හනුමා වන්නම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක ඒලෙවල් කාලේ වෙච්ච සිද්දියක්. හැබයි මගේ කිසිම සම්බන්ධයක් නෑ.
ඔන්න ඉතිං ඕලෙවල්වල සුපිරි රිසාල්ට්ස් දාලා වැඩ්ඩො වගේ අපි ගියා ඒලෙවල්වලට මැත්ස් කරන්ඩ. සාමාන්යයෙන් අපේ ඉස්කෝලේ ඒලෙවල් සයන්ස් මැත්ස් කරන ප්රතිශතය අඩු නිසා අපිට වෙනම පංති කාමර නෑ. ලැබ් එක තමයි අපේ පංති කාමරේ උනෙත්. බයෝ එවුන් ෆිසික්ස් ලැබ් එකෙත්, මත්ස් එවුන් කෙමිස්ට්රි ලැබ් එකෙත් ස්ථාන ගත කෙරුනා.
කෙමිස්ට්රි ලැබ් එක පට්ට ආතල්. ඕලෙවල් කාලේ ලාවට අත පත ගාපු බීකර, ටෙස්ට් ටියුබ්, තිසල පුනීල කෙමිස්ට්රි ලැබ් එකේ ඕසෙට. එව්වත් නිකං හූණු බිජු සයිස් නෙමෙයි, ඔලුව ඇතුලට දාන්ඩ පුලුවන් සයිස් එකේ එව්වා.
ලැබ් එක තිබුණේ තට්ටු දෙකේ බිල්ඩිමට උඩ තට්ටුවේ. පංතිවලට කියලා වෙනම දොරවල් නෑ. පඩිපෙලෙන් උඩට නැගලා වම් පැත්තට තියන කොරිඩෝ දිගේ යන්ඩ ඕනේ. ඉස්සෙල්ලම කොටස කෙමිස්ට්රි ලැබ් එක. ඊට පස්සෙ කොටස ෆිසික්ස් ලැබ් එක. ඊට එහායින් ත්ව පංති කාමර දෙකක් තිබ්බා ඒවා සීනියර් බැජ් එකේ එවුන්ගේ පංති. ඔය කොරිඩෝවෙම ගුරු මේස දෙකක් දාලා ටීචර්ලට රෙස්ටිං ඒරියා එක විදියට තිබ්බා. අපේ පංතිවල ගුරු මේසේ තියෙන්නේ ඔය කියන කොරිඩෝවට ප්රතිවිරුද්ද පැත්තේ. ඒක නිසා ටීච කලු ලෑල්ලේ මොනවා හරි ලියන වෙලාවට පිටිපස්සේ පේලිවල එවුන්ට පංතියෙන් එලියට යන එක බොහොම ලේසි වැඩක්. ගුරු මේසේ තියන පැත්තේ ජනෙල් ටික ඇරෙන්නේ බාස්කට් බෝල් කෝට් එකට. ඔය ජනෙල්වලට ග්රිල් දාලා නෑ. ඒක නිසා බොකොම ලේසියේන් ඕකනින් එලියට ඇගෙන් බාගයක් විතර දාන්ඩ පුලුවන්. මං වගේ ඇඹිටිල්ලං ඇටයෙකුට එලියටම පනින්ඩ පුලුවන්. පැන්නොත් කෙලින්ම උඩ තට්ටුවේ ඉදං බිමට නිසා එකෙක්වත් පැන්නේ නං නෑ. මේ හෑල්ල කිව්වේ කතාව තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ.
ලොකු කමකට කියනවා නෙමෙයි (ලොකු කමට තමා යකෝ කියන්නේ) අපේ ඉස්කෝලේ ග්රවුන්ඩ් එක තමයි බස්නාහිර පලාතේ තිබ්බ ලොකුම පාසල් ක්රීඩා පිටිය. ඒක නිසා ඔය කොට්ටාස කලාප තරග කාලෙට වටේ පිටේ ඉස්කෝලවල කොල්ලෝ කෙල්ලෝ අපේ ඉස්කෝලේ තමයි පදිංචිය. ඒ කාලෙට අපිට පිට්ටනිය තහනං. මොකද අපේ ඉස්කෝලේ කොල්ලො විතරයි නිසා, පිට ඉස්කෝලවලින් එන කෙල්ලංගෙන් අපිව බේර ගන්ඩ. ඉතිං ඔහොම පිට ඉස්කෝලවලිං එන කෙල්ලෝ රෙස්ට් කරන්ඩ, ඇදුම් මාරු කරන්ඩ සහ උන්ගේ පුද්ගලික අවශ්යතා සපුරගන්ඩ පාවිච්චි කරන්නේ බාස්කට් බෝල් කෝට් එක. වටෙන්ම කවර් වෙලා තිබුන නිසාත්, ඇතුලේ වෙනම වොශ් රූම් තිබුන නිසාත් ඒක වැඩෙට හොදට ගැලපුනා.
මේ කියන සිද්දිය වෙන්නේ ඔය වගේ පසුබිමක. කලාප මීට් එකකට ආපු කෙලි අම්මන්ඩිලා රොත්තක් ඉන්නවා දැං බාස්කට් බෝල් කෝට් එකේ පැවිලියන් එකේ. අර කලිං කියපු ජනේල් වලින් කෙලින්ම බැලුවම පේන්නේ බාස්කට් බෝල් කෝට් එකේ පැවිලියන් එක. ඕක ඉතිං සදයි තව තව ඒව ඒවයි මෝදු වෙලා නැගෙන කාලෙනේ. අපේ අයියලා ටික දැන් ජනෙල් ලගට වෙලා අර කෙල්ලන්ට කතාකරනවා, විසිල් ගහනවා, හූ කියනවා, උම්මා දෙනවා, වැඩ කෝටියයි. උං මහ අං ගිලපු අම්මන්ඩිලද කොහෙද එකියක් අපිව පඩේකට ගනන් ගත්තේ නෑ.
ඔය අතෙරේ අපේ පංතියේ ඉන්නවා සජියා කියලා එකෙක්. ඌ හෙන ගල් ඇම්ඩා. ඌ කරන්නේ මොකෙක්ව හරි මුට්ටියට පාවිච්චි කරන එක. ඉතිං මේකෙදිත් උගේ මුටිටිය විදියට ඌ තෝරගත්තේ “පුකා” හෙවත් “ගයියව”. මූ ගයියට කියනවා, “ගයියා ඕක හටියන්නේ නෑ. මෙහෙ වරෙංකෝ උඹට කරන්ඩ වැඩක් කියන්ඩ” කියලා ගයියව ඇදං ගියා පංතියේ පිටිපස්සට.
කලිනුත් කිව්වනේ කෙමිස්ට්රි ලැබ් එකේ තිබ්බා කියලා ඔලුව දාන්ඩන්පුලුවන් ජාතියේ අයිටම් සෙක් එකක්. මූ මෙයින් නෑබිලියක් වගේ එකක් ගයියගේ ඔලුවට දැම්මා. ඒක ඔලුවට දැම්මම උරහිස ගාවට වෙනකං කවර් වෙනවා. වීදුරුවලින් හදලා නිසා එලිය පේනවා. ඒටපස්සේ මුගේ අතට දුන්නා තඩු තිසල පුනීලයක්. ඒක නිකං කඩුවක්වගේ දිගයි. දැං මූ නිකං ආතර් රජ්ජුරුවන්ගේ නයිට්වරයෙන් වගේ. කිට් එක ගැහුවට පස්සේ ගයියට වැඩේ තේරුනා. මූ ගිහිං අර තිසල පුනීලේ ජනේලෙන් එලියට දාලා වන වන කෑ ගහ ගහ හනුමා වන්නම නටනවා. කෑ ගැහුවට සද්දේ එන්නෑ අර නෑබිලිය උරිස්ස ගාවටම තියන නිසා. ඌට හරියන්ඩ වටේ පිටේ එවුන් කෑ ගහනවා. ඔන්න පිංවතුනි වැඩේ පත්තු උනා. කෙල්ලෝ එකා දෙන්නා මේක දැකලා අතිං කට වහං හිනා වෙනවා. ටික වෙලාවක් යනකොට මුලු පැවිලියන් එකේම අවධානේ ගයියා දිහාවට. පොරට ඉතිං ඊට වැඩිය දෙයක් නෑ. යුද්දේ දින්න සෙන්පතියා වගේ මූ රංගනයේ ය. අනිත් එවුන් මූට හුරේ දානවාය. හුරේ එක වැඩි වෙද්දි මුගේ රැගිල්ල වැඩි වෙනවා ය. රැගිල්ල වැඩි වෙද්දි හුරේ එක වැඩි වෙනවාය. ඕඩියන්ස් එකෙ දැන් පැවිලියන් එකේ සිට පුකවල්ද පොලේ ගසමින් හිනා වෙනවාය. මේ සංසිද්ධිය ගුනෝත්තර ශ්රේණියක මෙන් සිදු වෙමින් පවතින මොහොතක, ග්රේණියේ අවසාන පදය තබන්නට සජියා ගිහිං කෙමිස්ට්රි ටීචව එක්කං ආවේය. ( ඔව් ඔව්, වැඩේ පෑලෑන් කරලා ගයියාව ෆෝම් කරලා යවපු එකාම තමයි ).
පංතියට එන්ඩ තියෙන්නේ පිටිපස්සෙන් නිසා එකෙක්වත් ටීචව දැක්කෙ නෑ. උං උංගේ ආතල් එක ගන්නවා. අරූ නෑබිලි අයිටම් එක ඔලුවේ දාං ඉන්නවා දැක්ක ගමන් ටීච මාරාවේස උනේ බටහිර කුමන්ත්රණයක් දැනගත්ත විමල් වීරවංශ වගේ. ඔන්න ටීච දැං ජාතිය අමතනවා. ඕක ඇහිච්ච ගමන් අපේ අයියලා ටික ගිහින් තම තමන්ගේ ආසනවල ආසන ගත උනා. සජියා ඔක්කොටම කලිං වාඩි වෙලා. අසරණ ගයියට ටීචගේ දේශනාව ඇහෙන්නෙ නැති නිසා ඌ දිගටම උගේ පාඩුවේ ප්රේක්ෂකාගාරය පිනවනවා. ඌ කොච්චර රංගනයට ආත්මයෙන්ම බැදුනද කියනවා නම්, ඌට හුරේ දාපු එවුන් එකෙක්වත් වටේ පිටේ නෑ කියලා ඌට මතක නෑ. ඇයි දෙයියනේ අර සුට්ටං අම්මන්ඩිලගේ මල් කැකුලු වගේ හිත් තලන්නේ කොහොමද නේද…?
දැං ගයියා උගේ රංගනයේ. ටීච පිටිපස්සට වෙලා අත් දෙකත් ඉනේ තියං බලං ඉන්නවා. අපි බොහොම අමාරුවෙන් හිනාව තද කරං ඉන්නවා. එහෙං මෙහෙං හිකිස් ගාලා හිනාවක් පනිනවා. ටික වෙලාවක් යනකොට පරිසරයේ තියන අසාමාන්ය නිහැඩියාව නිසා ගයියා හැරිලා බලනවා. කොල්ලට හික් ගෑවෙන්නෙ එතකොට. මූ ශේප් එකේ අංශක 180කින් හැරෙනවා. මුගේ අතේ තියන තිසල පුනීලේ ටීච දකින්නේ එතකොට. ඒ පාර හික් ගෑවෙන්නේ ටීචට. ඇයි යකෝ ටීචගේ භාරයේ තිබෙන රාජ්ය දේපලනේ. මොනවා හරි උනොත් ටීච එපැයි වග කියන්ඩ.
ටීච දැං මාරාවේස වෙලා අරූට අම්මා මෝ නැතුව බනිනවා. අරුත් අත පය දික් කර කර මොනවද ටීචට කියනවා. අර නෑබිලිය නිසා ඌ කියන ඒවා ටීචට ඇහෙන්නෙ නෑ. ටීච කියන ඒවා ඌට ඇගෙන්නෙ නෑ. අපිට හිනා වෙන්ඩ විදියක් නෑ. අන්තිමට ටීචම උගේ අතිං තිසල පුනීලෙයි ඔලුවෙන් නෑබිලියයි ගලවගෙන ඌට තව ටිකක් බැනලා යන්ඩ ගියා. ගයියා ගිහිං වාඩි උනා.
” උඹ මොනාද බං අරකත් ඔලුවේ නවාගෙන ටීචට කිව්වේ..?” සජියා කින්ඩියට වගේ ඇහුවා.
” තෝ ගෙරි බල්ලා, වල් පරයා, තෝ තමයි ඔක්කොම කරේ. කැ@ පො@#$ වේ@ හු@#$…..බ්ලා බ්ලා බ්ලා…” ගයියා සෑහෙන වෙලාවක් අපි දන්න සහ නොදන්න කුණුහරප රැසකින් සජියාට බැනගෙන බැනගෙන ගියා.
උපුටා ගැනීම: Tharaka Chathuranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!