අනතුරට ලක් වූ ගුවන් යානය අසල සිටින ශාලින්ද
ගුවන් අනතුරෙන් මියගොස් සිටින්නේ මගේ එකම මල්ලී. එයා හරියට කුරුල්ලෙක් වගේ. අම්මා ආදරයට කීවේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉඳලම එයාට ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේම මල්ලී කීවේ මමත් කවදා හරි පයිලට් කෙනෙක් වෙනවා කියලා. එයාගේ ඒ සිහිනය සෑබෑ කර ගන්න අපි ඉඩ දුන්නා. අපේ ගෙදර වීරයා මුළු රටේම වීරයා වෙලා.
නිල් අහසේ පියාසලමින් සිටි නිදහස් කුරුල්ලන් දෙස බලා උන් චූටි පුතා අම්මාගේ ඇකයට තුරුලු වූයේ කුරුල්ලකු වීමේ හීනය ගැන සුරතල් වදන් තෙපුලමිනි.
‘අම්මේ මට කුරුල්ලෙක් වෙන්න ඕනෑ’
පුංචි ශාලින්ද කුරුල්ලෙකුගේ වෙස් ගෙන තැන තැන ඇවිද ගියේ පියාඹන සිරිය මවමිනි. ඒ දෙස බලා උන් අම්මා කවදාක හෝ තම පුතණුවන් උඩු ගුවනේ පියාසරනු දැකීම තම සිහිනය බවට පත්කර ගත්තාය. පවුලේ බාලයා ලෙස කෙළිදෙළෙන් හැදුණු වැඩුණු ශාලින්දට කවුරුත් ආදරයට කීවේ ‘කුරුල්ලා’ කියාය. ඇතැම් තැන්හි දී ශාලින්ද කුරුලු පැටියා වූයේ සැමගේම ආදරය සහ නොමඳ සුරතලයට බඳුන් වෙමිනි. කාලයාගේ ඇවෑමෙන් ශාලින්ද තම ගමන තෝරාගන්නේ ගුවන් නියමුවකු වීමේ අදිටන සිත තුළ දරාගනිමිනි.
ගුවන් නියමුවකුවීමේ සිහිනය පසුපස හඹා ගිය ශාලින්ද ගුවන් හමුදාව සමඟ එක්වන්නේ තම එකම බලාපොරොත්තුව සඵල කර ගැනීමේ අරමුණෙනි. සියලුදෙනාගේම සිත දිනාගත් පෞර්ෂවත් තරුණයකු වූ මේ පුංචි කුරුල්ලාට මිතුරන් ඇමතුවේ ‘ශාලි’ යන නමිනි. තමාගේ උඩු ගුවන් සිහිනය සාර්ථක කර ගැනීමට ශාලින්ද නිරතුරුවම වෙහෙසව කටයුතු කළ අයකු වූයේ සියලුදෙනාගේම සිත් දිනාගනිමිනි.
පුහුණු ගුවන් නියමු කැඩෙට් නිලධාරියකු වන අතර, ඔහු ත්රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි. කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි කේ. ආර්. ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් වන ඔහු මිය යන විට 23 වෙනි වියේ පසුවිය. 2019 වසරේ ජනවාරි මස ගුවන් හමුදා සේවයට එක් වූ ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් කෑගලු මහා විද්යාලයේ ආදි ශිෂ්යයෙකි.
සිය සොඳුරු තාරුණ්ය මව්බිම වෙනුවෙන් කැප කළ අභීත රණවිරුවාගේ තොරතුරු සොයා 16 වනදා රුවන්වැල්ල, මාපිටිගම අලුත් වලව්ව වෙත ගියෙමු. අප එහි යන විටත් අවට ගම්වැසියන්, නෑදෑ හිතමිතුරන් තැන් තැන්වල එක්රොක් වූ ශාලින්දට වූ මේ හදිසි විපත පිළිබඳ කතාබහ කරමින් සිටිනු දක්නට ලැබුණි.
15 වනදා දහවල් කන්තලේ සූරියපුර ප්රදේශයේ දී ගුවන් අනතුරෙන් මිය ගිය ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් ත්රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සිටි අයෙකි. ඔහු පියාසර සැසි 84ක් අවසන්කොට ඇති අතර, තවත් පියාසර සැසි 4ක් නිම කිරීමට තිබී ඇත. ත්රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් දහවල් 1ට ගුවන් යානය පිටත් වී ඇති අතර, ගුවන්ගත කර විනාඩි 15කට පමණ පසු එම ගුවන් යානය හා ප්රධාන මෙහෙයුම් මැදිරිය සමඟ පැවැති සම්බන්ධතා බිඳ වැටී තිබේ.
ඉන් පසුව සිදුවූයේ කුමක් දැයි දන්නේ ශාලින්දත්, හිස් අහසත්, වලාකුළුත් හැර ඔහු කුඩා කළ ආදරය කළ කුරුල්ලන් පමණි. ශාලින්ද පැදවූ ගුවන් යානය ගුවන් පථයෙන් නොපෙනී ගොස් තිබුණි. ශාලින්ද ජීවතුන් අතර ඇතැයි බොහෝදෙනකු අනුමාන කළ ද එය එතරම් සුබදායි සිහිනයක් නොවීය. බිමට පතිත වී කැඩී බිඳී ගිය ගුවන් යානයත්, එය තුළ වූ ශාලින්දගේ දේහයත් හමුවූයේ කුඹුරක වැටී තිබියදීය. ශාලින්දගේ කුරුලු සිහිනය බොඳ වූයේ එසේය. බොඳ වූ ශාලින්දගේ සිහිනය ගැන බොහෝ දෙනකු සිටින්නේ දැඩි කම්පාවෙනි.
“ගුවන් අනතුරෙන් මියගොස් සිටින්නේ මගේ එකම මල්ලී. එයා හරියට කුරුල්ලෙක් වගේ. අම්මා ආදරයට කීවේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉඳලම එයාට ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න.
ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේම මල්ලී කීවේ මමත් කවදා හරි පයිලට් කෙනෙක් වෙනවා කියලා. එයාගේ ඒ සිහිනය සෑබෑ කර ගන්න අපි ඉඩ දුන්නා. අපේ ගෙදර වීරයා මුළු රටේම වීරයා වෙලා.
ආයේ කවදාවත් එන්නේ නැති වෙන්න ඉගිලිලා ගියා. මදුරුවෙක්වත් මරන්නේ නැති මේ අහිංසකයා අපි දාලා යයි කියලා හිතාගන්න බෑ. මල්ලි අන්තිමට කතා කළේ 13 වෙනි ඉරිදා වීඩියෝ කෝල් එකක් අරන් එදා මම අම්මා, අක්කා එක්ක මල්ලි ගොඩක් වෙලා කතා කළා. අම්මා කීවා අවුරුදු 300 කට විතර පස්සේ නත්තල් තරුවක් දකින්න ලැබෙනවා කියලා. ඒක බලන්න එන්න නිවාඩුවක් ලැබෙයි නේද කියලාත් ඇහුවා.
එයා අපි ඔක්කෝමලා හිනස්සලා අපි එක්ක ගොඩක් වෙලා කතා කළා. අපි හිතුවේ නෑ මේ කතා කරන්නේ අන්තිම වතාවට ද කියලා. මල්ලිට එහෙම දෙයක් වුණේ කොෙහාමද කියලා අපිට හිතාගන්න බෑ.
ඒයා අපි එක්ක ජීවත් වෙනවා කියලා අපිට හිතෙන්නේ. එයා ගොඩක් අහිංසකයි. කිසිම කෙනෙක්ගේ හිත රිදවලා නෑ. මල්ලි නිවාඩු ආපුහම එයාගේ යාළුවෝ හැමදාම ඇවිල්ලා එයා එක්ක ඉන්නවා. එයා හැම කෙනාටම උදව් කළා. එයා පුහුණු කඳවුරේ සීනියර් මෑන්. අපේ වීරයා මුළු ලෝකෙටම වීරයා වෙලා අපෙන් යන්න ගියා.”
තම එකම මල්ලී වූ ‘කුරුලු පැටියා’ ලෝකයෙන්ම පියඹා නික්ම යෑම ගැන ඇයට ඇත්තේ වචනවලට පෙරළාගත නොහැකි කම්පනයකි. අවන්ති අමරකෝන් ශාලින්දගේ ලොකු අක්කාය. කුඩා කාලයේ වෙල් නියරවල දුව පැන ඇවිදිමින් කුරුල්ලකු වන්නට සිහින මැවූ ආදරණීය මල්ලීගේ නිසල වූ දේහය පිළිබඳ සිතමින් ඈ කඳුළු සලන්නීය. ඒ සහෝදරත්වයේ සැබෑ කඳුළකි.
තම එකම පුතු මෙලොවින් සමුගෙන ගිය වග ඒ අම්මා පිළිගන්නේ නැත. කොයි මොහොතක හෝ කුරුලු වේශයෙන් තම පුතණුවන් ඇකයට වඩිනු ඇතැයි ඒ අම්මා නොනිමි බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඈ බොහෝ අහස දෙස බලා සිටී. නැවත ගහකොළ දෙස බලයි. කුරුලු කූජනයට කන්දෙයි. ඒ අතර කුරුලු පැටියාට කතා කරයි. ඒ උත්තරීතර මව් සෙනෙහසක නොනිමෙනා ගුණයයි. ඒ අතර ඈ ශාලින්ද ගැන අතීත කතාන්දර කියයි.
“ඇයි දෙයියනේ මේ වගේ අහිංසකයෙකුට මෙවැනි විපතක් වුණේ. මගේ සුරතල් කුරුලු පැටියට මොකද මේ වුණේ. පුංචි කාලේ ඉඳලාම අහසේ ඉගිලෙන්න තමයි හීන මැවුවේ. ඒ හීනේ එයාට සැබෑ කර ගන්න ගුවන් හමුදාවට බැඳෙන්න අවසරය දුන්නා. මම හිතුවේ නෑ මගේ අහිංසක කුරුලු පැටියා අපිව දාලා ඉගිලිලා යයි කියලා. එයා හැම දේටම දක්ෂයෙක්, පුහුණු කඳවුරේ තුන්සියක් අතරින් පළවෙනියා එයා. මගේ පණ මට නැති වුණා.”
අම්මා කෙනෙකුට තමාගේ දරුවා වියෝවීම ජීවිතය නැතිවන තරමටම දුකකි. ඒ දුක අතරින් ඈ තම පුතාගේ වීරත්වය ගැන හඬ නඟමින්, හඬමින් කියන්නීය. ඒ හඬ අහස් කුස සිසාරා ඇදෙන්නේ ගිඟුම් දෙමිනි. කුරුලු පැටියා යළි නොඑන්නටම යන්න ගොසිනි. අම්මා තවමත් අහස දෙස බලාගත්වනමය. ඒ නිල් අහසේ ගුවන් යානයක් ගමන් කරන සෑම මොහොතකදීම මේ අම්මාට ආදරණීය කුරුලු පැටියා මතක් වනු ඇත. හෙටත් මේ නිල් අහසේ ගුවන් යානා පියාසරනු ඇත. කුරුල්ලන් ඒ දෙස බලා සිටිනු ඇත. සියලුම දෙනාගේ සෝ සුසුම් මැද ශාලින්ද දැන් දිගු සුවදායී නින්දකය. ඒ නින්ද බිඳින්නට කුරුලු හඬට නොහැකිය.
උපුටා ගැනීම: Supun Chathuranga