නිර්මලාට ඕනෙ වුනා හරකෙක් නිදහස් කරන්න. ‘අනේ අපි හරකෙක් නිදහස් කරමුකෝ’ කිව්වා ලයාන්විතව. එහෙම තමා ගෑනු. තමන්ට මොනව හරි කර ගන්න ඕනෙ වුනාම ලයාන්විතයි. ඉතින් මම කිව්වා ‘ඒ කියන්නේ මට ඩිවෝස් එක දෙනවද?’ කියලා බොහොම බලාපොරොත්තු සහගතව. ‘විහිලු නෙවෙයි අනේ. මම හොයල බැලුව. හරක් මරන්න ගේන තැනක් තියනවා කොට්ටාවේ. එතනින් ගත හැකි හරකෙක්’ කිව්වා.
ඕනෙම හස්බන්ඩ් කෙනෙක්, වයිෆ් ගේන ඕනෙම ප්රොජෙක්ට් එකක් ගැන අහන ඕනෙම ප්රශ්නෙ මම ඇහුවා. ‘කීයක් යයිද?’ කියලා. මගෙ ප්රශ්නෙ ඇහුන් නෑ වගේ හරකෙක් නිදහස් කරන එකේ ආදීනව කියන්න ගත්තා නිර්මලා. අම්මපා මයික් එකක් දාලා පන්සලේ බන මඩුවේ කිව්වනන් ඕනෙම දේකට ලෝස් නැතුව සාදු කියන අපේ උපාසිකාවෝ මරහඬින් සාදු කියනවා ඔට්ටුයි! ඒ තරන් දුක හිතෙන විදියට ඒ විස්තරය කරා. ‘අප්පච්චි උන් අපිට උන්ගෙ ජීවිතේ පුරා කිරි දීලා අන්තිමට උන් මරන් කනවනේ මිනිස්සු’ කියන එක තමා කෙටියෙන් කිව්වොත් හරය. මන් ඉතින් පුරුදු පරිදි සාවදානව අහන් ඉඳලා ඇහුවා ‘කීයක් යයිද?’ කියලා. නැවතත් රවුම් දෙක තුනකට පස්සෙ කිව්වා ‘අම්මයි පැටියටයි හැත්තැ පහක් වෙනව කිව්වා. මම අඩු කර ගත්තා හැත්තෑවකට’ කියපි අපේ උන්දැ. යකෝ පිනක මිල! වැඩේ තියෙන්නෙ ඉතින් මේව ඉමෝෂනල් වැඩනේ. මාත් ඉතින් ‘හා’ කිව්වා.
ඔන්න දැන් අපි හරක් ගන්න යන දවස. මම නිවාඩුවට ලන්කාවට ගිය වෙලාවක මේ. ගියා කොට්ටාවට. ගියා තැනට. ‘හරි ෂර් අරකයි පැටියයි තමා ඉන්නවා’ කිව්ව විකුණන කෙනා. ගියේ කාර් එකේනේ. දැන් ඉතින් එලදෙණෙකුයි පැටියයි ඩිකියෙ දාන් එන්නයැ! විනාඩි තුනක් ගියෙ නෑ ‘අහම්බෙන්’ වගේ ලොරියක් ආවා එතනටම. කොහොමද උන්ගෙ බිස්නස් නෙට්වර්කින්. ඕන්න දැන් ලොරියෙ පටවන් අම්මයි පැටියයි අපි යනවා පානදුරේ මගේ හොඳ යාලුවෙක්ගේ පොල් වත්තකට. ඒකෙ ඉන්න අය තමා වැස්සියි පැටියයි බලා ගන්න යන්නේ. ඕන්න එතනට ගියා. අර ලොරියෙන් උන්ව බැස්සුවා විතරයි පැටියා අම්මා ලඟට ගිහින් කිරි උරාන උරාන ගියා. නිර්මලාගේ ඇහේ කඳුලු. ඇත්තෙන්ම සන්වේදී දෙයක් තමා ඒක.
ඊට පස්සේ අර ලොරි මල්ලි වැස්සිගෙ ලනුව මා අතට දුන්නා ‘හරි ෂර් ඒනන් අපි ගිහින් එන්නන්’ කියලා. මාත් ඉතින් ඉපදුන දවසෙ ඉඳන් හරක් බලපු කව් බෝය් එකෙක් වගේ ලනුව අල්ලන් වැස්සිට ‘දහ දහ’ කිව්වා. අම්මට උඩු! අර අගේට විනීතව හිටපු මේකි උඩ පැනල දුවන්න ගත්ත කියහන්කෝ! ලනුව අත අරින්නද, නැද්ද කියන ඉතාම තීරනාත්මක තීරණය ගන්න මොහතක් හිතන්න ගත්තා මම. අනේ ඉතින් වැස්සිට කකුල් හතරකුයි, හෝස් පවර් දෙකකුයි තියෙන්නෙ නිකන් නෙවෙයිනෙ ආයුබෝවන්. ඌ මාවත් ඇදන් දිව්ව යාර පහක් විතර. ‘ලනුව අත අරින්න සර්’ කියලා වත්තෙ මුරකරු ඉතාම කාරුණිකව කෑ ගැහුවා. එතකොට තමා ගොන් සුසන්තයාට මතක් වුනේ ඒ රෙද්ද අත අරින්න! ඒ වෙනකොට මම එතන තිබ්බ මඩ වලකට ජබ් ජබ් ගාලා වැටුන කියහන්කෝ. පෙරලුන් නෑ. ඒත් පත මඩය වගේ වලේ අඩිය තිබ්බ හින්ඳා මඩ නෑවා. සපත්තු වල ඉඳන් මූනටම මඩ! මොන රෙද්දෙකට මුන්ව නිදහස් කරනවද කිය කිය හිතෙන් බැන බැන එලියට ආවා. සතා නිදහස් කරන්න සල්ලි දීලා අර අවට බලන් හිටපු උන්ගේ වීරයා වෙලා හිටපු මම දැන් පුකේ ඉඳන් මඩ නාගෙන! සපත්තු දෙක බොක බොක ගානවා. උදේ ආෆ්ටර් ෂේව් දාගෙන සුවඳට ආපු මම දැන් මඩ ගඳත් එක්ක හරීම ප්රසන්න වෙලා. නිර්මලා ලේන්සුවකින් මඩ පිහිනවා. මට ෂුවර් ගෑනි හිත යටින් මට හිනා වෙනවා ලනුව අල්ලන් හිටපු මරි කම දැකලා!
ඕන් ඔහොමයි මිත්රවරුනි අපි පින් කරේ…
උපුටා ගැනීම: Susantha Pethiyagoda