටමට රැප් එකක් දැම්මනේ.. ඕක මන් අම්මට කිව්වට අම්මා දන්නැ රැප්.. කෝමහරි රැප් ගැන පහදලා කියලා දීලා අප්පච්චිටත් අහන්න දුන්නා ඩ්රිල්ටීම් එකේ ඩයරිය රැප් එක.. සාලෙ ඉදන් ඕක අහද්දි කුස්සියේ ඉදන් අම්මා අහනවා… “” කවුද ඒ කෑගහන්නේ විමල් වීරවංසද? කියලා.. එතනින් මගේ රැප් එක ලප් තැනම ලොප්!
අද ඉතින් මෙහෙම සාරිය ඇදන් ලෙච්ච්මී වගේ පැද්දි පැද්දී ඉන්නකොට… මගෙ ප්රතම ගුවන් අත්දැකීම කියන්න ඔනා කියලා හිතුවා.
ඔන්න පුතේ… මගේ හතරවෙනි ඉංග්රීසි සර්වත් ගෙන්නුවා ගෙදර මට ඉංග්රීසි උගන්නන්න.. හතරෙන් නතර උනෙ නෑ තව තව අය ආවා.. මන් මේ සර්ගෙ ක්ලාස් එක කට් කරන්නත් අනේකවිදි ක්රියාමාර්ග ගත්තා. එස් කිස් මී කියලා නැගිටලා ගියාම එහෙන්මම පස්සෙ දොරෙන් කැලැ පනිනවා මිසක් ආයෙ ගෙදර ආවේ නෑ මන්.. ඕක මුලදි මුලදි ඔහොම කරාට දවස දෙක යනකොට හතරපැත්තෙන් දොරවල් වහලා අගුලු දාලා ගෙදරම මිනිස්සු ගේ ඇතුලට වෙලා සර්ගෙ ඉංග්රීසි අහන් ඉන්න පටන් ගත්තා. ඕකෙන් බරපතලම මානසික පීඩා වින්දෙත් අම්මමයි.. ඇයි ඉතින් දර කෑල්ලක් කඩා ගන්නවත් එලියට යන්න බෑ නේ ඒ පැය දෙකට.. කොහොමහරි ඊටපස්සෙ ඉදන් මන් රාවණාගෙ නින්දකට වැටෙන්න පටන් ගත්තා සර් එන ටයිම් එකට.. මුල් දවසෙ අප්පච්චි සීනි බනිස් ගල් බනිස් ගෙනාව ආන් මේසේ උඩ කියලා කිව්වම චුට්ටක් නින්ද පැත්තකින් තියලා නැගිටලා ඇවිල්ලා විරවගෙන හිටියට පස්සෙ පස්සෙ අප්පච්චිගෙ කපටිකම මන් මොලේට ගත්තා. මොනා උනත් අප්පච්චි දැනගන්න ඕනා රැවටුනා නෙමෙයි මෙමා විස්වාස කරා කියලා.
ඊටපස්සෙ ඉදන් ගල් බනිස් විස්කිරිඥ්ඥ්දා ඥානකතා නෙමෙයි ගල් රෝලක් රැපින් කරලා ඇද ලගට ගෙනත් දුන්නත් මන් ඇහැරුනේ නෑ.. එතකොට අප්පච්චි අම්මට කියනවා.. අද නම් බබාට හොදටම නින්ද ගිහින්.. ඇහෙරෙන පාටක් නෑ.. මේ නිදිමත උපරිම උනාම තමා මෙහෙම දකුනු කකුල හොලවන්නෙ කියලා… අම්මාහ් ඉතින් නින්දෙ තදකම පෙන්නන්න දකුණ වම හොය හොයා ඉන්න දන්නෙ නැති මන් මීමැස්මොරේ හැදිලා වගේ දකුනයි වමයි දෙකම එකට වනනවා.. එතකොට ඉතින් අප්පච්චි කකුල් දෙකෙන්ම අල්ලලා ඇදලා ගන්නවා බිමට… ඊටපස්සෙ ඉතින් ක්ලාස් කට් කිරිල්ල කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් උනා. පස්සෙ ඒක මතිකව සාම ගිවිසුමක් ගේන්න තීරණය කරා. හරි ඔන්න සාම ගිවිසුම අත්සන් කරා. අප්පච්චි මාත් එක්ක පැයක් සෙල්ලම් කරන්න එන්න ඕනා.. එතකොට මන් පැයක් ක්ලාස් එකේ හරියට ඉන්නවා. ඉතුරු පැය ඉන්නෙ මට හිතෙන විදියට. ඒ කිව්වේ මන් ඉන්නෙ පුටුව උඩම නොවෙන්න පුළුවන්. සර් එන්න ඕනා මාත් එක්ක කුස්සියට හරි මන් යන තැනකට. සමහරවිට ක්ලාස් එක ගහක් යට උනත් කරන්න බැරිකමක් නෑ. වෙලාවකට මන් රූප කලර් කරන්නෙ මේස උඩ ඉදගෙන වෙන්න පුළුවන් එව්වට එකග වෙන්න ඕනා. හරි එව්වට එකගයි. දැන් ඉතින් හැමදාම එදාට අප්පච්චි එක එක භූමිකා රගපානවා.. වෙලාවකට එයා මගෙ රසිකයෙක්.. මට නිර්මාණ එවන කෙනෙක්.. මන් ප්රසන්ටර් කෙනෙක්.. මන් තමයි පුංචි පැංචි වැඩ සටහන මෙහෙය වන්නේ.. වෙලාවකට එයා තමා මගෙ හොදම ගෝලයා.. එතකොට මන් අහනවා.. “”ඇයි අප්පච්චි ඔයා මන් වගේ දගලන්නෙ නැත්තෙ කියලා “” එතකොට අප්පච්චි කියනවා “” චූටි ටීචගෙ සෙරෙප්පුවේ අඩිය උසයි නේ වැටුනොත් අල්ලගන්න හොද ළමයෙක් ඉන්න ඕනා කියලා.. ” සමහර දවසට ලිප්ස්ටික් වෙනුවට තොලේ කියුටෙක්ස් ගාපු දවසට සේරම සෙල්ලම් කැන්සල් කරලා තොල්වල කියුටෙක්ස් යවන්න ඕනෙත් අප්පච්චිමයි. ඔය කිව්වට අප්පච්චිත් හරි කපටියි.. මන් සාරි ඇදලා ලිප්ස්ටික් ගාලා අම්මගෙ උස සෙරෙප්පු දෙකත් දාලා කෝට්ටක් කඩාගෙන මන් ටීච වෙලා අප්පච්චිට මගෙ ගෙදර වැඩ ටික කරන්න කියලා දුන්නට… අප්පච්චිත් ළමයා වගේම ඉදගෙන හැම එකම දන්නෑ දන්නෑ කියනවා.. එයාට පාඩම් කියා දි දි අනතිමට වැඩ ටික කොරලා තියෙන්නෙත් මන්මයි.
තව සෙල්ලමක් තිබුනා.. ඒකට අප්පච්චි අක්කවත් ගත්තා. අපිට තිබුනා ඇදන් තුනක් එකට දාලා හදලා තිබ්බ එක ඇදක්.. ඕක නිකන් රේස් පිටිය වගේ.. අක්කා කියනවා සතෙක්ගෙ නමක්.. එතකොට මන් කියන්න ඕනා ඒ සතාට කියන ඉංග්රීසි නම.. ඒ නම හරියට කිව්වොත් අප්පච්චි දණහිස් දෙක ඇදේ තියලා අත්දෙකත් ඇදේ තියලා පිට දෙනවා මට කරට නගින්න.. අක්කා අලියා කිව්වොත් මන් කියන්න ඕනා එලිෆන්ට් කියලා.. එතකොට අප්පච්චි මාව පිටේ තියාගෙන අලියා වගේ පැද්දි පැද්දි යනවා.. යන්න අමාරුම අලියගෙ පිටෙයි අශ්වයාගෙ පිටෙයි.. ගොඩක් වෙලාවට මන් ඉන්නෙ ඇද පල්ලේ..
ඉතින් ඔහොම දවසක අප්පච්චි හැදුවා ඔංචිල්ලාවක්.. ඕක දැන් දවස් ගානක් යනකන් පැද්දා.. ඕකෙ තමා කන්නෙ බොන්නෙ නාන්නේ සේරම කරන්නේ…. කොටින්ම අප්පච්චි ඉස්සර හෝස් එකෙන් අපිට වතුර ගහනවා.. එතකොට ඉබේම අපිව නෑවෙනවා.. අපිත් අප්පච්චිට බාල්දිවලින් හැලිවලින් වතුර පුරවලා ගහනවා එයත් බාගෙට නානවා එතකොට. සේරම ඉවර උනාට පස්සෙ මිදුල නිකන් ඌරු කොටුව වගේ. ඔව්වා සේරම රෝන්දෙ නොගහා මාව ගෙදර තියාගන්න අප්පච්චි යොදාගත්තු ට්රික්ස් කියලා තේරෙනකොට මගෙ වයස දහ අටයි..
කොහොමහරි ඔන්න ඉතින් එදත් අද වගේ ඉරිදා දවසක්.. එපාම කරපු දවස.. දහම්පාසල් යන්නත් ඕනා හවස ක්ලාස් ඉන්නත් ඕනේ.. දහම්පාසල් ඇරිලා ඇවිල්ලා ඇදුම් මාරු කරෙත් නෑ ඇග හේදුවෙත් නෑ මුකුත් නෑ ඩස්බින් සිරා වගේ ගියා ඔංචිල්ලාවට…. ඉතින් දැන් පදිනවා.. බාප්පගෙ පුතත් ආවා ඌ මටත් වඩා බාලයි.. ඌ දහයක් පදිනවා මන් දහයක් පදිනවා.. ඊටපස්සෙ මන් දහයක් හිටගෙන පදිනවා. මන් හිටගෙන දහයක් පදිනවා.. දැන් ඔන්න අපේ හෝරාව ආවා.. අප්පච්චිත් දැන් ආවා.. අප්පච්චිට මන් කිව්වා තල්ලු දාන්න කියලා… අප්පච්චිත් ඉතින් තල්ලු දානවා … එන්න එන්න කික් එක වැඩියි වෙනවා .. අප්පච්චි තව හයියෙන් තල්ලු දාන්න තව හයියෙන් කියලා කියනවා… දැන් මරූ හුලග කාපාගෙන මන් උඩ…..ටම යනවා…. වෙල්මා කට් එක කපලා තිබ්බ මගෙ ඉස්සරහ කොන්ඩෙ හුලගට උඩ… යනවා.. තව නියමයි… අප්පච්චි තව හයියෙන් තව හයියෙන් කියනවා… මන් දැන් අත්දෙක අහසට දික්කරලා… වලාකුලු ඇල්ලෙනවද බලනවා.. වලාකුලු තියා කොහොඹ ගහවත් පහුවෙලා නෑ… අප්පච්චි ෆුල් වීරිය දලා… පිටී…..ම පස්සට ඇදන් ගිහින්… ආයෙ ඉස්ස්ස්ස්ස්ස්ස්සරහටම ගිහින්… ආයෙ.. පිටී…..පස්සටම ඇදගෙන ගිහින්… අතෑරලා තල්ලුවක් දැම්මා… ආකාසෙ ගුවන සිසාරා මන් කක්ෂ ගත වෙන්නයි යන්නේ… අහසටම එකයි මන් විතරයි…. ආධ්යාත්මික සුවය උපරිමයි…. කැටපෝලෙකින් රිලවෙක්ට කොස් ඇටයක් විද්දා වාගේ…. වවුලො කොව්ලෝ මිදුනා මා ලනුවෙන් කියලා…. මන් අත්දෙකත් අතෑරලා උඩී…න් යනවා.. අහකින් පියාබන කාක්කෝ යූ ටර්න් ගහනවා .. කොක්කු බ්රේක් ගහ්නවා… මට නම් ගානක්වත් නෑ… හුලග කපාගෙන යන උගුඩුවා වගේ මොහොතකට මන් වටපිට සුන්දර නරඹනවා.. ඉස්සර අඩිය තියලා ඇවිද්ද මන් දැන් පියාඹනවා… කුරුල්ලෙක් කතා කරයි කියලා රචනා විචාර මගේ හිතේ ලියවෙනවා.. වැඩි වෙලාවක් ගියේ නෑ ෆලයිට් එක නැංගුරම් දාන්නයි මේ සූදානම කවුදෝ එකෙක් කියනවා පලවෙනි වේදිකාවට ගොඩ බස්සන්නයි යන්නේ හයියෙන් අල්ලාගන්න කියලා… මාත් කෝකටත් කියලා ඇස් පියා ගත්තා… ඔය සේරම වෙද්දි කොයිවෙලේ හරි උඩ ගියපු මන් බිම වැටෙයිනෙ කියලා අප්පච්චි ඉනට අත්දෙක තියාන බලන් ඉන්නවා…. මාත් ගානට ලෑන්ඩ් කරා.. සුලගේ වේගයට සමානුපාතිකව විස්තාරණය වෙලා කරුමේ ගුරුත්වය සරල රේකියව බ්රමනය වෙනවා…. මගෙ නම කොටාගෙන වෙල්කම් කියලා බෝඩ් එකක් අල්ලන් ඉස්සරහින් ඉන්නවා පදුරක් මාව පිලගන්න… ඔව්ව් ඔව්ව් මේ මන් තමයි කියලා මන අත වනාගෙනම හරියටම පදුර අස්සට ජබොග් ගාලා වැටුනා පදුරෙ උකුලටම…
හැමදාම උකුලට නාවත් එකපාරක් උකුලට වැටුනාම ජීවිතේටම ඒ ඇති කියලා මන් එදා තේරුම් ගත්තා.
ඒ පදුරේ උස ඒ කාලෙ මන් වගේ දෙකක් ඇති… අම්මේ ඉතින් උඩ ඉදන් චූටි චූටි අතු කඩාගෙන ඇනගෙන හපාගෙන පහලටම වැටෙනකොට නියමයි.. ඇහේ කනේ බඩේ මූනේ පිටේ කටේ හැමතැනටම අතු ඇනිලා මාව සීරිලා… කොහොමහරි මගේ වම් කකුල එතකොටත් ෆ වගේ දෙකට නැමිලා.. පශ්චාත් බාගේ මිටියකින් තලමු සීනිබනිස් දෙකක් වගේ.. අනේ මටනම් ගානක්වත් නෑ.. මොකද ඉනෙන් පහල හිරුවැටිලා…. බංකරේකට ඔබලා හන්ගලා මැටිගහලා වගේ.. වටේටම පේන්නෙ පදුර විතරයි.. ඔය අස්සෙ පදුර අස්සෙන් මට පේනවා තමිල්නාඩු නලුවෙක් වගේ අප්පච්චි මන්නයක් අරගෙන මට කොටන්න එනවා.. ඒ පාර නම් මට ටිකක් ඇඩුනා.. මෙච්චර වෙලා මාත් එක්ක එකට සෙල්ලම් කරලා ඉදලා මාව මරන්න එන්නෙ මොන වරදක් කරාටද දෙයියනේ… කියලා. ඒ පිටිපස්සෙන් අම්මා එනවා හින්දුස්තාන් කිසාගෝතිමී වගේ අයියෝ අයියො.. ගාගෙන… අම්මයි අප්පච්චියි ඈතින් එනවා පෙනුනත් එකපාරම මට නයෙක් ගැහුවා… අම්මේ කියලා කියාගන්න හම්බුනේ නෑ….. ඊටකලින් කදුලු පැන්නා… එකෙක් නම් කමක් නෑ නයි විමානයයි… කලුම කලු පාටයි… අනේ උන් පියාබනවා…. මට විද විද උන් පියාබනවා… එකෙක් මූනට ඇන්නා.. අනිකා අතකට ඇන්නා.. තව එකෙක් පස්සට ඇන්නා… මගෙ මූන මහප්රාන ධ වගේ එක අතක් සංඥක බ වගේ අනිත් අත හර්ෂාදි ලකුනක් වගේ.. යට කොටස වකුටු වෙච්ච කොලිකුට්ටුවක් වගේ… වැටුනට වඩා අමාරුයි හතරවටින් කලාදුරුවො අනිද්දී… මගෙ අහිංසක කමින් උපරිම ප්රයෝජන ගත්තේ කලාදුරුවො.. මී ව්දයකි මේ ගොබේ කියලා මුන් මට විදිනවා…. වම් ඇහැයි දකුනු ඇහයි වික්ටෝරියා වේල්ලයි එලිසබෙත් වේල්ලයි ගමේ යනවා වගේ… මන් දැන් හොදටම අඩනවා ඉකි ගගහා.. අම්මා පදුරට පයින් ගගනවා.. කොල අතු කඩනවා.. පිස්සුද මන්දා සති පූජාව වගේ හදුන්කූරු පත්තු කර කර ගහට වදිනවා.. බලනකොට අම්මා කලාදුරුවො එලවනවා… අප්පච්චිත් මර මර කොටා දමඤ්ඤා කියලා අතු ටික කපනවා… මූ බමුණා රිලා මොටා කියලා මාත් කරන දෙයක් කරන්න ඇරලා බලාන ඉන්නවා.. වැදගත්ම වැඩේ කරන්නෙ අක්කා.. පැත්තක ඉදගෙන බක් කිකිළි බක් කිය කිය කැකිරි පලනවා.. මදිවට තව අත්පුඩිත් ගහනවා….
විනාඩි ගානක ක්රියාන්විතයකින් පසු මුට්ටියේ තම්බලා ගත්තු කඩල ඇටයක් වගේ පැත්තක් ඉදිමිලා පැත්තක් කොරවෙලා ඉන්න මාව අප්පච්චි උස්සලා අරන් කෙලින් තිබ්බා…. හිටගත්තා විතරයි පින්වතුනි වෝල්ට් හාරසීයෙ හෙන සීයක් එක රාසියකට පාවෙන පීරිසියකින් ඇවිත් ඉස්මුදෙනුන් ඇතුල් වෙලා කකුල් දෙකෙන් පිටවෙලා ගියා… හිටගත්තම තමා දන්නෙ වම් කකුල කැඩිලා කියලා… අෆ්ෆචිචි අෆ්ෆචිචි මෆ් සෙෆ්ට පෝෆ්චි කියලා කලාදුරුවො විදලා ඉදමිනු තොල් දෙකෙන් යන්තන් වචන ටික ගැට ගහගත්තා කියලා විතරයි මතකයි මාව හරහට වඩාගෙන ගිහින් ඇදෙන් තියලා අම්මලා වෙද්දු හෙව්වා කකුලට බෙහෙත් කරන්න. ඊටපස්සෙ මට පෙනඩෝල් දීලා අම්මා ගාතා කිය කිය මාව නිදිකරා.. මගෙත් ඇස් දෙකට දැලක් දාලා සෙලෝටේප් ගහලා වගේ ගානකට එනකන් මන් නිදාගත්තා වගේ මතකයි..
එකපාරම හීනෙන් රකුසෙක් ඇවිත් දත් විලිස්සලා නියපොතු දික් කරලා ගිනි පිබලා චූටි බබා… බොරුවට නේ ඉන්නෙ කියලා කකුල් දෙකෙන් හෙලෙව්වා වගේ මතකයි…. හත්තික්කෙට පතකුඩ පිටින් හෙණ ගහන්න… මිනිහෝ මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් සීමාවක් තියනවා කියලා ආයේ පාරක් අඩාගෙන ඇස් ඇරලා බලනකොට ඉංග්රීසි මාස්ටර් ඉන්නවා විරිත්තගෙන මගෙ කැඩුනු කකුලත් වන වන…. වඩා ඉස්සරහින් තිබ්බේ තරහද වේදනාවද කියලා මන් දන්නෑ… ලැසියෝ…. තෝ මාව මරන්න එපා කියලා… මදිපාඩුට නෝ කිල් මයි ලෙග් කියලා ඌට තේරෙන සින්හලෙනුත් කියලා උලු උඩු යන්න හූ තිබ්බා විතරයි මතක… ( ඒ කාලෙ අපේ බල්ලගෙ නම පොඩි ලැසි.. ඒක තමා ඒ කාලෙ මගෙ උපරිම දරුනු වචනෙ ) ඊටපස්සෙ බලනකොට මේ හිටපු සර් මේ නෑ… කොහෙන් ගියාද දන්නෑ ….
දැන් ඔයාලට නිකමටවත් හිතුනෙ නැද්ද මාත් එක්ක ඔංචිලි පැද්ද බාප්පගෙ කොල්ලා කෝ කියලා.. පොර ගෙදර දුවලා බාප්පට කිව්වලු…. “” අප්පච්චි අක්කා කෑ ගහනවා වගේ ඇහුනා ඔංචිල්ලාවෙන්වත් වැටුනද දන්නැ කියලා.. මොකද පුතයා භයවෙලා මිනිමැරුම් කේස් එකකට සාක්කි දෙන්න වෙයි කියලා.. මුකුත් දන්නැ දැක්කෙ නෑ ඒත් දිවසින් දැක්කා වගේ බාප්පා එක්ක කියලා..
පලි- අක්කා සර්ට කියලා මන් අදත් හොරාට නිදි කියලා.. ඒකයි සර්ත් කකුලෙන් ඇදලා තියෙන්නේ..