එයාව ඉස්සෙල්ලම දකින්නේ කෙමිස්ට්රි ක්ලාස් එකේදි. ඒ මං ඉන්ටවල් එකේදි කෑම කාලා අත හෝදන්න ටැප් එක ලඟට ආපු වෙලේ. ආයෙමත් පන්තියේ දාහක් ළමයි අස්සේ එයා නොපෙනී ගියා. ඔය විදියට හැමදාම ඉන්ටවල් එකේදී ටැප් එක ලඟට ආවම එයා දිහා ඇස් කොනෙන් බලන එක මගෙ පුරුද්දක් වුනා.
ඒලෙවල් වලට කරපු සබ්ජෙක්ට් තුනෙන් මං කැමතිම කෙමිස්ට්රි වලට. ගොඩක් වෙලාවට ක්ලාස් එක ඇරුනම අපි යාළුවෝ සෙට් එක ගැටළු තියෙන ඒවා ආයෙත් අහගන්න සර්ව හම්බෙනවා. හැමදාම වගේ ක්ලාස් එක ඇරුනම සර් ගාව ළමයි දහයක් පහලොවක් ඉන්නවමයි. ඒ ඉන්න ළමයි අතරේ එයත් හිටියා. සමහර දවස්වලට මට ගැටළු නොතිබ්බත් එයාව බලන්න ඕනි නිසාම ක්ලාස් එකෙන් පස්සෙ සර්ව හම්බෙන්න ගියා.
ඒ දවස්වල අපිට ඕර්ගනික් කෙමිස්ට්රි කරන කාලේ. එක දවසක් ක්ලාස් එකෙන් පස්සේ සර්ව හම්බෙන්න ගිහින් හිටපු වෙලාවේ එයා එයාගෙ යාළුවෙක් එක්ක හදිස්ස්සියෙන් වගේ ක්ලාස් එකෙන් ගියේ එයාගෙ ඕර්ගනික් ටියුට් එක අමතක කරලා. එතන හිටපු කාටවත් නොදැනෙන්න මං එයාගෙ ටියුට් එක මගෙ ෆයිල් එක අස්සට දාගෙන ගෙදර ගියා.
ඒ ටියුට් එක නිසා තමයි මට එයාගෙ නම දැනගන්න ලැබුනේ. සර් කියපු දේවලට අමතරව කිසිම දෙයක් ලියලා තිබ්බේ නැති නිසා ටියුට් එක එයාට ආපහු දෙන්න හිතුන් නෑ. අනික ටියුට් එක දෙන්නනම් එයත් එක්ක කතා කරන්නත් වෙනවා. එයා බලයි මං මොකද ටියුට් එක ගෙනිච්චේ කියලා.
ඔහොම දින සති මාස ගනන් ගත වුනා. ඒ කාලෙටම එක වචනයක්වත් මං එයා එක්ක කතා කලේ නෑ. මං එයා ගැන අවධානෙන් ඉන්නේ කියලා එයාට දශමයක්වත් ඇඟෙව්වේ නෑ.
ඒලෙවල් රිසල්ට් වලින් පස්සේ මං විද්යා පීඨ සිලෙක්ට් වෙනවා. එයා කැම්පස් ගියා කියලයි ආරංචි උනේ.
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් තවත් එහෙම ලියන්න බැහැ. සමාවෙන්න කලින් හැමතැනදිම ඔයා වෙනුවට එයා කියලා ලිව්වට. මගේ අතීත මතක එහෙම ලියනකොට මට පහසුවෙයි කියලා හිතුන නිසයි ඒ. මෙතනින් පස්සේ වර්ථමානේ.
ඔයා එහා වාට්ටුවට අළුතින් ඇවිත් ඉන්නවා කියලා වගීෂා මට කිව්වා. වගීෂාව දන්නවනෙ ඔයා. එයා මං ඉන්න වාට්ටුවේ නර්ස්. මං වගේ නෙමෙයි එයා කෙමිස්ට්රි ක්ලාස් එකේ හැමෝම එක්ක ෆිට්. මගෙ හොඳම යාළුවා. ඒ වගේම මගේ හැමදේම දන්න කෙනා. මං හැමදේම අතඇරලයි හිටියේ. මොකද අම්මයි තාත්තයි නැති ලෝකේ දාලා යන්න බැරි බැඳීමක් තිබ්බේ නෑ. ඒත් හැමදාම මේ හිතේ ඔයා හිටියා.
වගීෂා ඇහුවා ඔයාට මං ගැන කියන්නද කියලා. ඒත් ඔයාව ඇස් දෙකට දැකලා මට ජීවිතේ ගැන ලෝභකමක් එයි කියලා බය හිතුනා. ඒත් හිතුවක්කාර වගීෂා ඒකට අකමැති උනා. එයාට ඕනිවුනා ඔයාට හැමදේම කියන්න. අන්තිමට මගෙ ආදරේ ගැන නොකියා කෙමිස්ට්රි ක්ලාස් එකේ යාළුවෙක් එහා වෝඩ් එකට ඇඩ්මිට් වෙලා ඉන්නවා කියලා කියන්න කියලා මං වගීෂාට කිව්වා.
බදාදා , හරියටම උදේ දහයයි ඔයා මාව බලන්න එද්දි. ඉස්සර විදියමයි. චුට්ටක් මහත් වෙලා. ඒත් ඇස් දෙක අමුතුයි ඔයාගේ. ආදරයෙන් පිරුනු ඇස් දෙකක්. කා වෙනුවෙන්ද . මං කල්පනා කලා. එදයින් පස්සේ හැමදාම ඔයා මාව බලන්න ආවා. ඔයා මට අනුකම්පා කරනවද. මං එහෙමත් හිතුවා. දවසක් ඔයා මං ළඟට ආවා. සතියකට විතර ගෙදර ගිහින් එන්න කැමතිද ඇහුවා.
“පිළිකාවක දරුනු මට්ටමේ ඉන්න මම කොහොමද තනියම ගෙදර ඉන්නේ. “මං එහෙම කිව්වම ඔයා හිනාවෙලා එතනින් ගියා. දවල් මාව ඩිස්චාර්ජ් කලා. මාව එක්කන් යන්න නිවාඩු ගිහින් හිටපු වගීෂා එයාගෙ හස්බන්ඩ් එක්ක ඇවිත් හිටියා. හැමදාම මාව බලාගත්තෙ මගෙ යාළුවා.
” මේ කොහෙද යන්නේ ” මං පුදුමෙන් ඇහුවම වගීෂා කිව්වේ ගියාම බලමුකෝ කියලා. අපි ඇවිත් තිබුනේ ඔයාගෙ ගෙදර. ඔයාගෙ අම්මා මහ පුදුම කෙනෙක්. එයාගෙ ආදරේ විඳින්න ලැබුන එක මගෙ පෙර පිනක්. ඒ අම්මා කොච්චර කරුනාවන්තද.
එක හවසක ඔයා මාව බීච් එක්කන් ගියා. අවුරුදු දහයක් තිස්සේ ඔයාගෙන් කවදාහරි අහන්න බලාපොරොත්තුවෙන් හිටපු වචන තුන ඔයා කියද්දී මට සතුටු වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි වුනා. මං වගේම ඔයත් කෙමිස්ට්රි ක්ලාස් එකෙ ඉන්න කාලෙ ඉඳන්ම මට කැමැත්තෙන් ඉඳලා. මං වගේම හැමදේම හිතේ හංඟන් ඉඳලා. මුලින් මං කිසි දෙයක් විශ්වාස කලේ නෑ. ඒත් ඔයා අතේ ගුලි කරන් හිටපු මගේ නම ගහපු දම් පාට ලේන්සුව පෙන්නද්දි ,
” මේක කොහෙන්ද ඔයාට ?”
” ඉන්ටවල් එකේදී ටැප් එක ලඟ ඔයා ඕක වට්ටලා ගිහින් තිබ්බා. මං ඒක කාටවත් නොපෙනෙන්න ගන්න කාපු කට්ටක් ” කියලා ඔයා හයියෙන් හිනාවෙද්දි කොච්චර ලෝභ හිතුනද මට. මේ ආදරේ විඳින්න බැරි එකට මං මටම වෛර කලා.
සතිය පුරාවටම මගෙන් ඔයා කිසිදෙයක් ඇහුවේ නෑ. අඩුම මං ආදරේද කියලවත්, ඒත් අඩු නැතිව අවුරුදු ගානක ආදරේ මං සතියෙන් විඳගත්තා.
හ්ම්ම්ම්ම්ම්ම්ම් දැන් මට මහන්සියි. හොඳටම මහන්සියි. හෙට මං ආපහු හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න ඕනි. ඩොක්ටර් තිසල් විජේසිංහ, මං දන්නවා මං ආයෙමත් හොස්පිට්ල් එකෙන් පනපිටින් එන්නේ නෑ කියලා. කටින් කියන්න ඕනි වුන මේ හැමදේම අකුරු කලාට මට සමාවෙන්න මගෙ තිසල් පුනීලෙ. හිනාගියා නේහ්. මතකද ඉස්සර යාළුවෝ ඔයාට විහිළු කලේ එහෙම.
සංසාරේ කවදාහරි ආයෙමත් හම්බෙමු. එදාට ආදරේ කෙලින්ම කලින්ම කියමු. හැමදාම ඔයාගෙම නිම්නා.
…………………………………………………………………………
ලියුම දෙකට තුනට නමා ඕර්ගනික් ටියුට් එක අස්සට දැමූ තිසල් ,
” ඇයි වගීෂා මට මේක කලින් දුන්නැත්තේ. “
” සොරි තිසල්, ඒක නිම්නගේ ඉල්ලීමක්. එයාට ඕනිවුනේ එයා නැති දවසක මේක ඔයා කියවනවට. එයා මේක නොලිව්වත් එයාගෙ හිතේ ඔයා ගැන තිබ්බ ආදරේ ඔයාට දැනිලා තිබුනේ කියලා “
” හ්ම්ම්ම්ම් “
” පුතා, තිසල් “
” ඕ අම්මා “
” ඉක්මනට එන්න. හාමුදුරුවරු වඩිනවා. එන්න දුව යං “
” හරි ආන්ටි “
අම්මාත්, වගීෂාත් කාමරෙන් පිටව ගියපසු , තවත් මොහොතක් නිම්නා රැඳී හුන් කාමරේ සිට ඇයගේ සුවඳ විඳගත් තිසල් කාමරෙන් පිටවුනේ නිම්නාගේ හත්දවසේ දානයේ වැඩ කටයුතු සඳහායි.
නිමි.
උපුටා ගැනීම: බුද්ධි ජයවීර