හංසිකා බත් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සඳා ට අසනීප නිසා වේලාසනම ඇඳට ගියා නිදාගන්න. මම දරුවගේ ඉස්කෝලේ ඇඳුම් අයන් කරලා කුස්සියේ වැඩ ටිකත් ඉවර කරලා දාලයි ඇදට ආවේ. මං ඇඳට එද්දිත් සඳා නිදිත් නෑ දරුවා නිදිත් නෑ. ඇදට ඇවිල්ලා හාන්සි වුනා විතරයි
“හෙට ඉස්කෝලේ ශ්රම දානේට දෙමව්පියන්ගේ එක්කෙනෙක් එක්කන් එන්න කිවුවා”
දරුවා ඔහම කියද්දි මට ආවේ කේන්තියක්. මොකද එකපාරටම නිවාඩුවක් ගන්න එක ගලෙන් පොත්තක් ගන්නවා වගේ අපේ ඔෆිස් එකෙන්. ඉස්කෝලෙන් කලින්ම ඒ ගැන දෙමව්පියන්ට කියන්න කියලා තිබුණට දරුවට ඒක අමතක වෙලා ගිහින්. එදා රෑ නිදාගත්තේ උදේට ඔෆිස් එකට කියන බොරුව මොකක්ද කියලා හිතන ගමන්..
පහුවදා කොහම හරි නිවාඩුවක් දාගෙන දරුවත් එක්කම උදේ ඉස්කෝලේට ගියා. දරුවා යන්නෙත් මං ඉස්කෝලේ ගිය ගමේ ඉස්කෝලේට නිසා මට ඉස්කෝලේ නුහුරු ගතියක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු ගානකින් මම ඉස්කෝලේ ඇතුලට ගිහින් තිබුණේ නැහැ. හැමදාම වගේ දරුවව උදේට ඉස්කෝලේ අරගෙන ආවට ඒ ආවේ ගේට්ටුව ලඟට විතරයි.මේ ගමන වුනත් මට එන්න වුනෙ සඳාට අසනීප නිසයි නැත්තම් ඉස්කෝලේ හැම දේකටම වගේ සඳා තමයි ආවගියේ.
අපේ ඉස්කෝලේ තිබුණේ ගස්කොලන් ටිකක් වැඩිපුර තියෙන තැනක. අපිට පිට්ටනියක් කියලා මහ ලොකු එකක් තිබුණෙත් නැහැ. ඉස්කෝලේ ළමයින්ට උදේ රැස්වීම තියන්න පුලුවන් ප්රමාණයක වගේ පිට්ටනියක් තිබුණේ. ගස්කොලන් වැඩි නිසා ඉස්කෝලේ ඉක්මනට හැදි වුනා අපි ඉන්න කාලේ ඉඳලම. කොහමත් ඒ කාලේ ඉඳලම මේ ශ්රමදාන වැඩේ වැඩිපුර තිබුණු එකක් අපේ ඉස්කෝලේ.
උදේ රැස්වීම ඉවර වෙලා ළමයි පංතිවලට ගියාට පස්සේ අපි වැඩ පටන් ගත්තා. එක කොනක ඉඳලා සුද්ද කරන්න පටන් ගත්තේ අද ඉවර කරන්න බැරි නිසයි. ආයෙත් වෙන පංතියක අම්මලා ඇවිත් අද ඉවර වෙන තැනින් පටන් ගනියි කියලා හිතලා. මමයි තව දරුවෙක්ගේ තාත්තා කෙනෙකුයි පෝර උර දෙකක් ගත්තේ ඉස්කෝලේ ම තියෙන පොළිතින් කුණු එකතු කරන්න හිතාගෙන. ඒක අයිස් වැඩක් වුනාට මුළු ඉස්කෝලේ ම පොළිතින් කුණු එකතුකරන එක ලේසී නෑ කියලා දැන දැනයි ඒක බාරගත්තෙ.
අපි දෙන්නත් එක කොනකින් පටන් ගත්තා පොළිතින් කුණු එකතු කරන්න. අඩියෙන් අඩිය පෝර උරේ පොළිතින් කුණු වළින් පිරෙද්දි මතක දළුලන්න පටන් ගත්තා මීට අවුරුදු ගානකට කළින් දැං වර්තමානයට යට වෙලා තියෙන මගේ අතීතයේ.
අපි දෙන්නා පංති කාමරවල පිටිපස්ස පැත්තේ වැඩිපුර ගියේ ඉස්කෝලේ පංති කාමරවල බාගයක් ග්රිල් ගහලා නිසා ළමයි කුණු දාන්නේ ඔය ග්රිල් වළින් පංතියේ පිටිපස්ස පැත්තට බව මාත් අත්දැකීමෙන් ම දන්න නිසයි. ඉස්කෝලේ පංතිකාමර ඇතුලේ, ඉස්සරහ පැත්ත එහෙම තීන්ත ගාලා තිබුණට පිටිපස්ස ඉස්සර තිබුණු විදියටමයි තිබුණේ. ඔහම දෙන්නා ඇවිදගෙන යද්දි මාව එක තැනකදි නිසොල්මන් වුනේ මීට අවුරුදු ගානකට කලින් මම කවකට්ටකින් බිත්තියේ සිමෙන්තිය හාරලා මගේ නමත් එක්ක එකතු කිරීමේ ළකුණ දාලා “හංසිකා” කියලා ලියලා තිබුණු එක දැකලා. ඒක මටත් අහඹුවක්. ප්රථම ප්රේමයේ ඉතිහාසය ම මතක් කරන්න පුලුවන් එකම මතක සටහනක් ඒක. මම ඒකේ ෆොටෝ එකක් ගත්තා ෆෝන් එකෙන් ඒ වෙලාවේම. මම පෝර උරේට පොළිතින් කුණු එකතු කරාට වඩා තැනින් තැන රැදිලා තිබුණු මගේ මතක එකතුකර ගත්තා. ශ්රමදාන වැඩ දොළහ වෙද්දි ඉවර කරේ අපේ දරුවන්ගේ පංතිය ඉවර වෙන වෙලාව අල්ලලා නිසා මාත් දරුවා එක්කම ගෙදර එන්න ආවා.
ගෙදර යන ගමන් හිත හිතා ගියේ සඳා උයලනම් හොඳයි කියලා හොඳටම බඩගින්නෙ ඉන්න නිසා. ඒත් සඳාට අසනීප නිසා විශ්වාසක් තිබුණේ නැහැ සඳා උයයි කියලා. කොහම හරි ගෙට ගොඩ වෙද්දිම තේරුනා සඳා උයලා නෑ කියලා ගෙ අස්පස් කරලා නැති නිසා. සඳා කියාගෙන මං කාමරේට යද්දිත් සඳා කෙඳිරි ගානවා. ඇඟට අත තියද්දිම තේරුනා උන වැඩි වෙලා කියලා.
“සඳා ආයෙත් බෙහෙත් ගන්න යමු ඔය තියෙන බෙහෙත් වලට අඩු නෑනේ”
“ඔව්! යමු ඔයා එනකම් හිටියේ. දරුවත් එක්ක කාලා ඉන්න”
“සඳා මේ බැරි මරගාතේ තමුසේ උයන්න ගියේ ඇයි”
“මං ඉව්වේ නෑ! අද හංසිකාගේ අවුරුදු දොළහෙ දානේ කියලා එහෙන් දානේ බත් එවලා තිබුණා”
“හ්ම්ම්ම්…..”
උපුටා ගැනීම:    pubudu udatiyawala 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!