අවුරුදු ගානකට කලින් මට සිද්ද වෙනව මං සේවය කරපු ආයතනයේ දුෂ්කර පලාතක තියෙන කාර්යාලයක ප්රධානී තනතුරකට පත්වෙලා යන්න. තනතුර හිටියට වඩා ඉහල එකක් උනත් දුෂ්කර පලාතක් නිසා මගෙ කැමැත්තක් තිබුණෙ නෑ. බස් දෙකක යන්න ඕනෙ. මට ඕන වෙලාවටම බස් තිබුනොත් විතරක් පැය එකහමාරක ගමනක්. නැත්තන් ඊටත් වැඩී. එක බස් එකක් නැති උනොත් සොරිම තමයි.
ඊළඟ ප්රශ්ණෙ තව මාස පහ හයක් ඇතුළත මට තීරණාත්මක තරඟ විභාගයක් ලියන්නත් තියෙනව. ඉතිං මේ වගේ දුෂ්කර පලාත් වල තියෙන කාර්යාල වල නිතරෝම නිලධාරි ඌනතා තියෙන නිසා මොන එග්සෑම් තිබුණත් දවස් දෙක තුනකවත් ස්ටඩී ලීව් ගන්නව බොරු. මේ ඔක්කොම හිත හිතා හිටියට මේ අවස්ථාව පැහැර හරින්න මට හැකියාවක් තිබුණෙ නැහැ.
යන්නම් හිතල හිතල හිත හදාගත්ත විතරයි. කෝල් එකක් එනව අපේ බොස්ගෙන්
” මේකයි සාම. ඔයාට අළුත් තැන වැඩ බාරගන්න සඳුදම යන්න වෙනව. මොකද ඉන්න කෙනා රිටයර් වෙනවනෙ. එයා සඳුද ඉඳන් ඉතුරු උන ලීව් ටික ගන්නවලු “
” ඒ කියන්නෙ මට තියෙන්නෙ වීකෙන්ඩ් එක විතරයිනෙ සර් “
“ඔව්. ඒත් ඒකම විතරක් නෙමෙයි මං කතා කලේ. තව පොඩී.. අවුලක් තියෙනව සාමා. ඒ ඔෆීස් එකේ දෙවෙනිය, නන්දා කැමති නෑ ඔයා එනවට. ( අපොයි )
එයාගෙ හස්බන්ඩ් මිනිස්ටර් කෙනෙක්ටත් කියල ඇවිත් මාව මුණගැහිල නන්දට ඒ පෝස්ට් එක දෙන්න කියනව.
(ඉතිං දුන්න නම් ඉවරනෙ. මං ඉල්ලුවයැ )
නන්ද මාර නපුරුයි. ඔයා අහලත් ඇති සමහර විට. ඔයාට එයා එක්ක අමාරුවෙයි. එයාල එහෙ ගම් කාරයො “
( අපොයි ඒ ගෑනි මාව මරං කයිද දන්නෑ )
” ඉතිං සර්..මට ඔය පෝස්ට් එක එපා. මාත් යන්න කිසි කැමැත්තක් නෑ. ඊටත් කැමති කෙනෙක් ඉද්දි එයාට ඕන නම් ඇක්ටිං දෙන්න පුළුවන්නෙ. ඇයි මාව යවන්නෙ “
” ඒකට හේතු ගොඩක් තියෙනව.
බ්ලා..බ්ලා..බ්ලා……
ඉතිං ඒ නිසා ඔයා යන එක අනිවාර්යයි. අපි ටූ වීක්ස් ඇතුලත ඒ ලේඩිව වෙන තැනකට ට්රාන්සර් කරනව ඔයාට කරදර කරන්න එයාව එහෙ තියන්නෙ නෑ. එතකල් ඔයා ඉවසීමෙන් ඉන්න. ප්රශ්ණයක් උනොත් අපට කියන්න “
(අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් )
කොහොමින් කොහොමින් හරි නියමිත දවස උදා උනා. මම එදා උදේ පාන්දරම පඬුරකුත් ගැට ගහල දෙයියන් බුදුන් සිහිකරල හෙම අළුත් තැනට ගියා.
ඔෆීස් ටයිම් එකට විනාඩි හතලිස් පහකට විතර කලින් මං ගිය නිසා ඒ වෙද්දි ඇවිත් හිටියෙ නන්ද මිස් විතරයි. ( බුදු අම්මෝ ගැහුවොත් සාක්කි දෙන්නවත් කෙනෙක් නෑ..)
ඔෆීස් එකට ඇතුළු වෙනකොට ඇයට බයේ හාර්ට් එක ගැහුන වේගෙට මං බය උනා ඒ සද්දෙ මුළු ටවුමටම ඇහෙනවද දන්නෑ කියල. ඒත් අමාරුවෙන් හිනා මූණක් හදාගෙන පපුව කෙලින් කරගෙන හෙන පෞරුෂයක් හදාගෙන මං ඔෆීස් එකට ගියෙ.
මං ඇය ළඟටම ගිහින් බොහොම ගරු සරු ඇතුව
“ගුඩ් මෝනිං” කිව්වා.
ඇය මට වඩා තනතුරෙන් පහල උනාට වයසිනුයි සේවා කාලයෙනුයි මට වඩා ගොඩක් ජ්යෙෂ්ඨයි. ඉතිං ඒ ජ්යෙෂ්ඨත්වයටයි මං ගරු කලේ.
සමච්චලේට වගේ කට ඇද කරපු ඇය,
” මෝනිං “
විතරක් කියල අනික් පැත්ත හැරිල රවල තරහෙන් වගෙ යන්න ගියා.
ඒත් මේ ප්රතිචාරය ලොකු අවුලක් නෑ බැන්නෙ නෑනෙ මට. මං බලාපොරොත්තු උනේ මීට වැඩි දරුණු ප්රතිචාරයක්.
ඒ කාර්යාලෙ නන්ද මිසුයි තව එක් නිලධාරියෙකුයි ඇරුනම හිටියෙ ආධුනික නිලධාරින් පිරිසක්. නිලධාරී ඌනතාව උපරිමයි. හිටපු ප්රධානිය කකුලක් එළියෙ තියන් වැඩ කරපු හින්දයි තව විවිධ හේතු හින්දයි අවුල් ජාලා ගොඩක් නිර්මාණය වෙලා තිබුණ කුණු ගොඩකට තමා මං කරගහල තිබුණෙ.
( ඕක තමා බොසා මාව මෙතනට පට්ටල් කරන්න ඇත්තෙ )
එදා දවසෙ විවිධ අවශ්යතා වලට ඇය සමග මට කතා ගොඩයි. ඒ කිසිම වෙලාවක මම ඇයව මගෙ නිල කාමරයට කැඳෙව්වෙ නෑ. ඇය ළඟට මමම ගිහිනුයි කථා කලේ.
” ඔව් , නෑ , මංද , කාගෙන් හරි අහල බලන්න , කවුද දන්නෙ , කැමැත්තක් , වෙන්නැති..”
ඔන්න ඕවගෙ තනි වචනෙ පිලිතුරු තමා ඇගෙන් මට හම්බුනේම.
ඇඬෙන්න ආවත් අමාරුවෙන් අඬන්නේ නැතුව ඉවසල ඉවසල දවස ගෙවල ගෙදර ගියෙ එපාම වෙලා. අපේ බොස්ගෙ හත්මුතු පරම්පරාවම බස් එකේ යන ගමන් මං හරිම ආදරෙන් සිහිපත් කලා.
පහුවදත් ඒ විදිහටම ඇය ළඟට ගිහින් සුභ පතල දවස පටන් ගත්තා. කලින් දවස වගේමයි ප්රතිචාර.
මේ විදිහට සතියක් විතර ගෙවුනා. ඔෆීස් එකේ ඉන්න ආධුනික නිලධාරින් ඇයගෙ නපුරුකම් ගැන මට කියන්න ආව වරින් වර. සියළුම දෙනා ඇයට විරුද්ධව මා සමග ඉන්න බවයි කිව්වෙ. ඒ කතා අවංකව කිව්ව බව මට තේරුනා. ඒත් මං ඒ හැමෝටම හැම වෙලේම කිව්වෙ එක දෙයයි.
” නන්දා මිස් මටත් වඩා ගොඩක් සීනියර්. එයා ඔයාලට අම්ම කෙනෙක් වගේ නේද.. ලෙඩක් දුකක් උනාම බලන්නෙ එයා නේද .. සමහර වෙලාවට ඔයාලට ගෙදරින් කෑමත් ගෙනත් දෙනව මං දැකල තියෙනව. ඔය කෑ ගහන්නෙත් ඔයාලගෙ පුංචිම හරි වරදකටනෙ. බනින්නෙ අම්ම කියල හිතන් ඉවසල ඉමු”
බෝඩිං වෙල හිටපු තරුණ කෙල්ලන්ට නන්ද මිස් ගෙදර හදන කෑම ගෙනත් දෙනව. උන හෙම්බිරිස්සාව හැදුන ලමේකුට කොත්තමල්ලි ප්ලාස්ක් එහෙක දාලා ගෙනත් දෙනව මං දැකල තිබුණ ඒ වෙද්දි. නන්ද මිස්ට මාව නොරිස්සුවට ඇය පොඩි වයසෙ නිලධාරින්ට සලකන විදිහ නිසාත් ඔෆීස් එකේ වැඩ අතපසු කරන්නැති හින්දත් ඇය ගැන මගෙ හිතේ පැහැදීමක් ඇති වෙමිනුයි තිබුණෙ.
සති දෙකක් විතර ගෙවුනා. මං කවදාවත් නන්ද මිස්ට රාජකාරී පැවරුවෙ නෑ. ඒත් උදේම එන ඇය මුළු දවසෙම මට රව රවා උනත් වැඩම තමා කලේ. ආයතන ප්රධානියෙකුට වෙන මොනවද ඕනෙ. සේවකයෙක් මහන්සි වෙලා වැඩ කරනව නම් පොඩ්ඩක් රැව්වට ගෙරෙව්වට මොකද ?
ඇය ලවා වැඩක් කරව ගන්න ඕන උනාම
” අපි මේ වැඩේට මොකක්ද කරන්නෙ මිස් ” මං එහෙමයි ඇහුවෙ.
ඇගේ කලින් තනි වචනෙන් දුන්න කෙටි උත්තර
” මිස් කැමති විදිහකට කරමු”
වගෙ වාක්ය බවට පත් උනා. ඇය එහෙම සම්පූර්ණ වාක්යයකින් උත්තර දුන්නම ටීචර්ගෙන් තරුවක් හම්බුන මොන්ටිසෝරි ලමෙක් වගේ මං සතුටු උනා. මාත් සංවාදය ඉස්සරහට ගෙනිච්චා ලැබුණු හැම අවස්ථාවකදීම.
ටිකෙන් ටික වාක්ය සුහද සංවාද බවට පත් උනා. ඇය තමා මටත් කලින් එන්නෙ. මං උදේට ගියාම ඇය මගෙ නිල කාමරයට එනව ඊයෙ දවසෙ රාජකාරි ප්රශ්ණ අද කරන්න තියෙන දේවල් අපි දෙන්න කතා කරන්න පටන් ගත්ත ටික ටික.
” නන්ද මිස් වගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණෙ මගෙ වාසනාවකට. මගෙ අඩුපාඩු ඕන දෙයක් කියන්න. මට මිස් තමයි මෙතන ශක්තිය “
මං ඇයට කිව්වෙ අවංකවමයි. රවටල වැඩ ගන්න නෙමෙයි. මට නුහුරු පලාතක්. අළුත් තනතුරක්. ඇයට වඩා වයසින්, සේවා කාලයෙන් මං ගොඩක් අඩුයි. ඒ නිසා ඇගෙ උපදෙස් මං අවංකව බලාපොරොත්තු උනා.
” මිස් ඔහොම කිව්වට මට හෙඩ් ඔෆීස් එකෙන් සලකන්නෙ නෑනෙ. එයාලට මාව වටින්නෙ නෑ. මාව ට්රාන්සර් කරල අද ලියුමකුත් ගහලලු.”
ඇය කිව්වෙ අඬන්න සූදානමින් වගේ. මට මතක් උනා අපේ බොස් මං එද්දි කීව බව ඇයව ට්රාන්සර් කරනව කියල. නන්ද මිස් පදිංචි ඔෆීස් එක කිට්ටුවමයි. වෙන කොහෙට එයාව දැම්මත් ඒ පලාතෙ ප්රවාහන දුෂ්කරතා තියෙන නිසා ඇයට අපහසුයි.
එදාම ඇගේ ට්රාන්සර් ලියුම ලැබුණ. මං අපේ බොස්ට කතා කරල ඒක කැන්සල් කරල දෙන්න කීවම ලැබුනෙ සතුටුදායක පිලිතුරක් නෙමෙයි.
” තව ටික දවසකින් නන්ද ඔයාට හිරිහැර කරනව කියල ඔයාම කියයි. එතකොට ඔයා ඕව කියන එකක් නෑ. මට ඔතන වැඩ ටික හරියට යන්නයි ඕන. ඒ නිසා ට්රාන්සර් එක කැන්සල් කරන්න බෑ කීයටවත්.”
මාත් අතෑරියෙ නෑ. ඇයගේ සේවය අත්යවශ්ය බවත් තව ඇත්තයි බොරුයි හේතු ගොඩක් දාල ලියුමක් එසැනින්ම බොස්ට ෆැක්ස් කලා. ලොක්ක මට සෑහෙන්න දොස් කිව්ව. ඒත් දවස් දෙකකට පස්සෙ නන්ද මිස්ගෙ ට්රාන්සර් එක කැන්සල් කරල ලියුම ආව. නන්ද මිස් පුදුම වෙල මාව බදාගෙන ඇඬුව.
එදා ඉඳල ඇය මට සැලකුවෙ තමන්ගෙ හතුරෙකුට හරි ප්රධානියට හරි වගේ නෙමෙයි. ඇගේ දුවෙකුට ඒත් නැත්නමි පුංචි නංගියෙකුට වගෙයි. ඔෆීස් එකේ විසඳිය යුතු අවුල් ජාල ගොඩක් තිබුණ කියල මං කිව්වනෙ. ඒව විසඳගන්න ඒ වෙද්දි විශ්රාමිකව හිටපු ඇගෙ ස්වාමිපුරුෂය පවා පුදුම සහයක් දුන්න. මොකද එයාල ගමේම අය නිසා ඒක මට ලොකු හයියක් උනා. හැම ප්රශ්ණයක්ම අපි විසඳුවෙ අපේ බොස්වත් පුදුම වෙන තරම් සතුටුදායක විදිහට.
ඔෆීස් එකේ කෙල්ලන්ට වගේම ගෙදරින් කෑම ගෙනියන්න බැරි උන දවසට කෑම එකක්, හෙම්බිරිස්සාවක් හැදුනම කොත්තමල්ලි බෝතලයක්, විශේෂ කෑමක් හැදුවම එයින් කොටසක් මටත් හම්බ උනා. ඒව අරන් එන්නෙ නන්ද මිස් නෙමෙයි. දවල් වෙලා අයිය ( නන්ද මිස්ගෙ හස්බන්ඩ් ) තමයි අරන් එන්නෙ.
ඒ සැලකිලි එකක්වත් තමන්ගෙ ලොක්ක අල්ල ගන්න කරන උප්පරවැට්ටි නොවෙන බව මට හොඳින්ම තේරිලා තිබුණ නිසා මාත් ඒ ආදර සංග්රහ බොහොම සතුටින් තමයි බාර ගත්තෙ. මොකද මේ සැලකිලි ඔෆීස් එක අතුගාන කෙනාට උනත් ඇය කලා.
ඔෆීස් එකේ පොඩි කෙල්ලන්ට නන්ද මිස්ගෙ සැර වැර කිරිල්ලත් ටිකින් ටික අඩු උනා. ඒත් පොඩි හරි වරදක් කලොත් බනින එක නම් බනිනවම තමයි. ඒව කිසි දෙයක් හිතේ නෑ ඒත්. මං ඒකටත් කැමති එයාගෙ.
මගෙ එග්සෑම් එකත් කිට්ටු උනා. දවස් කීපයක් ස්ටඩි ලීව් ගන්න රිලීෆ් කාව හරි එවන්න කියල අපේ බොස්ගෙන් ඉල්ලුවම දෙන්න බෑ කිව්ව. මං එද්දි නම් බොස් කතා කලේ එතන ගොඩදාල දුන්නොත් ඉර හඳ උනත් දෙන්නම් වගේ. ඒත් දවස් දෙක තුනකට රිලීෆ් කාවවත් දුන්නෙ නෑ. මං එග්සෑම් හීනය අතෑරිය.
දවසක් උදේම නන්ද මිස් පරල වෙල වගේ ආව. මං හිතුව බොසුයි අවට අපේ වෙන ඔෆීස් වලයි අය කිව්ව කතා ඔක්කොම හරි අද මං ඉවරයි කියල.
” මොකද මේ එග්සෑම් කරන්නෑ කියන්නෙ. දැන් අපේ කාලෙ ඉවරයි. මිස්ට එහෙම නෙමෙයි. එග්සෑම් කරන්නම ඕනෙ. මාසයක් උනත් නිවාඩු අරන් පාඩම් කරන්න. මිස්ට හෙඩ් ඔෆීස් එකෙන් ප්රස්නයක් නොවෙන්න මෙතන වැඩ ටික මං බලා ගන්නම්. අද ඉඳන් රෑ වෙනකල් වැඩ කරන්න බෑ. කලින් යන්න ඕනෙ. ගිහින් ගෙදර වැඩ ඉක්මනින් ඉවර කරල දවසට පැය පැය හරි පාඩම් කරන්න ඕනෙ. ඔන්න මං කිව්වා.. “
හෙන තගක් තමයි දැම්මෙ නම්. ඒත් ඒ තග ඇතුලෙ තිබුණ ආදරය මාව ඇඬෙව්ව. ඒ එග්සෑම් එකෙන් මං ගත්ත රිසල්ට් එක තමා වෘත්තීය ජීවිතේ මෙතෙක් මං ලබපු මට අමතක නොවෙන ලොකුම ජයග්රහණය උනෙත්.
අවුරුද්දකට පස්සෙ මට වෙන ඔෆීස් එකකට ට්රාන්සර් එකක් එනව හොඳට පහසුකම් තියෙන මටත් පහසු තැනකට. එදා නන්ද මිස් ඇඬුව මට යන්න එපා කියල. මටත් ඇයව දාල එන්න හුඟක් දුක හිතුනා. ඊට පසුව බොහෝ අය එක්ක වැඩ කරමින් වෘත්තීය ජීවිතේ විවිධ කඩඉම් පහුකලත් ඇයව මට නිතරම මතක් වෙනව. ඒ මතක් වෙද්දි මගෙ ඇසුත් තෙත් වෙනව.
විශේෂයෙන්ම ඇය ගැන වෙනත් අය දුන්න අර්ථ දැක්වීම් වලට හාත්පසින් වෙනස් අර්ථ දැක්වීම් සහිත අය, ඇය වගේම හාත්පසින් වෙනස් අර්ථයන් සහිත උනාම මට ඇයව වැඩිපුර මතක් වෙනව. කොහොම උනත් මගෙ හදවතේ හැමදාම ඇය රැඳී ඉඳීවි කාලයත් එක්ක මැකී නොයන විදිහට.
උපුටා ගැනීම: === කුමාරී දයානන්ද ===