හාමුගෙ බල්ලා… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උසස්පෙළ හැදෑරීමට සඳහා ජීව විද්යා අංශය තෝරාගත් මම (ජීවිතයේ ගත් තවත් එක් ගොං, අමන තීරණයක්)
( ඒ මට බැරි මගුල කරන්න ගත්ත එක)
ඒ සඳහා වෙනත් පාසලකට ඇතුලත් උනා… ඒ 2007 වසර.. පුරා අවුරුදු දෙකක කාලයක් එම පාසලේ ඉගනීමෙන් ලබාගත් අත්දැකීම් වලින් බිඳක් ඔබ හමුවේ තැබීමට සිත් දුන් හෙයින් මෙසේ ලියන්නට අදහසක් පැමිනියා.
“යකෝ මූට මොන යකා වැහිලද අද මේ සාස්ත්රීය ටෝක්ස් දෙන්නෙ” කියල හිතන්නෙපා. මේ එන්න හදන්නෙ ඒ ගොබ්බ ටෝක්ස් විලාසෙට.
ඇත්තටම උසස්පෙළ බයෝ කරන්න වෙන ඉස්කෝලෙකට ගියේ. අවුරුද්දක් විතර හරියට ඉගනගත්ත. ඊටපස්සෙ තමා පටංගත්තෙ වැඩ. සෝක් කොල්ලො සෙට් එකක් හිටියෙ බයෝ ක්ලාස් එකේ. මීටර්ම එකාගෙ ඉඳල ඇමීටර් එකා දක්වා විහිදුනු ජෛව විවිධත්වයක් තිබ්බ අපේ සෙට් එකේ. හිටියෙත් 12ස් දෙනයි.
ඉස්කෝලෙට පරිනත වෙද්දි බය කියන එක පොඩ්ඩක් අඩු උනා. ඉස්කෝලෙ ග්රවුන්ඩ් එකට අල්ලපු ඉඩම අක්කර තුනක විතට තේ ඉඩමක්. ඒකෙ තේ වලට අමතර පොල්, තැඹිලි, වරක, ජම්බෝල, උගුරැස්ස ආදී නානාප්රකාර පළතුරු ලෝකයක්. වත්තෙ අයිති එකා වලව් කාර පරම්පරාවක එකෙක්. හිටියෙ ඉලව්වක උනාට ඌට කිව්වෙත් හාමු කියල. හාමුට හිටිය අඩි දෙකකට වැඩිය උස වහු පැටියෙක් වගේ බල්ලෙක්. උගේ කූඩුව තිබ්බෙත් අපේ ග්රවුන්ඩ් එක පැත්තට පේන්නමයි.
ඉගනීමට අමතරව හාමුගෙ වත්තට පැන ගෙඩි කැඩීම අපේ එක සබ්ජෙක්ට් එකක්.. අපේ හිටියෙ බඩජාරි හැත්තක්. අහුවෙන ඕන මඟුලක් කන්න පුලුවං අපේ එඋන්ට. කොටිම්ම ඒ වත්තට පැනල වැටිල තියන පොල් ගෙඩිය පවා ඔයාගෙන කනව. ඒතරං සාගතාකාර, අහිකුන්ටක, සෝමාලියානු සම්භවයක් තියන ඉතියෝපියානු ආහාර මාර්ග පද්ධති තිබ්බ සෙට් එකක් හිටියෙ. ගහේ තියන ගෙඩියට පවා සොට් එක දෙන්න පුලුවන්, අපි පඩිපෙලක් නගිනව වගේ ගස් නඟින්න පුලුවං සගයෙකුත් හිටිය අපි එක්ක. ඌ තමා ගස් වලට වග කියන්නෙ. ඒවගෙමයි ඒ වත්තෙ කෙහෙල් කැං වල කැන ගහේ තියෙද්දි ඇවරි ගලවන්න පුලුවන් හැකියාවක් තිබ්බ රිලා ජාන තියන එකෙකුත් හිටිය. මේ සීන් නිසාම ඉස්කෝලෙ ටයිම් එකට හාමුගෙ බල්ල ඉන්නෙ කූඩුවෙන් එලියෙ. ඌ වත්ත වටේ මුර කරනව.
මේ ඇවිල්ල කන්න දෙයක් ඒ වත්තෙ නැතිම කාලෙ.. එදා හිටියෙ සෙට් එකේ නව දෙනයි. වත්තට පැනල බැලුව කන්න කියල මොනවත් නෑ.. අපි බලන්නෙ බිම වැටුන දේවල්.. ගස් යන එකා උඩ බලන්නෙ ගස් වල තියන දේවල්. එකපාරට ඌ තැඹිලි ගහක තැඹිලි වල්ලක් පෙන්නල කඩමුද කියල මූසල හිනාවක් දාල ඇහුව. අපිත් ඉතිං හාං කිව්වම ඌ සෙනික ගහ මුල සපද්දෙක ගලවල පඩිපෙල නගින්න වගේ ගහ දිගේ උඩට ඇවිද්ද. තප්පර දහයෙන් මූ වල්ල ලඟ (තැඹිලි). බල්ල මතක් උනේ අපේ එකා වල්ල ලඟට ගියාට පස්සෙ. එකෙක් අතින් ඇනල තව එකෙක්ට බලු කූඩුව පේන තැනකට ගිහිං මුර කරන්න කිව්ව.
දැං තැඹිලි ගහ උඩ එකයි ගහ මුලම එකයි එතැන් සිට ග්රවුන්ඩ් එක දක්වා සම දුරින් අනිත් සෙට් එකයි. ගහේ එකා එක ගෙඩිය ගානෙ ගහ මුල එකාටත් ඌ විසින් අතින් අත පිලිවෙලින් ග්රවුන්ඩ් එක ලඟ එකාටත් දක්වා ශබ්ද නොනැගෙන සේ වල්ල පාස් කරනව. මිසන් ඉම්පොසිබල් වගේ සීන් එක. එකපාරට හදිසියෙම මුරට යවපු එකා ඔන්න හාමුගෙ බල්ල කියල කෑගැහුව. ඔක්කොටම සිහි නෑ, ආව පැත්ත මතක නෑ. තේ ගස් කඩාගෙන, කලිසං ඉරාගෙන, කුනුහබ්බ කියාගෙන පැන පැන දුවල යාන්තං අපේ දේස සීමාවට ආව. ඒකියන්නෙ ග්රවුන්ඩ් එකට. ඇවිල්ල අපි ක්රිකට් ගහනව. අපි බබාල. මොනවත් දන්නෙ නෑ. ටික වෙලාවකට පස්සෙ මතක් උනේ. හුටා…. කෝ යකෝ ගහේ ගිය එකා. ඌ නෑ. බය වැඩිකමට ඌ ගහෙං බහින්න කලිං අපි දුවල. විනාසයි. එක එක විකාර හිතෙනව. ඌ ගහෙං වැටිල අබ්බගාත වෙලා එන්න බැරිව ඇතිය, බල්ල කොල්ලගෙ බෙල්ලෙං අල්ලං ඇතිය, බල්ල උගේ කඩං කාල ඇතිය, ඕව හිත හිතා සේප් එකේ තැඹිලි ගහ පේන මානෙට ගියා. මූ පේන්න නෑ. බල්ල මූව ඇදගෙනවත් ගියාද, අපිට දාඩියත් දාල. ඌ මැරිලනං. හත්තලාමේ මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉද්දි හාමුගෙ ගේ පැත්තෙං මාව එලියට දාපාං….. කියල කෑගහනව ඇහෙනව. තව ටිකක් කිට්ටු වෙලා බැලුව. අඩේ අපේ එකාගෙ වොයිස් එක. ග්රවුන්ඩ් එකේ ගේ පැත්තට තිබ්බ තාප්පෙට නැගල සේප් එකේ බැලුව සද්දෙ ආපු පැත්ත. මහ දවාලෙ විදුලි කොටන සීන් එක. අපේ එකා බලු කූඩුවෙ. ඌව දාල පිටිං ඉබ්බ දාල. බල්ල ඉන්නව එලියෙ කූඩුව ලඟම ගැටගහල, කොල්ල බල්ලගෙ කූඩුවෙ.. බල්ල බලං ඉන්නව කොල්ල දිහා මේ මොන මයිනෙක්ද මහ එකා මගේ කූඩුවට රිංගෙවුවෙ කියන්න වගේ.
කරගන්න දෙයක් නෑ ලඟට යන්න බෑ බල්ල එතනමයි. අපේ එකෙක් සූ සූ ගාල කූඩුවෙ ඉන්න එකාට කතාකලා විතරයි ඌ අපේ දිහා බලාගෙන අපේ මළගිය ඤාතීන්ගේ සිට සියලූම නෑදෑ පරම්පරා මතක් කරල කුනුහබ්බ වලින් ගුලි හදල ගහන්න ගත්ත. උගේ ලතෝනියට බල්ලත් හොල්මං. බල්ල මීක් නෑ, අපේ එකා මරු විකාරෙ කූඩුවෙ දැල් හප හපා කෑගහනව. එකපාරට මුගේ විලාපෙ ඇහිල ගේ ඇතුලෙ ඉඳං සද්ධන්ත එකෙක් එලියට ආව. අඩේ හාමුව. එකෙක් එහෙම කියල තාප්පෙං පැන්න. අපි බලං ඉන්නව. මෑන් දැක්ක අපි තාප්පෙ උඩිං බලාගෙන ඉන්න හැටි. එකපාරට ඌ “හිටපියව් තොපේ මහ එකා ලඟට මූවත් අරං එනකං” කියල කූඩුවෙ හිටපු අපේ බල්ලව බෙල්ලෙං ඇදල ගත්ත. කෙලිනවනෙ. මූ එන්නෙ පිනා හම්බවෙන්න. ඌ එන්න කලිං අපි කොහොමහරි පන්තියට පැනගත්ත.
ටික වෙලාවකිං පිනාගෙ ගෝලයෙක් එනව ඔක්කොටම ආං ඔපිස් එකට එන්න කිව්ව කියාගෙන. තැන තැන වැටිල තිබ්බ පෞර්ශෙ අහුලං සෙට් එක පෝලිමට ගියා ඔපිස් එකට. ඇතුල් වෙද්දි අපේ එකා තවම අඬ අඬා ඉන්නව. පිනා ඌට රව රවා ඉන්නව. හාමු පිනාට රව රවා ඉන්නව. අපි ගියා විතරයි හාමුව පටංගත්ත දේසනාව. ගඩාගෙඩි කන වල් හැත්ත. තොපි නිසා බෝගයක් තියාගන්න නෑ. එක යුද්දෙ ඔපිස් එකේ. ඊටපස්සෙ පිනාගෙ වාරෙ. තොපි බයෝ ක්ලාස් එකේ නේද? දොස්තරල වෙන්න නේද ඉගනගන්නෙ කියපු ගමං අඬ අඬ හිටිය එකාට හිකිස් ගාල හිනා ගියා. පිනාට ඒකට තව මල. ඌ කලු කුමාරය වගේ උනා. තෝ නං හරියන්නෙ සත්තුන්ට වෙදකං කරන්න, නැත්තං කෘසිකර්මෙ කරහං කියල දෙසන්න ගත්ත..
පිනා එහෙම කියන්න ඇත්තෙ අපේ එකාගෙ ඇඟේ තිබ්බ බලු මයිල් සහ ගහෙන් රූරා වැටෙද්දී සුදු කලිසමේ ගෑවුනු දියසෙවෙල නිසා වෙන්නැතිය කියල මට හිතුන.
කොහොමහරි පැය බාගෙකිං විතර පස්සෙ හාමුව ගියා. අපිව පංතියට එලෙව්ව. ගියාට පස්සෙ අපි අරූගෙං ඇහුවෙ මොකද උනේ කියල. බල්ල ආපු පාර මුගේ වයර් මාරු වෙලා හිටියෙ ගහේය කියන එක අමතක උනාලු. එහෙම්ම බිමට පැනල අහක බලං දුවල තියෙන්නෙ හාමුගෙ ගෙදර පිටිපස්සෙ දොර ලඟට. හාමුවගෙ අතටම මාට්ටු. එසැනින් මූව දෙකට නවල බලු කූඩුවෙ දාල දොර වහල..
එදා ඉඳල අපේ එකෙක්වත් හාමුගෙ වත්තට තියා ග්රවුන්ඩ් එකටවත් ගියේ නෑ ඉස්පෝට් මීට් දවසටවත්.
(අපේ මේ සෙට් එකේ තුන්දෙනෙක් මේවෙද්දි දොස්තරල, එකෙක් කළුබෝවිල, එකෙක් නුවරඑළිය බ්ලඩ් බෑන්ක් එකේ, අනිත් එකා නවසීලන්තෙ. අනිත් එකෙක්වත් චාටර් තැන් වල නෑ. මම ඇරෙන්න)
උපුටා ගැනීම: Kasun Gimhana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!