කුඩා කාලයේදී මතුගම ආච්චිලාගේ ගෙදර දී ලද ජීවිත අත්දැකීම් මා හට බොහෝ සෙයින් ජීවිතයට උපකාරී විය. කුඩා කළ සිටම තනිව පිළිවෙලට තම ජීවිතයේ එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට හුරු පුරුදු වීම මා ළද වටිනාම දායාදයකි. එහිදී අත්දුටු ගැමි කෑම වට්ටෝරු ද පුදුම සහගතය. සෑම දිනයකදීම උදෑසන ආහාරයට පිට්ටු, ඉඳි ආප්ප, පිගානක් තරම් ලොකු පොල් රොටි, පැණි රොටි, හල් පිට්ටු, හල් කිරි (දොදොල්), කිරියා, පොල්කිරි කැඳ සමග බතල, විවිධ අල වර්ග (හුළං කීරිය, කුකුළළ,කොඩොල්, කිරි අල, ආඩෂෝක්, ඉන්නල. මඤ්ඤොක්කා ආදිය) කිරිබත්, ඉඹුල් කිරිබත්, කොස් ආදී රසවත් ගුණවත් විවිධ කෑම වර්ග වල රස බැලීමට අපි වාසනාවන්ත වීමු.
එහිදී මා පුදුමයට පත් කළ , අද පරම්පරාවේ ඇස නොගැටෙන ආහාර වර්ගයක් ගැන මෙසේ සඳහන් කරමි. මා ලද අත්දැකීම් මෙන්ම විවිධ පොත පත සහ අන්තර්ජාලය හරහා සොයා ගත් දේවල්ද මේ අතර වෙයි. ඒ රසවත් ගුණවත් ආහාරය වන්නේ හල් ගෙඩි වලින් සාදා ගන්නා හල් දොදොල් (හල් මුල්) සහ හල් පිට්ටුය. වසරේ එක් කාලයකදී පමණක් සෑදෙන හල් ගෙඩි ඉස්කෝතු සීයා විසින් අහුලා රැගෙන එන අයුරු තවම මතකය. හල් ගෙඩි දුඹුරු පැහැතිය. හුරුබුහුටි පෙනුමකින් යුතුය. හල් ගෙඩි ගෙන ආ විට මා ඒවා ආසාවෙන් අතපත ගෑ අයුරු තවම මතකය. අපේ රටේ තෙත් කලාපයේ පහත් බිම් වල සරුවට වැඩෙන ඒක දේශීය ශාකයක් වන හල් ගස්වල මල් පිපී ගෙඩි හටගන්නේ අප්රේල් මැයි මාස වලදීය. අගෝස්තු වන විට පැසුණු හල් ගෙඩි බිමට වැටේ. මතුගම ආච්චිලාගේ නිවසට නුදුරුව පිහිටි කැලෑවලින් සීයා හල් ගෙඩි අහුලා රැගෙන එයි.
මෙම හල්ගෙඩි වල මදය සූරා ගැනීමට විශේෂ උපකරණයක් සීයා විසින් සකසා කුස්සියේ දුමේ තබා ඇත. ඒ හල් කටුවය. දුමේ තිබූ නිසා කළු පැහැගත් හල් කටු කිහිපයක්ම අපේ ගෙදර තිබුණු අයුරු මතකය. තරමක් ඝණකමින් යුතු බෙලෙක් තහඩුවකින් එය සාදා ගත හැකිය. යකඩ ඇණයක් ගෙන අතින් අල්ලා ගැනීමට හැකි කොටසක් තහඩුවේ ඉතිරි වනසේ තහඩුවේ අනිත් කොටසට විද මෙය සකසා ගනී. අනෙක් පසින් මතුවූ උල් සහිත තුඩු පිටතට සිටින සේ තහඩුව සිල්න්ඩරාකාරව නවා ගැනීමෙන් හෝ තිබෙන ආකාරයෙන්ම වුවද හල් කටුව ප්රයෝජනයට ගත හැකිය. හල් කටුව වත්මනෙහි කැරට් ආදිය සිහින්ව ගා ගැනීම සදහා භාවිතා කරන ග්රේටරයක් වැනිය.
මෙසේ සාදා ගන්නා හල් කටුවෙන් හල් ගෙඩි සිහින්ව ගා ගැනීම මීළගට සිදු කළ යුතු කාර්යයයි. මතුගම ආච්චී විසින් බංකුවක වාඩි වී කොලපොතක් එළා එහි කෙළින් අතට තබා ගත් හල් කටුවෙන් හල් ගෙඩි ගානා අයුරු බලන් සිටීමට ආසා හිතෙන වැඩකි. එසේ හල් කටුවෙන් හල් ගෙඩි ගෑමට මා ඉල්ලා කරන වදයෙන් බේරීමට මතුගම ආච්චී විසින් මා හට හල් කටුව බාර දුන්නද මා හට එය නිසියාකරාව සිදු කිරීමට නොහැකි විය. හල් ගෙඩිය අතින් ලිස්සා අත හල් කටුවේ ගෑවී මා නොසිතූ අකරතැබ්බයකට පත් විය. දැන් හල් ගෑම පැත්තක තබා ආච්චීට සිදු වූයේ අඬන මා නැලවීමටත් තුවාල වු මාගේ අතට බෙහෙත් කිරීමටත්ය.
හල් ගෙඩියක් මෙසේ ගා ගැනීමෙන් ග්රෑම් සියයක පමණ සිහින් මද / හල් පිටි ලබා ගත හැකිය. ඇති පමණට හල් ගෙඩි ගා ගත් පසුව මේ හල් මද වල ඇති තිත්ත ගතිය නැති කළ යුතුය. එයට මතුගම ආච්චී විසින් කදිම උපක්රමයක් භාවිතා කරන ලදී. හල් මද පන් මල්ලක බහා කට ගැටගසා වතුර ගලා යන කුඹුරේ ඇති වක්කඩක එය බැඳ තබයි. වක්කඩේ ජලය බැස යන විට එම ජලය පන් මල්ල හරහා ගොස් හල් මද හොඳින් සේදී තිත්ත ගතිය ඉවත් වේ. දිනක් පමණ වක්කඩේ ගැට ගසා මෙසේ හල් මල්ල තැබූ විට තිත්ත ගතිය සම්පූර්ණයෙන්ම නැතිවේ. මේ සියලු කාර්යයන් කිරීමේදී මා ආච්චීගේ පසු පසය. එකළ ඒ සියල්ල ආසාවෙන් බලා සිටීමෙන් නොදැනීම මා ලබා ගත් දැනුම සහ සිද්ධි මතකයට කා වැදී ඇති බව මේ මතකයන් දැන් මා සිහිකරන විට හිතට දැනේ.
මෙසේ සකස් කරගත් හල් පිිටිවලට හාල් පිටි හෝ පාන් පිටි පදමට එකතු කර සීනි ලුණු දමා හොඳින් අනා කොලපතේ තබා රෝල් කර බම්බු සාදා මුල් බැඳ හොඳින් වණ්ඩුවේ තම්බා ගනු ලැබේ. පැය දෙකක් පමණ වණ්ඩුවේ තම්බා ගත් පසුව රසවත් කෑමක් අපහට ලැබේ. රෝලක් ආකාරයට ඇති නිසා ඒ ආකාරයෙන්ම කොලපතෙන් ලිහා ගන්නා හල් මුල, පෙති ආකාරයට කපා මතුගම ආච්චී අපහට කෑමට දෙන අයුරු මා අද සිහි කරන්නේ හදපිරි ආදරයෙනි.
පසු කාලයේදී වක්කඩේ නොබැඳ ගෙදර භාජනයක පිරවූ දියේ දමා පැය ගාණක් තබා, පසුව නැවත කිහිප වරක් සෝදා ගැනීමෙන් හල් මදවල ඇති තිත්ත රසය යැවූ ආකාරයද මතකයේ ඇත. තිත්ත නැති කළ හල් පිටි පොල් හා ලුණු සමග වංගෙඩියේ දමා කොටා සාදා ගන්නා මිශ්රණය වණ්ඩුවේ තම්බා ගැනීමෙන් රසවත් හල් පිට්ටු සාදා ගනී. එකළ ඇළුමිනියම් පිට්ටු බම්බු නොතිබූ අතර මැටි හට්ටියක කට වසා බොක්ක හිටින සේ බඳිනා ලද රෙදි කඩක් මතට හල් පිටි මිශ්රණය දමා හල් පිට්ටු සෑදූ අයුරු මතකය. මෙම හල් පිට්ටු හෘද රෝග , දියවැඩියාව වැනි රෝග සඳහා ගුණදායක ආහාරයකි.එකළ පරම්පරාවේ බෝහෝ දෙනා දීර්ඝායුෂ ලැබීමට හේතු වන්නට ඇත්තේ ඔවුන්ගේ මෙම සුවිශේෂී ආහාර රටාව නිසා විය යුුතුය. මතුගම ආච්චී වයස අවුරුදු 94ක් ජීවත් වූයේ තමාගේ සියලුම වැඩ කටයුතු අවසාන මොහෙත දක්වාම තනිවම කරගනිමින්ය. පොත් පත්තර ආදිය කියවූයේද කණ්ණාඩි නොමැතිවය.
හල් ගසේ පොතු කිතුල් මල් මැද ලබා ගන්නා තෙල් දිය පැසීම නතර කිරීමට සීයා යොදා ගන්නවා මතකය. නොපැසුණු තෙල් දිය හෙවත් මී රා හකුරු සහ පැණි සෑදීමට භාවිතා කරනු ලබයි. කිතුල් ගස හා බැඳුණු මතකයන් ඉදිරියේදී ලිවීමට අදහස් ඇති බැවින් තෙල්දිය ගැන ලිවීම මෙපමණය.
හල් ගසේ මුල්වල පොත්තෙන් වැගිරෙන ලාටු මගින් දුම්මල විශේෂයක් සාදා ගනු ලැබේ. මෙම හල් දුම්මල දහනය කිරීමෙන් ලැබෙන දුම් විෂබීජ නාශකයක් ලෙසත් මදුරුවන් පළවා හැරීමටද භාවිතා කළ අයුරු මතකය.
අද අප සියලු දෙනා අතින්ම ගිලිහී ගොස් ඇත්තේ මෙම වටිනා ස්වාභාවික, වස විස වලින් තොර මෙම ආහාර පාන මිනිසුන්ගේ ආයුෂ වැඩිකලේ රෝගාබාධ වලින් තොර කරමිනි. හිතේ සතුට ඇති පදමට තිබූ එකළ ආච්චිලා සීයලා දවසක් තුළදී සිදු කරන ලද වැඩ කන්දරාව අද සිහිපත් කරන විට පුදුම සිතේ. කිසිම යන්ත්රයක් නොතිබූ එම අවධියේ වී කෙටීම. මිරිස් තුනපහ ආදිය ගලේ ඇඹරීම, ගොම මැටි ගා බිම සැකසීම, කැලයෙන් දර කඩා රැගෙන විත් දර ලිපේ කෑම පිසීම, නෑමට බීමට රෙදි සේදීමට ඇලට දොලට ලිඳට යෑම ආදී එකී මෙකී නොකී සියලුම කාර්යයන් සිදු කිරීමට වේලාව තිබුණි. නැවතත් එම සරල ජීවිතය අපගේ වර්තමාන ජීවන රටාව සමග හැකි පරිදි ගලපා ගැනීමට හැකිනම් එය අපගේ ජීවිත සාර්ථක කර දීර්ඝායුෂ වැඩිකිරීමට හේතු වනවා නිසැකය.
ඡායාරූපය අන්තර්ජාලයෙනි..

උපුටා ගැනීම: Janaka Harsha Koswaththa