හද රිදවන මතක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

බස් එ⁣කේ, කෝච්චියේ වාඩිවෙලා ටිකක් දුර ගමනක් යද්දී ඇස් දෙක පියවෙනකොට එක එක දේවල් මතක් වෙන්න ගන්නවා. හිනා යන, ඇඬෙන, සංවේදී වෙන අතීත සිදුවීම් අතර අදටත් හදවතට තදින් දැනෙන සිදුවීම් කීපයක් තියෙනවා. එක පෙළට මතකෙට ඇවිත් ඇස් ඉස්සරහා හොල්මන් කරනවා වගේ දැනෙන ඒ සිදුවීම් හින්දා මම හිතින් ඒ මොහොත පුදුම විදියට විඳවනවා.
ඉස්කෝලේ දෙක වසරේ වගේ ඉද්දී අපිට අල්ලපු පන්තියේ හිටියා ලෙඩ ළමයෙක්. මතක විදියට ඒ ළමයට පෝලියෝ වෙන්න ඕන. ඇවිදීමේ අපහසුවක් තිබුන ඒ ළමයට මම ඒ දවස් වල කැමතිම නෑ. එහෙම අකමැති වෙන්න විශේෂ හේතුවක් නැතත් මම එයාට අහේතුකව කැමති නෑ. බොහොම දුප්පත් දරුවෙක් උන ඒ ළමයා දවසක් ශොපින් බෑග් එකක පොත් ටික දාගෙන ඉස්කෝල් ඇවිත් තිබුනා. ඉස්කෝලේ ඇරිලා මම ස්කූල් බස් එක එනකන් ඉන්නකොට එයා ඒ බෑග් එකත් අරගෙන මගේ ඉස්සරහින් යන්න ආවා. මම ඒ ශොපින් බෑග් එක ඇතුලේ තිබුණු පොත් ටිකත් එක්ක උදුරලා ඇරන් ඉස්කෝලේ අල්ලපු වත්තට විසි කලා. මගෙත් එක්ක රන්ඩු කරන්න කායිකවවත්, මානසිකවවත් හයියක් නොතිබුන එයා අමාරුවෙන් බකල් ගගහා ඇවිදන් ගිහින් ඒ බෑග් එකත් අරන් යන්න ගියා. ඊට අවුරුදු හය හතකට පස්සේ ඒ ළමයගේ බඩත් එක්ක අසාමාන්‍ය විදියට මහත් වෙලා අසනීපෙන්ම මැරිලා ගිහින් තිබුනා.
ඉස්සර පොඩි දවස් වල හැමදාම හවසට ගෙදර එද්දී අප්පචිචී අක්කටයි, මටයි, නංගිටයි, කන්න මොනවා හරි දෙයක් අරන් එනවා. මුලදී ලොකු ලොකු සුකෝපභෝගී කෑම වලින් පටන් ගත්තට අප්පච්චිට අමාරුකම් එද්දී ඕක රුපියල් පහේ කඩල පැකට් එක දක්වා අඩු උනා. අන්තිමට ඒකත් නැති උන දවසක කරකියා ගන්න දෙයක් නැතුව බිම බලාගෙන ගෙට ගොඩ උන අප්පච්චිගෙන් කන්න මොකුත් ගෙනාවේ නැත්තේ ඇයි කියලා අහලා මම ගෙදර දෙක කරන්න පටන්ගත්තා. අප්පච්චි අපිට ඒකට හරිහමන් උත්තරයක් ⁣දුන්නේ නෑ. ගමටම ඇහෙන්න කෑ ගහලා අඬලා අඬලා බැරිම තැන අප්පච්චි කමිසයක්වත් නැතුව ඉද්දී මම පිටිපස්සේ ඉඳන් එයාගේ පිටට උපරිම ජවයෙන් ඇඟිලි පාර හිටින විදියේ පාරක් ගැහුවා. මම පොඩි උනත් අප්පච්චී ඒ පාරේ සැරට ඇඹරුනා. “උඹට යන්ට අපායක් නැති වෙයි” කියලා එදා අම්මා මට කිව්වා.ඒ බව තේරෙන්න මට සෑහෙන්න කල් ගියා.
ඉස්කෝලෙදී ඉන්ටවල් එකේදී පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට ඈතින් වලියක් යනවා පේනවා. හොඳට බලපුවාම ඒකට මැදිහත් වෙලා ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ මැද්දට පැනලා උන් එක්ක ප්‍රතිවිරුද්ද පැත්තේ ඉඳපු අපිට වඩා අවුරුදු දෙකක් බාල කොල්ලෝ දෙන්නට ගහගෙන ගහගෙන ගියා. එක කොල්ලෙක්ගේ නහයෙන් ලේ එන අතරේ අනිත් කොල්ලා අඬ අඬ ආයාචනා කරනවා “අනේ අයියා, ගහන්න එපා. වඳින්නම්” කියලා. උන් දෙන්නා අපෙන් ගුටි කෑවේ සර් කෙනෙකුට ඒ සර් නැති තැනක නංවනමකින් සර්ව හැඳින්නුවා කියලා. මම ඒක දැනගත්තේ ඒ කොල්ලෝ දෙන්නට ගහලා ඉවර උනාට පස්සේ. ඒ වැරැද්දට උන් දෙන්නා අපෙන් ගුටි කෑවට උප්පැන්නේ තියෙන නමින්ම අපිත් ආමන්ත්‍රණය කලේ ගුරුවරු කීප දෙනෙකුට විතරයි.
අස්ගිරිය ග්‍රවුන්ඩ් එකේ ඉස්සර ශ්‍රී ලංකා ටීම් එක ටෙස්ට් මැච් ගහද්දී අපේ ඉස්කෝලේ “අන්ඩර් තර්ටීන්” ක්‍රිකට් ටීම් එකටම මැච් එක බලන්න යන්න ෆ්‍රී ටිකට් හම්බෙනවා. කෑම බීම හැම දේමත් හම්බෙනවා. පස් වෙනි දවසේ වරුවෙන් මැච් එක ඉවර උන දවසක දවල් කෑම එකත් අරගෙන මම ගෙදර ආවා. එදා නංගී විතරයි දවල් ගෙදර හිටියේ. ගෙදර පරිප්පුයි, කරවලයි එක්ක තිබුන බත් එක නොකා මම, මට හම්බුන “ස්පෙෂල් රයිස්” එක තනියම කෑවා. නංගී මට බය නිසා මගෙත් එක්ක කිසි දෙයක් කෙලින් කියන්නේ නෑ. ඒත් මම එයාටවත් නොදී කාපු රයිස් එකට ආසාව හිතේ තියාන නංගී පරිප්පුයි, කරවලයි එක්ක දවල් කෑම එක කෑව බව එයා අම්මත් එක්ක කියලා තිබුනා.
ඔය ඔක්කොමත් එක්ක අක්කත් එක්ක තරහා වෙලා අපි දෙන්නම ඉස්කෝල් ගියපු දවසක එයාව මගේ මූණට හම්බෙද්දී මම එයාගේ කකුල් දෙක මුලට කෙල ගැහුවා. වයසක චන්ද්‍රා මැඩම් ඉංග්‍රීසි උගන්නන්න පන්තියට ආවම කොල්ලොත් එක්ක එකතු වෙලා එයාට වැඩේ කරගන්න නොදී කෑ ගගහා බාධා කලාම එයා බැරිම තැනත් ප්‍රින්සිපල් ළඟට නොගිහින් ගුරු මේසේ ඔළුව තියාගෙන ඇඬුවා. වයසක සීයා කෙනෙකුයි,ආච්චි කෙනෙකුයි ඉන්න කඩෙන් චුයින්ගම් එකක් ගත්තම දෙන ක්‍රිකටර්ස්ලා ඉන්න කාඩ් ඇස් පේන්නේ නැති ඒ දෙන්නට හොරෙන් හොරකම් කරලා චුයින්ගම් ටික විකුණගන්න තියෙන අවස්ථාවත් නැති කලා.සල්ලි නැති උනත් ඒ ලෙවල් ක්ලාස් යන්න අප්පච්චි ණයට හරි ඉල්ලලා දෙන සල්ලි වලින් ක්ලාස් කට් කරලා ගිහින් අරක්කු බිව්වා. පණ වගේ මට ආදරේ කරපු දම්මිගේ අඩුපාඩු පෙනිලා මම එයාට බූට් එක තිබ්බා.
කරපු දාහකුත් බලු වැඩ අතරේ හේතුව දන්නැතත් මේ ටික මට නිතරම මතක් වෙනවා. පෝලියෝ හැදුන ළමයගේ අසරණ මූණත්, වේදනාව අමාරුවෙන් ඉවසපු අප්පච්චිගේ මූණත්, ගුටි කන්න බයෙන් සමාව අයැදලා අඬපු ඒ මල්ලීගේ මූණත්, මට බය නිසා ආසාව හංගගත්තු නංගිගේ මූණත් මට මැවි මැවී පේනවා. දම්මි දැනුත් මගේ ඉස්සරහා ඉඳන් දුක හුරු, චාම්, අහිංසක මූනේ තියෙන දිග ඇස් දෙකෙන්, “ඇයි ඔයා මට මෙහෙම කලේ” කියලා අහනවා මැවිලා වගේ පේනවා. මොන තරම් හොඳ දේවල් කලත් මම නිසා අසරණ උණු ඒ මූණු ටික මට හැමදාමත් රිද්දනවා.
ඒ දේවල් මතක් වෙනකොට සීට් එකේ ඔළුව තියාගෙන යන මට නින්ද යනවා වෙනුවට ඇස් අගිස්සෙන් කඳුළු බේරෙනවා. එහෙම ආපු කඳුලක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් උරහිසට වැටිලා කමිසෙට උරාගන්නවා. මගේ වැරදි, අඩුපාඩු, දුශ්ඨකම් නිසා විඳවපු, හිතරිදුනු මිනිසුන්ගේ වේදනාවල් එක්ක බැළුවම ඒ කඳුළු පයිසයක්වත් වටින් නැති බව මට තේරෙනවා.

 

උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!