හදිසි අවස්ථාවක අපට පළමුවෙන්ම සිහියට නැගෙන්නේ අපේ පවුලේ අය සහ හිත මිතුරන්ගෙන් ලැබුණු උපදෙස්. නමුත් එවැනි, අපට සුලබව අහන්නට දකින්නට ලැබෙන ප්‍රසිද්ධ උපදෙස් පවා වැරදෙන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා මේ ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ ප්‍රථමාධාර සම්බන්ධව ඇති සුලබ මිත්‍යාවන් කිහිපයක් හා ඔබ විසින් හදිසි අවස්ථාවකදී කළ යුතු නිවැරදි දේ පිළිබඳවයි.
11.තැල්මකට අයිස් තැබීම.

එය වැරදි වන්නේ ඇයි? – අයිස් මගින් තැල්ම අඩු වුවත් කෙලින්ම සම මත අයිස් තැබීමෙන් අධික ශීතල නිසා සම පිලිස්සී යා හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – සම සහ අයිස් අතර රෙදි කැබැල්ලක් තබන්න. තැල්මට මෙලෙස මිනිත්තු 20ක් පමණ සීතල යොදා, අයිස් ඉවත් කර, මිනිත්තු 20ක් තිබෙන්නට හරින්න. මේ ක්‍රියාවලිය නැවත නැවතත් කිහිප වතාවක් සිදු කරන්න.
10.මධ්‍යසාර හෝ විනාකිරි මගින් උණ සහිත පුද්ගලයෙකු පිරිමැදීම.

බටහිර රටවල බහුලව භාවිතා කරන මෙම ක්‍රමයේදී උණ සහිත පුද්ගලයෙකු පිස දැමීම සඳහා මධ්‍යසාර හෝ විනාකිරි භාවිතා කරනවා. එය හරියට ලංකාවේ අපි ඕඩිකොලොන් හෝ අයිස් වතුර යොදාගෙන උණ සහිත පුද්ගලයෙකු පිස දැමීමට සමානයි.
එය වැරදි වන්නේ ඇයි? – මධ්‍යසාර සහ විනාකිරි සමෙන් රුධිරයට අවශෝෂණය විය හැකි අතර මධ්‍යසාර නිසා මත්බවකුත්, විනාකිරි නිසා සිරුරේ ආම්ලිකතාවය ඉහළ යාමකුත් සිදුවිය හැකියි. මෙය විශේෂයෙන්ම කුඩා ළමුන්ට අහිතකරයි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – වැඩිපුර දියර වර්ග පානය කිරීම සහ කාමරයේ වාතාවරණය සිසිල් කිරීම ( 61-64°F) මගින් ඉතාමත් අධික නොවන උෂ්ණත්වයක් නම් ඉබේම පහළ යා හැකියි.
09.ක්ලාන්ත වූ පුද්ගලයකු එසවීම.

එය වැරදි වන්නේ ඇයි? – පුද්ගලයකු ක්ලාන්ත වූ විට ඔහුව එසවීමට හෝ මුහුණට සීතල වතුර ඉසීමට උත්සාහ නොකරන්න. එයින් කම්පන තත්ත්වය (Spasm) තවදුරටත් නරක අතට හැරිය හැකියි. එම පුද්ගලයාට නැවත සිහිය පැමිණි පසු කෝපි හෝ ශක්තිජනක පානයන් බීමට නොදෙන්න. එවැනි කැෆේන් අඩංගු පාන වලින් ඔවුන් විජලනයට ලක් විය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – ක්ලාන්ත වූ පුද්ගලයාගේ පාද තරමක් ඉහළින් ඔසවා තබා, බොත්තම් ඇතුළු ඇඟට හිර ඇඳුම් ආයිත්තම් ලිහිල් කරන්න. එම පුද්ගලයාට නැවත සිහිය පැමිණි වහාම සිට ගන්නට ඉඩ නොදෙන්න.
08.පිළිස්සුම් වලට ප්‍රතිකාර කිරීමට බටර් යොදා ගැනීම.

එය වැරදි වන්නේ ඇයි? – සුළු පිලිස්සුමකට බටර් හෝ ඇඔුල් ක්‍රීම් (Sour cream – සවර් ක්‍රීම්) යොදා ගැනීමෙන් පසු ඔබට යම් සහනයක් අත් වන්නේ එම ද්‍රව්‍යයන් තරමක් සීතල නිසා පමණයි. නමුත් මෙහිදී අනතුර තිබෙන්නේ බටර් හෝ ඇඔුල් ක්‍රීම් වියළුණු පසු කුඩා පටලයක් නිර්මාණය වී උෂ්ණත්ව හුවමාරුවට බාධා ඇතිවීම නිසයි. ඉන්පසු පිළිස්සුමේ උෂ්ණත්වය තවදුරටත් ගැඹුරට කා වැදී වඩාත් වැඩි හානියක් සිදුවිය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – පිළිස්සුන ප්‍රදේශය මිනිත්තු 15ක් පමණ ගලායන සිසිල් ජලයට අල්ලාගෙන සිටින්න. තුවාලයෙහි ආරක්ෂිත ආවරණය ඉවත් වී එය ආසාදන ඇතිවීමට සහ වණ වීමට ඉඩ ඇති බැවින් කිසිම අවස්ථාවක දියපට්ටා පිපිරීමෙන් වලකින්න.
07.විසන්ධි වූ අස්ථියක් ඔබ විසින්ම නැවත සකස් කිරීම.

එය වැරදි වන්නේ ඇයි? – ඔබ කිසිම අවස්ථාවක විසන්ධි වූ අස්ථියක් ඔබ විසින්ම නැවත සකස් නොකළ යුතුයි. එමගින් වඩාත් වැඩි අමතර හානි සිදුවිය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – විසන්ධි වූ ගාත්‍රය නොසෙල්වෙන සේ තබා රෝගියා රෝහලකට රැගෙන යන්න. අස්ථිය කිසිම අවස්ථාවක බලහත්කාරයෙන් සකස් නොකළ යුතුයි. ඒ වෙනුවට විසන්ධි වූ අස්ථිය ඇති ස්ථානය සහ ඊට වඩාත්ම ආසන්නයෙන් පිහිටි සන්ධි 2 ඇති ස්ථානත් නොසෙල්වෙන පරිදි එම ගාත්‍රය පහසු ඉරියව්වකින් වෙළුම් පටිවලින් ඔතන්න.
06.උලුක්කුවකට උණුසුම යෙදීම.

එය වැරදි වන්නේ ඇයි? – උළුක්කුවක් ඇති වූ විට එම ස්ථානය උණුසුම් රෙදි කැබැල්ලකින් තැවීම මගින් සහනයක් අත් කර ගත නොහැකියි. ඒ වෙනුවට උණුසුම නිසා රුධිර ප්‍රවාහය වඩාත් ශක්තිමත් වී එම ප්‍රදේශය වැඩිපුර ඉදිමීම සිදුවිය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – උළුක්කුවක් ඇති වූ විට මුල් දින කිහිපයේම උණුසුම වෙනුවට එයට සිසිල යොදන්න. එමගින් ඉදිමුම හා වේදනාව අඩුකර ගත හැකියි. මුල් පැය 48 දී හැකි තරම් එම ගාත්‍රයට අවම පීඩනයක් යෙදෙන සේ කටයුතු කරන්න.
05.විෂ ශරීරගත වූ විට වමනය කිරීම.

එය වැරදි වන්නේ ඇයි? – යම් විෂක් ශරීරගත වූ විට සාමාන්‍යයෙන් උපදෙස් ලැබෙන්නේ වමනය කිරීමටයි. නමුත් එම ශරීරගත වූ විෂ ආම්ලික, භාස්මික හෝ වෙනත් තැවරුණු විට පිළිස්සෙන සුළු ද්‍රව්‍යයක් නම් වමනය කිරීම කිසිසේත් සිදු නොකළ යුතුයි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – වහාම ගිලන් රථයකට කතා කරන්න. වමනය කිරීම සුදුසු යැයි ඔබට හැඟෙන අවස්ථාවක නම් ඒ උත්තේජනය කිරීම සඳහා මැංගනීස්, බේකින්සෝඩා හෝ කිරි යොදා නොගන්න. ඒ වෙනුවට වැඩි වශයෙන් උණු වතුර පානය කරන්න.
04.ඇසට වැටුනු ආගන්තුක ද්‍රව්‍යයක් සමග ගනුදෙනු කිරීම.

එය වැරදි වන්නේ ඇයි? – ඔබ අතෙන් සිදුකරන වැරදි චලනයක් නිසා සිදුවිය හැකි අනතුරු වල අවදානමක් තිබීම.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – ඇස ගෝස් වලින් ආවරණය කරගෙන වහාම වෛද්‍යවරයෙකු වෙත යන්න. ඇසට වැටුණු ද්‍රව්‍ය යම්කිසි රසායනික ද්‍රව්‍යක් නම් පමණක් ඇස වහාම වතුරෙන් සෝදන්න.
03.තුවාලයකින් ආගන්තුක ද්‍රව්‍ය ඉවතට ඇද දැමීම.

එය වැරදි වන්නේ ඇයි? – ඔබට අතේ ඇණුනු කටුවක්, කුඩා වීදුරු කැබැල්ලක් වැනි දෙයක් ඉවතට ඇද දැමීමට හැකි වුනත්, පිහියක් හෝ එවැනි බරපතල තුවාලයක් සිදු කිරීමට සමත් වූ ද්‍රව්‍යක් කිසිම අවස්ථාවක තුවාලයෙන් ඉවතට ඇදීමට උත්සහ නොකරන්න. වෛද්‍යවරුන් විසින් පවා රෝගියා සැත්කමට ගන්නා තෙක් එවැනි ද්‍රව්‍ය නොසෙල්වෙන සේ තබනවා. එවැනි ද්‍රව්‍ය ඇද ඉවත් කිරීමෙන් මාරාන්තික ලෙස ලේ ගැලිය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – සිරුරට ඇනුණු පිහියක් හෝ උලක් වැනි ද්‍රව්‍යයක් කොයිතරම් භයානක ලෙස පෙනුණත්, එය ඇද ඉවත් කිරීමට උත්සාහ කරනවා වෙනුවට එය එලෙසම තිබියදී රෝගියා වහාම රෝහලකට රැගෙන යන්න.
02.තුවාලයකට විවිධ ද්‍රව්‍ය ආලේප කිරීම.

එය වැරදි වන්නේ ඇයි? – විවිධ ආලේපන වර්ග (Ointments) නිසා අනවශ්‍ය තෙතමනයක් ඇති වන අතර තුවාලයක් නැවුම් වාතයට නිරාවරණය වී තිබියදී වඩාත් ඉක්මනින් සුව වීම සිදුවෙනවා.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – තුවාලය සබන් යොදා සිසිල් ජලයෙන් සෝදා, පිරිසිදු වියළි වෙළුම් පටියකින් ආවරණය කරන්න.
01.කැපුමක් වැසීමට සමට යොදන ගම් වර්ග (skin glue) වෙනුවට මැහුම් යොදා ගැනීම.

එය වැරදි වන්නේ ඇයි? – කැපුම් තුවාලයක් වැසීමට මුහුම් යොදා ගැනීම දිගු වේදනාකාරී ක්‍රියාවලියක් වන අතර පසුව එම මැහුම් ඉවත් කිරීමත් සිදු කළ යුතුයි. වර්තමානයේ ඒ වෙනුවට තුවාල වැසීමට සමට යෙදිය හැකි විෂ රහිත ගම් වර්ග තිබෙන අතර එය වේදනා රහිත වඩාත් ඉක්මන් විසඳුමක් ලෙස සැලකිය හැකියි.
එය නිවැරදිව කරන්නේ කෙසේද? – පළමුව, පීඩනයක් එල්ල කිරීම මගින් රුධිර ගැලීම නැවැත්විය යුතුයි. ඉන්පසු තුවාලයේ දෙකෙළවර වසා, ගම් යොදා, එය වියලෙන්නට හරින්න.
උපුටා ගැනීම: Hela Rahas