සේකර මාමා කියන්නේ වීරියවන්ත ගොවි මහතෙක්. උදේට කුඹුරට බැස්සම ආයේ හවහා තමයි ගොඩට එන්නේ. ගොඩට ගියාමත් එහෙමයි. ඉරිඟු කරල් දත් විරිස්සලයි හිනාවෙන්නේ.
එක කාලෙකදී සේකර මාමට ඕසෙට හෙනහුරා ලැබුවා.
සෙනසුරු දෙයියෝ කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි නේ. තරහ උනාම හරි නපුරුයි.
විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැව්වා කියලනේ කියන්නේ .
ඒ කතාව වෙන දවසක කියන්නම්.
මේ සේකර මාමා වීරියවන්ත මනුස්සයෙක් වුණාට හිත හයිය නෑ. ලපැටියෙක් වගෙයි.
හෙනහුරාගෙන් ලබල තියෙන අපල ගැන උන්දැ බොහොම විස්සෝප වෙලා කල්පනා කර කර හිටියා.
එතනා නැන්දා කියන්නේ සේකර මාමගෙ බිරිඳ. උන්දැ හරි කට්ට ගෑනි.
වෙල්ලස්සේ මහ දිසාපති තුමාගේ කණ අස්සෙන් වුණත් රිංගලා එළියට එයි.
සේකර මාමා බර කල්පනාවක ඉන්නව දැක්ක එතනා නැන්දා ඇහුවා මොකද වෙලා තියෙන්නෙ කියලා.
හෙනහුරු දෙයියො මාත් එක්ක තරහා වෙලා බං.
උන්දැගෙන් අරියාදු හරියට. හේන කුඹුරු ඔක්කොම පාලු වෙලා. මෙදා කන්නෙ කැද ඩිංගිත්තක් වත් බොන්න තියෙයි ද දන්නෑ..
ආං බලාපං වැස්ස නැති නිසා වතුර බිංදුවක් නෑ කුඹුරට. මොකද මං කරන්නෙ කියපන්කො.
ඉතින් රවට්ටපං දෙයියන්ව.
එතනා නැන්දා උපදේසයක් දුන්නා.
විෂ්ණු දෙයියන්ටත් බැරිවෙච්ච එකේ මට පුළුවන් වෙයිද බං..
දැන් මේ වෙලාවෙ දෙයියෝ උඹට තරමට ඉඩෝරයක් නෙව හදලා තියෙන්නේ.
දැන් මේ අව් කාෂ්ඨකේ උඹ ගිහින් කැලෑවේ හේනක් කොටන්න පටන් ගනිං. මේ හොඳ කාලේ කැලේ කපලා ගිනි තියන්න.
ඒක ඉස්මුදුනින් පිළිගත්ත සේකර මාම කැලේට ගිහින් කැලේ කපලා හේන ගිනි තියන්ඩ ලෑස්ති උනා.
හෙනහුරු දෙයියො මේක දැක්කා. උන්දැත් අතඅරින්නේ නෑ .මහා වැස්සක් එවලා ගින්න නිව්වා.
සේකර මාමට දුකේ බෑ. ගෙදර ගිහින් නැන්දාට දෙයියො කරපු දේ කිව්වා.
ඉතින් වැස්ස තියනවනම් ගිහින් අර පුරන් වෙච්ච කුඹුරු කොටපං.
නැන්දා සේකර මාමට කිව්වා.
මාමට වැඩේ තේරුණා.
මාමා ගිහින් කුඹුරු කෙටුවා.
මාමා ජයට කුඹුරු කොටනවා දැක්ක සෙනසුරු දෙයියො වැස්ස නවත්තලා අව්ව එව්වා.
අව්ව එනකොට සේකර මාමා ඉක්මනට ගිහිල්ලා හේන ගිනි තියාගත්තා.
ඒක දැකපු හෙනහුරු දෙයියෝ ආයෙ වැස්ස එව්වා.
මාමා ඉක්මනට ගිහිල්ලා කුඹුර වැපුරුවා.
දෙයියො වැස්ස නැවැත්තුවා.
සේකර මාමා හේනෙ ධාන්‍ය වර්ග වැපිරුවා.
ඒ ගමන දෙයියෝ වැස්සේ එව්ව වා.
මෙහෙම දෙයියොයි සේකර මාමයි මාරුවෙන් මාරුවට තමන්ගේ රාජකාරි කලා.
අන්තිමේදී බලනකොට දෙයියො දන්නැතුව හේනත් සරුවට වැවිලා. කුඹුරත් සරුවට වැවිලා.
එතන නැන්දා තමන්ගේ කපටි මොලෙන් සෙනසුරු දෙයියෝත් පැරැද්දුවා කියලයි ගමේ කට්ටිය කියන්නේ.
උපුටා ගැනීම: Saliya Ratnayaka