අර අවුරුදු 15 දැරිය ගැන මොකවත්ම ලියන්නේ නැහැ කියලා තමයි හිතාගෙන හිටියේ. ඒකට හේතුව තමයි ඒ ළමයව විකුණපු අම්මයි බාප්පයි, ඒ ළමයට කළ හානියට වඩා වැඩි හානියක්, ඒ ළමයගේ පහස ලබපු මිනිස්සුන්ගේ ලැයිස්තුව දවස ගානේ මාධ්යයට ඉදිරිපත් කරන පොලිසියයි, ඒවා ආකර්ශනීය විදිහට ප්රචාරය කරන මාධ්ය ආයතනයි විසින් කරන නිසා.
ඒත් ඔය සිද්ධියට හාමුදුරුවරුන්ගේ නමුත් ගෑවෙන නිසා ඒ ගැන යමක් ලියන්න හිතුණා.
මගේ ජීවිතේ මට අනන්තවත් හාමුදුරුවරු මුණ ගැහිලා තියෙනවා. ඒ අයගෙන් බහුතරයක් දෙනා ගොඩාක් සිල්වත් වගේම සිවුරේ ගෞරවය රකින හාමුදුරුවරු. ඒත් සුළු පිරිසක් ඉන්නවා ගිහියන් වෙච්චි අපිට වඩා වැරැදි කරන සහ දුෂ්ශීල ජීවිත ගත කරන අය.
මම දන්න සමහර හාමුදුරුවරු ඉන්නවා දවස ගානේ මත්පැන් පානය කරනවා. තවත් සමහරු, ගිහියන් වෙන අපිට වඩා ස්ත්රී පහස ලබනවා. ඇත්තටම වෙලාවක ඊර්ෂියා හිතෙනවා.
පන්සලක් ඇතුළේ කාන්තාවකට නවාතැන් දෙන එක භික්ෂු විනයට පටහැනි දෙයක්. මොහාන් රාජ් මඩවලගේ “මාගම් සෝළිය” කියන නවකතාවේ සඳහන් වෙන විදිහට පන්සලක් ඇතුළේ ස්ත්රීයක් තියන් ඉන්න එක හැඳින්වෙන්නේ “මාගම් සෝළිය” කියලා. ලංකාවේ පන්සල් කීයක මේ වගේ මාගම් සෝළි ක්රියාත්මක වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
දැන් සමහරු තර්ක කරන්න පුළුවන් හාමුදුරුවරු කියන්නේ රහත් වෙච්චි අය නෙමෙයි, අපි වගේම පෘතග්ජන මිනිස්සුනේ…, ඒ නිසා ඒ අයටත් ආශාවල් තියෙනවා කියලා.
සමහර තනතුරු, පදවි සහ තානාන්තර තියෙනවා, ඒවට පත්වෙන අය විසින් රැකිය යුතු ආචාර්ය ධර්ම පද්ධතියක් සහිත. උදාහරණයක් විදිහට මහාධිකරණ විනිසුරුවරයෙකු පිළිපැදිය යුතු වෘත්තීය ආචාර් ධර්ම පද්ධතියක් නීතියෙන්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තනතුරට පත්වෙන කෙනා ඒ ආචාර ධර්ම පද්ධතිය රකින්න බැඳිලා ඉන්නවා.
ඉතින් බෞද්ධ භික්ෂුවක්, කතෝලික පියතුමෙක් හෝ මුස්ලිම් මවුලිවිවරයෙක් ඒ පදවියට පත්වෙනවා නම්, එයා අනිවාර්යයෙන්ම ඒ පදවියේ ගෞරවය වගේම, ඒ පදිවියට හිමි ආචාර් ධර්මත් පිළිපදින්න ඕනේ.
අපිව පංචශීලයේ පිහිටුවන බෞද්ධ භික්ෂුවකට, අඩුම තරමේ පංචශීලයවත් රකින්න බැරි නම් ගිහියෝ වෙච්චි අපි මොකටද ඒ වගේ කෙනෙක්ට පසඟ පිහිටුවලා නමස්කාර කරන්නේ. අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලිවලින් ඒ වගේ දුෂ්ශීල භික්ෂුවකට දාන මාන පිළිගන්වන එකේ තේරුමක් තියෙනවද?
පැවිද්දෙක්ට එයා පිළිපැදිය යුතු විනය කාරණා පිළිපදින එක අමාරු නම් ඒකෙන් නිදහස් වෙන්නත් විදිහක් තියෙනවා. ඒ තමයි උපැවිදි වෙන එක. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. උපැවිදි වෙච්චි අය ලංකාවේ ඇමැතිකම්වලට පවා පත්වෙලා තියෙනවා.
මම කොහෙදි හරි කියෙව්වා “සිඛවළඳ විනිස” කියලා දෙයක් ගැන. ඒක භික්ෂු විනය කාරණාවලට සම්බන්ධ ලියවිල්ලක්. ඉතිං මේ “සිඛවළඳ විනිස” ට අනුව භික්ෂූවක් පරාජිකා වෙන ක්රම කීපයක් තියෙනවා.
ඒ එක ක්රමයක් තමයි යම් කිසි භික්ෂුවක් එයාගේ පුරුෂ නිමිත්ත (මොකක්ද කියලා දන්නවනේ) ස්ත්රියකගේ “පස මග” (ප්රසව මාර්ගය එහෙමත් නැතිනම් යෝ නි ය) “වස මග” (වර්චස් මාර්ගය එහෙමත් නැතිනම් ගුද මාර්ගය) හෝ “මිය” (මුඛය) යන තුනෙන් එකකට හෝ කීපයකට ඇතුළු කළොත් (මේකට කියන්නේ “සසඟ” එහෙමත් නැතිනම් සංසර්ගය කියලා) එම භික්ෂුව පරාජිකා තත්ත්වයට පත්වෙනවා කියලා.
ඒ විදිහට බැලුවාම දැන් ඉන්න භික්ෂුන්ගෙන් සමහරක් අය දැනටමත් පරාජිකා තත්ත්වයට පත්වෙලා ඉන්නේ.
අනේ හාමුදුරුවනේ, පිං සිද්ධ වෙයි සිවුර පොරෝගෙන වැරැදි කරන්න එපා…