හැඳිමිටේ දිග – සුදුළුණු සහ සුදුළුණු මාළුව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අරාබියේ ඉන්නා කාලයේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් සහ බංගලාදේශයෙන් පැමිණි අය සමඟ හිතවත් වන්නට හැකි විය. දහවල් ආහාර ගන්නා වෙලාවේ ඔවුන්ගේ බත් පතට එබිකම් කර බැලීම සිරිතක් සේ කලෙමි. ඒ නිසාමදෝ අප එකිනෙකාගේ ආහාර බෙදා හදා ගෙන කෑමට පුරුදු වුනෙමු. දිනක් මා ගෙනගිය කෑම වල සුදු ළුණු මාළුව තිබිණි.
මා සමඟ එදා සිටියේ ඉන්දියානු මිතුරා පමණි. ඔහු ඉන්දියාවේ කේරල දේශයෙන් පැමිණියෙක් විය. මා ඔහුට සුදුළුණු මාලුවෙන් ටිකක් ගන්නා සේ කියූ විට ඔහු, … “ඒ මොනවාද? යයි ඇසුවේය.
ඔහු සුදු ළුණු යයි නොදැන ඇසුවා නොව, ඔහුට ඒ මොනවාද යන්න එදා පටලැවුනු බව පසුව තේරුම් ගත්තෙමි. එකවිට සුදුළුණු සමූහයක් ඇති හොද්දක් ඔහු දැක තිබුනේ නැත. සුදුළුණු යයි කියූ පසු ඔහු පස්සට පැන,… “ඕවා ඔය තරම් කන්න එපා !.. ඕවා වහ !! සේ කියා, … “අපි නම් ඕවයින් එක බිකක්, කෑලි කීපයකට කපලා එක හොද්දකට දාන්නේ” … “යකෝ බොලා වහ නේ කන්නේ !… යයි කියා කීවේය.
ඊයේ සුදුළුණු ගෙඩියක් ගන්නට රුපියල් විස්සක් වියදම් කල බව කියන දුක්බර යයි කියන පුවතක් රූපවාහිනී නාලිකාවක ප්රචාරය වී තිබීම සහ, ඒ ගැන ඇති වූ විවාදයක් මේ කතාව ලියන්නට මුල් විය. ලිපියේ අවසානයට කියන සුදු ළුණු මාළුව හදන්නේ නැත්නම්, හොද්දකට වැය වන්නේ සුදුළුණු බික් කිහිපයක් පමණි. එනම් “පෙට්ටියෙන් පිට” සිතන්නට හැකි ඕනෑම කෙනෙක්ට කුඩා පෝච්චියක සුදුළුණු පැළ කීපයක් වගා කරගත හැක.
මේ කෝවිඩ් වසංගත සමයේ ගහක් කොලක් නැති අරාබි රටක හිරැවී ඇති මා හට එය කරන්නට හැකි නම්, ලංකාවේ කෙනෙක්ට එය කල නොහැකි යයි විශ්වාස කල නොහැක. ලංකාවේ බොහෝ අය කම්මැලිකමට හෝ මෝඩ කමට අවබෝධයකින් තොරව, නැති මනස්ගාත වලින් සහ නැති කරදර වලින් ඔලුව පුරවා ගනිති. අන්තිමට පවතින ආණ්ඩුවක් පළිය. මෙය ආණ්ඩුවක් හරිය කීමක් නොවේ. හැම රෙද්දටම ආණ්ඩු පළි නැත.
ලෝකයේ සුදුළුණු කතාවල් කීපයක් මෙසේ විය.
ප්ලිනි පවසන පරිදි, දෙවියන් ඉදිරිපස දිවුරුම් දීමේ දී ඊජිප්තුවරුන් විසින් සුදුළූණු සහ ළූණු දෙවිවරුන්ට ඔප්පු කරන ලදී. පහළ ඊජිප්තුවේ [Lower Egypt] පෙලුසියම්හි වැසියන් සුදුළුණු වන්දනාමාන කළහ. ඊජිප්තු වහලුන්ට දිනපතා සුදුළූණු සලාකයක් ලබා දෙන ලදී. මන්දයත් රෝගාබාධවලින් මිදීමට සහ ශක්තිය හා විඳ දරාගැනීම වැඩි කිරීමට විශ්වාස කරන බැවිනි.
පුරාණ ඊජිප්තු වාර්තාවල දැක්වෙන පරිදි පිරමීඩ සාදන්නන්ට ඔවුන්ගේ සොච්චම් ආහාර සලාකය ලෙස බියර්, පැතලි පාන්, අමු සුදුළූණු සහ ළූණු ලබා දෙන ලදී. පිරමිඩ නිම නොකර ඉතිරි කරන බවට තර්ජනය කිරීමෙන් පසුව ඔවුන්ට සුදුළූණු වැඩි ප්රමාණයක් ලබා දෙන ලදී. චියොප්ස් පිරමිඩ සාදන්නන්ට සුදුළූණු සැපයීම සඳහා පාරාවෝට, අද ඩොලර් මිලියන 2 කට සමාන මුදලක් වැය විය.
සුදුළුණු එකලද මිලෙන් අධික ආහාරයක් විය. “ටුට් රජුගේ” පාලන සමයේදී සුදුළූණු රාත්තල් පහළොවක් දී නිරෝගී පිරිමි දාසයෙකු මිල දී ගැනීමට හැකි විය.
ඇත්ත වශයෙන්ම, ටුට් රජුගේ සොහොන කැණීමේදී, සුදුළූණු බල්බ කාමර පුරා විසිරී තිබී ඇත. මෝසෙස් හෙබ්රෙව් වහලුන්ව ඊජිප්තුවෙන් පිටතට රතු මුහුද හරහා සහ කාන්තාර අතරින් ගෙන ගිය විට (ක්රි.පූ. 1,200 දී පමණ), මාළු, පිපිඥඥා, කොමඩු, ලීක්ස්, ළූණු සහ සුදුළූණු වැනි ජීවිතයේ හොඳම දේ අනුභව කරන්නට නොහැකි වූ බවට ඔවුහු පැමිණිලි කළහ.
පුරාණ කොරියානුවන් කඳුකර මාර්ගයක් පසුකර යාමට පෙර අච්චාරු දමන ලද සුදුළූණු අනුභව කළහ. කොටින් ඒ සුවඳට අකමැති බව ඔවුන් විශ්වාස කළහ. ඉස්ලාමික ලියවිලිවල, දෙවියන් විසින් ඒඩන් උයනෙන් එළවා දැමූ යක්ෂයාගේ පාද විස්තර කරන විට සාතන් හෙවත් යක්ෂයා සමඟ ළූණු සමාන කරයි. ඔහුගේ වම් පාදය පොළොව ස්පර්ශ වූ තැන සුදුළූණු පැතිරී ගිය අතර, රතුළූණු ඔහුගේ දකුණු පාදය ගැටුණු පොළවෙන් මතු විය.
වෙලාවට යකා පහළට වැඩියේය. නැත්නම් හොදි කා හමාරය.
පලස්තීන සම්ප්රදායට අනුව, මනාලයා තම බොත්තම් කුහරය තුළ සුදුළූනු බිකක් පැළඳ සිටී නම්, ඔහුට සාර්ථක විවාහ රාත්රියක් සහතික කෙරේ. සමහරවිට මනමාලි සුදුළුණු ගඳට කලන්තේ දාන නිසා වෙන්නට පුළුවන. ආයුර්වේද වෛද්යවරුන් අතර සුදුළූණු කෘමිනාශකයක් ලෙස සලකනු ලබන අතර ශුක්ර තරලය වැඩි කිරීමේ හැකියාව ඇත.
පුරාණ ග්රීකයන් විසින් හරස් මාර්ගවල ගල් ගොඩවල් මත සුදුළූණු තැන්පත් කරන ලදි, ඒ, “හෙකට්” යන වනගත ප්රදේශ අධිපති දිව්යාංගනාව සඳහා රාත්රී භෝජන සංග්රහයක් ලෙස විය. ඊට හිලව්වට, ඒ පාළුකරයේ දේවතාවිය දරු උපතේ දී සහ භූතයන්ගෙන් ඔවුන් ආරක්ෂා කළහ. සුදුළූණු, නපුරු ආත්මයන් යන ගමන් මඟ අවුල් කර ඔවුන් එහෙ මෙහෙ විසුරුවා හැරියහ.
ග්රීක ක්රීඩක ක්රීඩිකාවන් තරඟයට පෙර සුදුළූණු විශාල ප්රමාණයක් ගන්නා අතර ග්රීක සොල්දාදුවන් යුද්ධයට යාමට පෙර සුදුළූණු පරිභෝජනය කරනු ඇත. ග්රීක වින්නඹු මාතාවන් සුදුලූනු උපත් කාමරවල එල්ලා තැබීම සිරිතක් විය. සියවස් ගණනාවක් ගෙවී යත්ම, මෙම පුරාණ චාරිත්රය බොහෝ යුරෝපීය නිවාසවල සුලභ විය.
රෝමානු සොල්දාදුවන් සුදුලූනු අනුභව කළේ ඔවුන්ට ආස්වාදයක් හා ධෛර්යයක් ලබා දීමට ය. රෝමානු ජෙනරාල්වරු සුදුලූනු තම හමුදාවට ධෛර්යය ලබා දුන් බව විශ්වාස කළ නිසා, ඔවුන් ජයගත් රටවල සුදුළූණු කෙත්වල රෝපණය කළහ.
යුරෝපීය ජනප්රවාද සුදුළූණු වලට “නපුරු ඇස” වළක්වා ගැනීමේ හැකියාව ලබා දෙයි. මධ්යම යුරෝපීය ජන විශ්වාසයන් සුදුළූණු යක්ෂයින්ට හා වැම්පයර්වරුන්ට එරෙහිව බලවත් විරෝධයක් ලෙස සැලකීය. වැම්පයර්වරුන්ව වළක්වා ගැනීම සඳහා සුදුළූණු කෙනෙකුගේ ඇඳුම මත පැළඳිය හැකිය, ජනේලවල එල්ලා ගත හැකිය, නැතහොත් චිමිනි සහ යතුරු මත ආලේප කළ හැකිය.
මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇති වන රෝග “වැම්පයර්ගේ ස්පර්ශය” ලෙස සැලකූ විට සුදුළූණු මදුරු විකර්ෂකයක් ලෙස ප්රයෝජනවත් විය.
… “නිවසේ සුදුළූණු” ඇති බව සිහින දැකීම වාසනාවන්තයි; සුදුළූණු ආහාරයට ගැනීම ගැන සිහින දැකීම යනු ඔබ සැඟවුණු රහස් සොයා ගනු ඇත. මෙය නම් පට්ට බින්නයකි. රෝදයක් පුපුරා, වාහනය පාරෙන් පිට පැන සිදුවූ අනතුරෙන් මගේ අත කැඩුනේ ඔන්න ඔය සිහිනය දැකීමෙන් පසුය.
දැන් හොද්ද හදන හැටි කියමි. මෙය දවසේ පැය 24ම කුස්සියේ ඉන්නා ගෘහිණියන්ට නොවේ. යාන්තම් ජීවත් වන්නට උයන්න දන්නා මා වැනි අයට පමණි.
අඩුවැඩිය පින්තුරයේ ඇත. කෙටියෙන් කිවහොත් සුද්ධ කරන ලද එක තරමේ සුදුළුණු, [නැතිනම් එක එක ආකාරයට ඒවා තැම්බේ.] කහ ස්වල්පයක්, තුනපහ සාමාන්ය සහ බැදපු දෙවර්ගයම එක හා සමානව, [තුනපහ වලට කළුතර ප්රදේශයේ කියන්නේ “පහේ” කියාය. කොත්මලේ පැත්තේ කියන්නේ “පන්නේ” කියාය. මොකක් කීවද, ඔක්කොම එකමය. ගැහැණු වැනිය. පොඩි පොඩි වෙනස්කම් පමණක් ඇත. ],
ඊළඟට ලුනු ස්වල්පයක්, අව් මිරිස්, රතු ළුණු, කරපිංචා, මිරිස් කුඩු ඇති තරම්, කුරුඳු ස්වල්පයක් සහ ඔලිව් තෙල් හෝ පොල් තෙල් සහ පොල් කිරි ටිකක් කිට්ටු කරගන්න.
දැන් මැටි හට්ටියක තෙල් දමා නටවාගෙන ඒ පදම ටෙස්ට් කිරීමට අබ ඇට කීපයක් දමන්න. ඒවා පිපිරෙන තරම් තෙල් රත්වන විට ඊට කුඩා කෑලි වලට කපා ගත් රතුළුණු සහ සුදුළුණු බික් කීපයක් මලවා ගන්න. ඒවා රන් පැහැ වනවිට කෙමෙන් අනෙක් දේවල් එකතු කරන්න. අවසානයට සුදුළුණු බික් දමන්න. ඊළඟට ඒවා සියල්ල හොඳින් හැඳි ගා පදමට එනවිට පොල් කිරි ටික එකතු කර හොද්දක් වන තරමට සකස් කරන්න.
දැන් සුදුළුණු ගෙඩි, තව දුරටත් ඒ හැඩය නැතිවන තරමට මෘදු වෙන නොවන තරමට එන විට ලිප නිවන්න. මෙය සෑහෙන බොරට හදා ගත් විට, බුරියානි සඳහාද යෝග්ය ආහාරයකි.
පැරණි වේල්ස් කියමනක් අනුව සෞඛ්ය පිළියමක් ඇත. එනම්, …. “මාර්තු මාසයේ ලීක්ස් සහ අප්රියෙල් මාසයේදී සුදුළූණු අනුභව කරන්න, එවිට අවුරුද්දේ ඉතිරි කාලය ඔබේ වෛද්යවරයාගෙන් ඉවත්ව සිටිය හැක” ….
උපුටා ගැනීම: Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!