මං පාරමී නුගවෙලතැන්න. මහ ලොකු ලස්සනක් නැති උනත් මහ ඉහලට ඉගෙනගත්තෙ නැති උනත් නුගවෙලතැන්න වලව්වෙ ලොකු දුව. මගේ නංගි ධාරණී නුගවෙලතැන්න. එයා හරිම හැඩකාරි. හුරුබුහුටි. ඒ වගේම නුවණක්කාරි. අපෙ අප්පච්චිල පාරම්පරික වලව් පැලැන්තියක ගෞරවනීය සාමාජිකයො. කන්ද උඩරට, රදල…
ඉතින් පොඩිකාලෙ ඉඳලම අපි හැදුනෙ වැඩුනෙ වලව්වෙ නීතිරීති එක්ක. අපෙ අප්පච්චි කොහොමත් වසයි, ටිකක් එහෙම නෙමෙයි මහ ගොඩක් .. කොහොමද කිව්වොත් අප්පච්චි ඉරක් ඇඳලා ඒක උඩ හිටපන් කිව්වොත් ආය එතනින් අයින් වෙන්න කියනකන් නංගියි මායි ඉන්නෙ ඒක උඩම තමයි. අපි හැදුනෙ වැඩුනෙ එහෙම.
මේ ඇසල මාසෙට මට වයස අවුරුදු විසි නවයක්. නංගිට අවුරුදු විසි එක ලැබුව විතරයි. ඉතින් අම්මලගෙ වැඩේම මට ගැලපෙන මංගල යෝජනා හොයන එක. සිංහල ඉංග්රීසි පත්තර වල හැම සතියකම යෝජනා තීරයෙ මං ගැන පලවෙනව. ප්රශ්නේ කියන්නෙ ගෙදරට හොයන්න එන එන හැම කෙනෙකුගෙම හිත යන්නෙ මට නෙමෙයි, නංගිට.
ඒත් අක්ක ඉන්නකොට කොහොමද නංගි දෙන්නෙ? ඇරත් පොඩි එකී කැම්පස් එකේ අවසාන අවුරුද්දෙ තාම. දැන්ම කසාද බඳින්නත් බෑයි කියනකොට, ඉතින් ඕක නිසා ආපු යෝජනා කීයක් නම් මග ඇරුනද..? අනික් එක මගේ උස අඩි පහයි අඟල් අටක්. ඒක සාමාන්යයෙන් ගෑනු ළමයෙකුට ලොකු උසක්. මම කෙට්ටු නිසා ඇඟ හැඩ උනාට උස ගතිය වැඩියෙන් කැපිල පෙනුනා.. ඉතින් හරි අමාරුයි ගැලපෙන කෙනෙක් හොයන්න.
අද මේ එන්නෙත් හතලිස් අටවෙනි මනමාලයා. හැබැයි අම්මා අප්පච්චි කැමති නැති පාටයි, එන්න කලින්ම එක එක කතන්දර.
“.. අම්ම අප්පච්චි කැමති උනාට බෑ මං කැමති වෙන්න ඕන ඉස්සෙල්ලා..මගෙ ජීවිතේ ගැන තීරණ ගන්නෙ මම නෙ අංකල්. ඒක නිසා මං කලින්ම ඇවිල්ල ගර්ල්ව බලල කතා කරන්න ඕනෙ..”.
මනමාලයා කියල තිබුනෙ එහෙම. ඒ යෝජනාවට අපේ අම්ම අකමැති උනේම ඒ වචන ටිකට තමයි.
“.. කොහොම උනත් එකපාරට ම එපා කියන්නත් බෑනෙ මැණිකේ.. කෝටි නෙමෙයි ප්රකෝටි ගණන් සල්ලි තියන බිස්නස්කාරයෙක් නේ. අනික් එක, අවුරුද්දෙන් බාගයක් ඉන්නෙ සුවිට්සර්ලන්තෙලු.. අපි නිකමට කතා කරල බලමු..”
අප්පච්චි කිව්වෙ එහෙම.
අදත් ඉතින් සුපුරුදු සූදානම. ඔසරියක් පටලවගෙන බුලත් හෙප්පුවක් අරගෙන ඉස්සරහට යන මේ සුපුරුදු රංගනේ මට නම් දැන් එපාම එපා වෙලා. කිසිම මෝස්තරයක් නැති රෝසපාට තාන් රෙද්දෙන් මේඩ් අප් නොකරපු ඔසරිය රැලි තියල හරිම පිලිවෙලට ඇඳගෙන, මං කොන්ඩෙ ගෙඩියක් ගහල බැඳගත්තෙ ඒක මට පහසුම විදිය හින්ද. නංගි කාමරේට ආවෙ ඕන් ඔය වෙලාවෙ..
“.. ඈපූ.. මොකක්ද ලොකු .. අදත් ඇන්ටි ස්ටයිල් එකමනෙ.. කෝ, එන්න මං හෙයාර් ස්ටයිල් එකක් දාන්න..”
එයා ලැහැස්ති වෙන්නෙ මගේ කොන්ඩෙ කඩන්න. මං කැමති නෑ ඒකට. මං ආස මගේ විදියට ඉන්න.
“.. දණිස්ස ලඟට කොන්ඩෙ තිබුනට ඒකෙ ලස්සන පේනවයැ ඔහොම හිරට තදට කොන්ඩෙ ගැට ගැහුවම..? එන්න, ඉස්සරහින් ටිකක් අරගෙන බැක් කෝම්බ් කරලා, හාෆ් පෝනිටේල් එකක් දාමු..”
නංගි පනාවත් අරගෙන ලඟට එනකොට මං ඒක කාරුණික ව ප්රතික්ෂේප කලා.
“.. මට මේ විදිය හොඳයි නංගි..”
“..ඔන්න ඕකනෙ ඔයාට මනුස්සයෙක් කැමතිවෙන්නෙ නැත්තෙ.. දැන් කාලෙ old is gold කියල කියන කොල්ලො හරි අඩුයි. දැන් කොල්ලො ආස ටිකක් පොෂ් විදියට මොඩිෆයි විදියට ඉන්න කෙල්ලන්ට..”
නංගි කියන්නෙ වටයක් කැරකිලා. එයාගෙ ලස්සන තඹපාට ගල්වපු කෙටි කොන්ඩේ යන්තමින් තියෙන්නෙ උරහිස් ලඟට විතරයි .. කනේ කරාබු දෙකේ ඒවා දෙකක් දාගෙන. ඇත්තටම නංගි හරි ලස්සනයි .. උතුරි ඉන්දියානු නිලියක් වගේ.
“.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න නංගි..”
මං කිව්වට එයා බලෙන්ම මගේ මූණේ හමේ පාටට ගැලපෙන පවුඩර් තවරලා, යන්තම් මතුවෙලා තිබුන දහදිය තෙල් තට්ටුව ආවරණය කලා. සාරියෙ පාටටම ගැලපෙන ලා නෙලුම් රෝසපාට තොල් ආලේපනයකින් දෙතොල හැඩ කලා. කන දෙපැත්තෙම කෙස් යන්තමින් ගහක් දෙකක් සුදු වේගෙන එනව දැක්කෙ ඒ වෙලාවෙ තමයි. අවුරුදු තිහට කිට්ටුයිනෙ. මොකක්ද කරන්නේ ඒක වහන්න..? කල්පනා කර කර හිටපු නංගි මස්කාරා ටිකක් අරගෙන බුරුසුවෙන් තවරල තාවකාලිකව සුදු කෙස් ගස් වහලම දැම්ම.
“.. පොඩ්ඩක් හිනාවෙල ඉන්නවකො ලොකූ. නිකන් මරන්න ගෙනියන හරකෙක් වගේ..” ඇය කීවෙ එහෙම.. එතකොට ම, වලව්වෙ ගේට්ටුවෙන් හරවන වාහනේ සද්දෙට මමත් පෙරලගෙන වගේ නංගි ජනේලේ ලඟට ලං උනා.
“.. අම්මෝ ලොකු.. හෙණ සල්ලිකාරයෙක් වගේනේ.. ඈ.. බලනවකො වාහනේ විතරක්.. ක්රයිස්ලර් එකක්.. අර.. නැව වගේ..”
ඇය කිව්ව නිසා මම ජනේලෙන් බැලුවම මම දැක්කෙත් අපූරු හිත ඇදිල යන ලස්සන කාර් එකක්. ඇත්තටම ඒ වාහනේ හරිම වෙනස් පෙනුමක් තිබුනෙ.
“.. මේ ලොකූ.. මේකවත් ඔයාට හරියන්න කියල මං විෂ් කරනව ඈ. මං පහලට නොයා ඉන්නම් එහෙනම්.. නැත්නම් හැමදාම වෙන දේ අදත් සිද්ධවෙයි..”
නංගි මට කිව්වෙ කාරුණිකව.. අවංකවම ඇය මං ගැන දුක්වෙන බව මං දන්නව.
“.. එහෙම ඕන නෑ චූටි .. ඔයා යන් මා එක්ක. ඔයා එනකොට හිත හයියයි මට..”
මං කිව්වෙත් ඇත්තටම. වලව්ව ඇතුලටම වෙලා ජීවිතේ ගෙවන මට පේරාදෙණිය කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගනිමින් ඉන්ම නංගිට තරම් අත්දැකීම් මහ ගොඩක් තිබුනෙ නෑ.
ආවෙ කවුද කියල බලන්නවත් අපි දෙන්නටම ඕනකමක් තිබුනෙ නෑ. මම හිටියෙ මං ගැන දුකෙන්. නංගි හිටියෙත් මං ගැන දුකෙන්. කොහොම හරි, මිනිත්තු විස්සකින් විතර අම්මගෙ සුපුරුදු දුරකථන ඇමතුම ආවා.
“… චූටි… අක්කිව එක්කගෙන එන්න පහලට..”
ඉතින් ඔන්න මං සුපුරුදු නාට්යයම රඟපාන්න ලැහැස්ති වෙන්න ඕන. පපුව පුරවල ලොකු හුස්මක් අරගෙන, මං නැගිටිනකොට, නංගි මට කල්තියා සූදානම් කරගෙන තිබුන බුලත් හෙප්පුව අතට දුන්නා..
“.. යන් ලොකූ.. මේකවත් හරි යන්න කියල මං ප්රාර්ථනා කරනව..!”
කාමරෙන් එලියට ගිහිල්ලා පඩිපෙල බැහැගෙන පහලට යනකොට පඩියක් පඩියක් ගානෙ කකුල පැටලෙන ගාණයි. හැම දෙනාම මං දිහා බලාගෙන ඉන්නව කියල තේරුණත් ඇස් දෙක උස්සලා ඒ දිහා බලන්නත් බෑ. පුරුද්දට වගේ මං එතෙන්ට එනකොට අප්පච්චි කියන සුපුරුදු කතාව ආයෙමත් මට ඇහුනේ, කලින් ගොඩක් වාරයක් ඇහිලා තියනවා වගේමයි.
“.. මේ තමයි මගෙ ලොකු දෝනි. එයාට තමයි මේ යෝජනා හොයන්නෙ.. මේ පස්සෙන් ඉන්නෙ අපේ පොඩි දෝනි.!”
මං පුරුද්දට වගේ ඇවිදගෙන ගිහිල්ලා ඒ කලුපාටට ඔප දාල තිබුන සපත්තු දෙක ලඟ නතර උනා. ඒකෙන් මට මගේ මූණ පෙනෙන නොපෙනන ගාණයි. මං මූණ නොබලම බුලත් හෙප්පුව දිගු කරනකොට ඒ යුරෝපීය ඇඳුම් කට්ටලයෙන් සැරසිලා හිටපු තරුණයා නැගිට්ටා.
ඒ නැගිටීමත් එක්ක, මගේ ඒ බලාපොරොත්තුවත් ඉවරයි.! සුසුමක් පිටවුනේ ඉබේටම.
ඔහු මට වඩා අඟල් දෙකක් විතර උසින් අඩු ඇති. මට දැනුනෙ ලොකු අපහසුතාවයක්. දෙන්න ඕන නිසා චාරිත්රානුකූලව මම බුලත් හෙප්පුව දිගු කලාට, ඔහුගෙ දිලිසෙමින් තිබුන ඇස් දෙක නතර වෙලා තිබුනෙ මගේ මූණෙ නෙමෙයි .. මගේ පසෙකින් හිටගෙන හිටපු මගේ ම නංගිගෙ මූණ මත්තෙ.
ඇත්තටම ඔහු හරිම කඩවසම් මනුස්සයෙක්. ජීවිතේ මේ වෙනකන් මම දැකපු ලස්සනම පිරිමියා කිව්වොත් නිවැරදී. මහා බ්රහ්මයා නිවාඩු පාඩුවෙ සැනසිල්ලේ මවපු පිරිමි රූපයක්. ඒ ඝන කලුපාට ඇස් බැමි, ඝනකම් දිග ඇස් පිහාටු, දුඹුරු වීදුරු ඇස්, දිග නහය, මනා හැඩයෙන් යුත් දෙතොල්, යන්තමින් ඒ අතරින් පෙනෙන දත් දෙපෙල..!!
මං ඔහු දිහා එක් වරක් විතරයි බැලුවෙ. එහෙමම එක අඩියක් පිටුපසට ගත්තෙ මේක මට හීනයක් බව හිත දන්න නිසාමයි. තව පොඩ්ඩෙන් කකුලත් පැටලෙනව. මං ආපහු හැරුනෙ කාමරේට යන්න කියලා..
“.. ඔහොම ඉන්න දුව..”
අම්මා මාව නතර කලා…
“…මේ දරුවන්ට බොන්න මොනවහරි අරගෙන එන්නකෝ. පුතාල මොනවද බොන්නෙ..?” අම්මා ඇහුවෙ කාරුණිකව.
“.. මට නම් කූල් ඩ්රින්ක් එකක් හොඳයි ආන්ටි. ඔයාට මොනවද..?”
ඔහු ආඩම්බරකාර විදියට ඇහුවෙ සාලේ එහා කෙලවර පුටුවක හිටපු කිසිවෙක් දිහා බලලා.
“.. මට ඕන දෙයක් පොඩි මහත්තයා..”
අනිකා කියනවා ඇහුවා. එතකොට මනමාලයා ඒ ආඩම්බර කාර මූණ මගේ දිහාට හරවලා, එක එල්ලෙ මගෙ ඇස් දෙක දිහා බැලුවා.
“.. මටයි මගෙ ඩ්රයිවර්ටයි කූල් ඩ්රින්ක්ස් දෙකක් තිබුනොත් ඇති..”
මට කියන්න උත්තරයක් මතක් උනෙත් නෑ. මම එහෙමම නංගි දිහා බැලුවෙ අසරණ විදියට.
“.. ඔ… ඔයා යන්න… මං … ඉන්නම් මෙතන..” කවදාවත් නැතුව නංගි එහෙම කියනකොට මට තවත් එතන ඉන්න අවශ්ය උනේ නැහැ. සමහරවිට ඇයටත් අර තරුණයා ගැන හිත යන්න ඇති. එහෙම නො උනොත් තමා පුදුමේ. මම මුලුතැන්ගෙයට ගියේ කලකිරීමෙන්.
පැණි දොඩම් ගෙඩි දෙකක් මිරිකල, වතුරට සීනියි ලුණුයි ගම්මිරිසුයි එකතුකරගෙන අන්තිමට අයිස් කැට දාල දොඩම් වීදුරුබ්දෙකක් හදාගත්තෙ මං මගේ දෛවය ගැන දුක්වෙමින්. ඇයි මටම මෙහෙම වෙන්නේ..? ආයෙ නම් මේ නොගැලපෙන සම්මුඛ පරීක්ෂන වලට සහභාගී වෙන්න බැහැ. හිත හඬාවැටෙමින් තිබුන.
මං සාලයට යනකොට අප්පච්චි සහ ඔහු දිග සෝපාවෙ ඉඳගෙන. දෙපැත්තේ තනි පුටු දෙකේ අම්මත් නංගිත් වාඩිවෙලා.. මං එතනට අයිති කෙනෙක් නෙමෙයි වගේ හරියට. ගොඩක් රිදුන හිතින් ඔහුට බීම වීදුරුව දුන්නේ, සුසුමක් හෙලන ගමන් මයි.
“.. මගෙ ඩ්රයිවර් එලියට ගියා. ඔයාට පුලුවන් ද එයාට මේ අනික් ග්ලාස් එක ගිහිල්ලා දෙන්න.. ප්ලී…ස්..?”
ඔහු කිව්වෙ සුපුරුදු ආකර්ෂණීය කටහඬින් මයි. මම ඒ අනුව හිස වනල ට්රේ එකත් අරගෙන එලියට ගියේ ඇත්තටම මටත් ඒ පරිසරයෙන් ඈත්වෙන්න ඕන වෙච්චි නිසා. එලියට බැහැල මං හාත්පස බැලුවෙ කෝ ඔහුගේ රියදුරා.??
ඔහු ඉන්නවා.. මට පිටුපාලා ආලින්දේ කෙලවර සමන් පිච්ච මල් පන්දලම ලඟ. මම හෙමිහිට එතෙන්ට ගිහිල්ලා ඔහුට කතා කලා.
“.. එක්ස්කියුස් මී…”
මම කියනකොට ඔහු හැරිලා බැලුවා. උස මහත පිරිමියෙක්. අඩි හයකට නො අඩු උසක් ඇති. සුදු කමිසයට කලු කලිසමට ඔහු ඇමති ආරක්ෂකයකුගෙ පෙනුමයි. මනාව කැපූ රැවුල සහ පිලිවෙල හිසකෙස් ඔහුට ගෙන ආවෙ විනයවත් පිරිමියෙකුගෙ පෙනුමක්. නමුත් ඔහු රියදුරෙක්.
“.. ඔයාගෙ බීම එක..”
මම ඔහුට බීම බන්දේසිය පෑවෙ දෑතින්මයි.
“.. thank you මැඩම්..!”
ඔහු එය අතට ගත්තා.
“.. මැඩම්ට අපෙ සර්ව හිතට අල්ලලා ගියා නේද..?”
ඔහු ඇසුවෙ අනවශ්ය ප්රශ්නයක්. මම ඔහුගෙ දිහා බැලුවෙ නොපහන් බැල්මක්. අපෝ වාචාලයෙක්.
“..නෑ.. අනේ වැරැද්දක් ඇහුවනම් සමාවෙන්න මැඩම්. මං මේ ඇහුවෙ නිකමට. යන යන තැන ගෑණු ළමයි අපේ සර්ට උඩින්ම කැමතිවෙනවා. සර් තමයි කැමතිවෙන්නෙ නැත්තෙ..” ඔහු කිව්වා.
එහෙනම් මං හිතුවා හරි.. ඔහු නොම්මර ඒකේ ආඩම්බර කාරයෙක්. ඒත් අපේ චූටි ඔහු ගැන බලාපොරොත්තු තියාගත්තොත්, ඇයත් ඔහු නිසා දුක්වෙන්න ගනීවි එහෙනම්. මට හිතුනෙම ඒක.
“.. ඇයි ඔයාලගෙ සර් එහෙම කරන්නෙ..?”
මං ඒ ප්රශ්නෙ ඇහුවෙ මං නිසා නෙමෙයි …ඇත්තටම මගෙ නංගි නිසාමයි.
“… කවුද දන්නෙ මැඩම්.? සර් මහ අමුතු දේවල්නෙ හොයන්නෙ. ජීවිතේ බාගයක්ම එක එක රටවල්වල ඉඳලා, සර්ට ගෑණු කියන්නෙ මැජික් නෙමෙයි. ඉතින් සර් බලන්නෙ අපි බලන ජාතියෙ සුදුසුකම් නෙමෙයි මැඩම්.!”
ඔහු කිව්වෙ එහෙම.
“..මේ බීම එකනම් හරි රසයි. මැඩම් ද මේක හැදුවෙ..?”
“…..ඔව්..”
“…ආ… අන්න ඒකනෙ. මම නම් මේක රසයි කියල කිව්වා එච්චරයි .. ඒත් අපේ සර් එහෙම නෙමේ හිතන්නෙ … සර් බලනව මේකෙ වීදුරුව පිරිසිදු ද, ඇඟිලි පාරවල් තියනවද, වීදුරුවෙ දාරේ හොඳට සෝදලද.. සමහර ගෙවල් වලින් වතුර වීදුරුවක් බොන්න බෑනෙ පිලී ගඳයිනෙ කෝප්පෙ හෝදල නැතිව.. ඔන්න ඔය වගෙ ඔක්කොම නූලට බලනව අපේ සර්..”
රියදුරා එහෙම කියනකොට මමත් ඇත්තටම කලබල උනා.. ඒත් ඔහුගේ ඒ සියුම් දේවල් පවා පරික්ෂා කරන විශේෂ ගතිගුණයම ඔහුව අද ඒ තරම් සාර්ථක ව්යාපාරිකයෙක් කලා වෙන්න පුලුවන් නේද..?
“.. ඒ උනාට ඔයාගෙ සර් එහෙම පුංචි දේ ගැනත් බලන එක නිසා තමයි එයා අද ඔය තරම් දියුණු බිස්නස්මන් කෙනෙක් වෙලා ඉන්නව ඇත්තෙ.”.
මං කිව්වෙ අවංකවම. ඒකට ඔහු හිනා උනේ හරි ලස්සනට ..
“.. අන්න ඒකනෙ මැඩම්.. ඒත් වෙන ගෑනු ළමයෙක් නම් ඕක අහල හිතන්නෙ කොහොමද ඔච්චර නීතිකාරයෙක් එක්ක ජීවත්වෙන්නෙ කියලා..?” ඔහු කීවා..
“.. එයා එහෙම ජීවත්වෙන එක අපිට කරදරයක් වෙන්නෙ හෝ නොවෙන්නෙ අපි ඒ කෙනාට අපේ ජීවිතේ දීලා තියන තැන අනුව..” මං කිව්වා.
“… අපෝ…මැඩම් හිතන්නෙත් මාර වෙනස් විදියකටනෙ. ඔහොම සීරියස් විදියට හිතන්නෙපා මැඩම්. සමාවෙන්න මෙහෙම කිව්වට, මැඩම්ටත් ඔච්චර වයසක් වෙනකන් කසාදයක් හරි නොගියෙ, මැඩම් ඔහොම සීරියස් විදියට මිනිස්සුන්ව තෝරන නිසා වෙන්න ඇති..”
ඔහු කීවා.
“…මට මැරේජ් එක පරක්කු උනා කියල දුකක් නැහැ අනේ.. ඉක්මන්ට මැරි කරල නිවී සැනසිල්ලේ පසුතැවෙනවට වඩා හොඳයි, ගැලපෙනම කෙනා ලැබෙනකන් පොඩි කාලයක් බලන් ඉන්න එක..”
මමත් ඔහුට කීවා.
කතාව දිගට දිගට ඇදිල ගියේ නොදැනිමයි. මිනිත්තු පහලොවකට විතර පස්සේ ඔහු මට මෙහෙම කිව්වා.
“.. මොකක්ද මැඩම්ගෙ නම..?”
“.. මම පාරමී. පාරමී නුගවෙලතැන්න ..”
“.. හොඳයි. මැඩම් මට පොඩි දෙයක් කියන්න තියනවා. කිව්වට කමක් නැද්ද..?”
ඔහු ඇහුවා.
“.. කියන්න බලන්න.. මෙච්චර කතා කල එකේ.. හැබැයි මට යන්නත් ඕන දැන් අම්මල මාව හොයනවත් ඇති..”
මම කිව්වෙ හිස් බීම වීදුරුව ඔහු අතින් බන්දේසියට ගන්නා ගමන් මයි. ඔහු දිග හුස්මක් ගත්තා
“…මේකයි මැඩම්.. සොරි.. පාරමී. ඇත්තටම මේ ප්රපෝසල් එක ගෙනාවෙ මගේ බොස්ට නෙමෙයි. මට… “
“..මොකක්ද .. මට තේරුනේ නැහැ..?”
“.. සංදේෂ් ජයවර්ධන කියන්නෙ ඇතුලෙ ඉන්න කෙනාට නෙමෙයි, මට..!”.
ඔහු කියනකොට මට ඇස් අදහාගන්න බැරි උනා.
“.. මට තියන බිස්නස් නිසා හැමෝම මාව නමින් දන්නව .. යන යන තැන හොඳින් පිලිගන්නව. නමුත් එතකොට මට ඒ ගෙවල්වල අයගෙ ඇත්ත ස්වරූපය දකින්න විදිහක් නැහැ. ඒක නිසා අන්තිමට මං තීරණය කළා, මං ම මගෙ ඩ්රයිවර් වෙන්න..”
“.. එතකොට අර… ඇතුලෙ… ඉන්නෙ ….?”
“..ඒ ඇතුලෙ ඉන්න කෙනා මගේ මල්ලි. මම ඩ්රයිවර් විදියට ගියාම ගොඩක් ගෙවල් වල මිනිසුන්ගේ ඇත්ත ස්වරූපය මට දැනගන්න ලැබුණා. ගොඩක් දෙනෙක් මං කියල හිතල මල්ලිට එක විදියකටත් driver වෙච්ච නිසා මට වෙන විදියකටත් සැලකුවා. නමුත් ඔයාගේ ගෙදරින් එයාටත් මට දුන්නේ එකම බීම වීදුරුව.
අනිත් එක ඔයත් එක්ක කතා කරගෙන යනකොට මට තේරුණා ඔයා පෙනුමින් ඉන්න කෙනාට වඩා හරිම බුද්ධිමත් ගෑනු ගෑනු ළමයෙක් කියලා. මෙච්චර කල් මං හෙව්වේ ඔයා වගේ කෙනෙක් කියලා.
රැවටීමක් කරගෙන ඔයාලගේ ගෙදරට ආවට මට සමාවෙන්න. ඇත්තටම මං ඔයාව මැරි කරන්න කැමති…
ඔයා…?”
මං ඉතිං වෙන මොනවා කියන්නද..? අතේ තියන බීම වීදුරුව සෙලවෙන තරමට බන්දේසිය පවා වෙව්ලන්න පටන් ගත්තේ මගේ හිතේ ඇති වෙච්ච කම්පනය නිසා. සන්දේෂ් මගෙ ලඟට ඇවිල්ල.. මගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලා ගෙන මගෙන් මෙහෙම ඇහුවා.
“.. ඔයා කැමතිද …මගේ … වයිෆ් වෙන්න..?”
ඉතින් ඔන්න ඔහොමයි මම ඔහුගෙ අරුම මනාලිය උනේ.. මම කිව්වෙ කතාව ලියපු මම නෙමෙයි, පාරමී නුගවෙලතැන්න ගැන. 

උපුටා ගැනීම: නර්මදා රංගොඩගේ