” අක්කේ ඔයා කොහේද ඉන්නේ?
ඒ මගේ ස්වාමියාගේ මල්ලීය.
“ඇයි මල්ලි? මම ගෙදර”
මල්ලී මට නිතර කතා නොකරයි.එහෙත් උවමනාවක් වූ තැන කතා කරයි.
” අක්කේ , කලබල වෙන්න එපා.අයියා වාහනේක හැප්පිලා.ටිකක් අමාරුයි.ඔයාට පුලුවනිද හොස්පිටල් එකට එන්න.”
මම දරුවන්ට කතා කරන ඒවා ඇසේවි යැයි සිතා පෝන් එක කනේ ගසාගෙන එලියට බැස්සෙමි.
ඉන් පසු මල්ලී කීවේ කුමක්දැයි මට් නිච්චි නැතත් හොස්පිටල් යා යුතු බව තේරුණි.
තාත්තාට දරුවන් බලා ගැනීමේ රාජකාරිය පවරා මම නිවසින් පිටත් උණෙමි.
ච්ත්රපටයක් මෙන් අතීතය මගේ සිතෙහි හොල්මන් කරන්නට විය.වසර දහයක ප්රේම සම්බන්ධයකින් පසු අපි විවාහ උණෙමු.සතුට තිබුණේ ටික කලකි.මගේ නිවුන් දරුවන් දෙදෙනාට මාස නවය වන තැන ඔහු වෙන අතක් බලා ගත්තේය.ගෙදර ඒම අඩු විය.වියදම් දීම අඩු විය.ඉවසා දරාගෙන දරුවන් වෙනුවෙන් ජීවත් උණෙමි. ටිකෙන් ටික ඔහු ඈ සමග ප්රසිද්දියේම පවුල් කන්නට පටන් ගත්තේය.එදා පටන් මවක් ලෙස ගැහැනියක් ලෙස විදි දුක් ගැහැට අවමන් නින්දා නිම් හිම් නැත.බැදීමේ තරම කොතරම්ද එතරම්ම රිදීම් තිබුණි.හොහැඩූ දවසක් දින පොතෙහි තිබුණේම නැත.දැන් දරුවන් යන්තන් තේරෙන වයසේය.තාත්තා ගැන නොඇසුවද ඔවුන් කුමක් හෝ දන්නා බව දනියි.
මා රෝහලට යන විට මල්ලී ගේට්ටුව ළග සිටියාය.ස්වාමියාගේ යහළුවන් කිහිප දෙනෙකුද විය.ඊට වඩා බැරෑරුම් දෙයක් සිදුව ඇති බව වැටහුණි.
” අක්කේ.බොඩි එක දෙන්න බෑ කියනවා ඔයා අත්සන් කරන් නැතුව.”
මම සිත දැඩි කර ගත්තෙමි.එක් කදුලු බිදුවක් වත් නොසැලුවෙමි.බලහත්කාරයෙන් දික් කසාදය ගැනීමට ඔහු මට අත්සන් කරන ලෙස පවසා නොකළ තර්ජනයක් නැත.දරුවන් නිසා විනා මා ඒ වන විටත් එයට අත්සන් කරන්නට ඉඩ තිබුණි.
“අමරයා එතනමයි.උගේ හාට් එක අඩි ගානක් එහාට විසි වෙලා.ඉස්පිරිතාලෙට ගේන කොටත් ඒක ගැහුණා බන්.”
” ඕකට පල දුන්නේ අර අහිංසක ගෑනිට දීපු ගින්දර.”
” ඒ විතරක්ද? අර පැටව් දෙන්නා.කිරි සප්පයා සංදියේනේ දාලා ගියේ”
එක එක කතන්දර ඇසුණි.මිණිය වත් බැලීමේ උවමනාවක් මට නොවුණි.ඔහුට උවමනා වු අත්සන් ටික ගසා ආපසු හැරුණෙමි.
හඩන්නට කදුලු ඒමට මට හදවතක් තිබුණේ නැත.මගේ හදවත පණ අදින්නට පටන් ගත්තේ ඔහුගේ හා ලීලාගේ සම්බන්දය මගේ කණ වැකුණු දවසේය.හදවත මැරුණේ මාවත් දරු දෙදෙනාවත් එපා කියා සරම් කඩමාලු ටික ඔතාගෙන ගෙදරින් එළියට බැස්ස දවසේය.මම අවුරුදු අටක් පණ අදින හදවතක් සමග දරුවන් නිසා ජීවත් උණෙමි.ඉදිරියටත් ජීවත් වෙමි.ඔහුගේ හදවත පැය ගණනක් පණ ඇද මිය ගියේය.
උපුටා ගැනීම: ……..කේ.ස්වර්ණමාලි…….