දොරට තට්ටු කරන හඬක්. අතින් එන්න කිව්වම ඇතුලට ආවේ එක්ස්කියුස්මී සර් කියාගෙනම.
” සර්. හෙට හාෆ් ඩේ එකක් ඕනේ.”
ඒ බයාදු බැල්මෙ වෙනම කතාවක් ලියවිලා තියෙන බව කාටත් පේනවා.
” හෙට ෆුල්. තනි මිනිහෙක්ට කරන්න බෑ ඒ වැඩ කන්දරාව. මොකක්ද හදිස්සිය.”
ආයෙත් ලැප් එකට මූණ ඔබාගත්තා.
” හදිස්සිම වැඩක් සර්. හෙට නොගියොත් ආයේ ගිහින් වැඩකුත් නෑ.”
කොල්ල අඬන්න වගේ. මූණෙන් කතාව පෙනෙන්ද්දි කටින්ම ඇහුවා.
” කෙල්ල හම්බවෙන්නද.? “
මිනිහා ඇස් එහෙ මෙහෙ යැව්වෙ කතාව අහු නොවෙන්න. ඒත් අන්තිමේදි කිව්වා.
” ගොඩ දවසකින් ගියෙ නෑ සර්. හෙට ආවෙ නැත්තන් සම්බන්ධෙ නවත්තයි. එයා එහෙමයි. “
ඒ අසරණකම කොයිතරම්ද කියල අමුතුවෙන් වචන නොකරට කටහඬේ ගැස්මෙන් ඒක පෙනුනා.
ආදරේ මොන වගේ පීඩනයක්ද.? එකෙක් අනිත් එකාව තේරුම් නොගනිද්දි, එකෙක් අනිත් එකා මැරිල හරි මෙහෙම වෙන්න ඕනේ කියල හිතත්දි, කොන්දේසි දහ අට කෝටියක් එක්ක පණ ඇරල ආදරේ කරද්දි එන පීඩනේ අමුතුවෙන් පෙන්නන්න ඕනේ නෑ.
” ඇයි කෙල්ලට රස්සාව ගැන කියල නැද්ද.? හිතල මතල මඟ අරිනවා නෙමෙයිනේ නේද.? ඕන්නම් කෝල් එකක් ගන්න මම කියන්නම් විස්තරේ.”
කොල්ලට බිම බැලුනා. ඇස් ලාවට වගේ බොඳ වුණේ සමහරවිට තමන්ට නැතිවෙන්න යන දේ ගැන දැන දැනත් ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැති කමට වෙන්න ඕනේ.
” ඒක හරියන්නෑ ස..ර්..එයා එහෙම අහන්නෑ. මට යන්නම වෙනවා.”
ඒ පිට කරපු හුස්මෙ තිබුනේ හෙට රස්සාවට වඩා ඒ කෙල්ල වටිනවා කියන එක වෙන්න ඕනේ.
” යන්නම ඕන්නම් යන්න. හැබැයි අස්වීමේ ලියුම මට ගෙනත් තියල. ආයතනයක ක්රමයක් තියෙනවා. ඒකෙන් පිට පැනල යන්න විදිහක් නෑ. තේරෙනවනේ.”
ඒ වචන ඌට ගාණක් තිබුන්නෑ. ඊට වඩා වටින යමක් උගෙ හිතේ තිබුණා.
” රස්සාවල් මට හම්බවෙයි සර්. එයාව ආයේ ලැබෙන එකක් නෑ. සර්ට ඒක තේරෙන්නෑ.”
ඒ උත්තරේ එක්ක, මේ මනුස්සයගෙ නොතේරුම් කමට දුක් වෙනවද, නැත්තන් මගේ අත්දැකීම් එක්ක හිනාවෙනවද කියල කල්පනා කරන්න ඕනේ වුණා. හැඟීමක් නැති බැල්මක් ඇරෙන්න වෙන තීරණයක් ගන්න බැරි වෙද්දි ආපහු බැලුවෙ ඒ සරීරෙ දිහා.
” උඹේ රස්සාව තේරුම් ගන්න බැරි කෙල්ලෙක්ගෙන් උඹ බලාපොරොත්තු වෙන ආදරේ මොන වගේ එකක්ද.? කොච්චර කාලයකටද.? “
ඒ ප්රශ්නෙ ඉස්සරහ ඌ ඔලුව ඉස්සුවේ පුදුම ගාම්භීරකමකින්.
” මම මුකුත් බලාපොරොත්තු වෙන්නෑ සර්. එයා හිටියම ඇති. මට එයාව විස්වාසයි. සදහටම එයා මම එක්ක ඉඳීවී.”
මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑම් කිරිල්ල නවත්තල දාන්න ඕනේ කියල තීරණේක ඉන්න එකේ ඌට වෙන දෙයක් කියන්න හිත දුන්නෑ.
” ලීව් ෆෝම් එකක් අරන් හාෆ් ඩේ දාල ගෙනෙන්. මම අත්සන් කරන්නම්.”
මිනිහා ලොකුම හිනාව දාලා දුවගෙන ගියේ අවසරය හම්බවුණ වෙලාවෙම වැඩේ කරගන්න.
” මෙන්න සර්.”
විනාඩියෙන් පුරවල ගෙනත් දීපු කොලේ අත්සනක් දැම්ම. සංතෝසේ උතුරන හිනාවක් එක්ක ඌ දොරෙන් පිට වෙද්දි මේසෙ උඩ තියෙන මමම කුරුටු ගාපු කොලේට මගෙ ඇහැ ගියා.
උඹ,
එන්නෙත් නැති
යන්නෙත් නැති
අතීතයක්.