හෙදිය, ලස්සන සුදු තොප්පිය නිල් ඉරිගවුම එක රැල්ලක් වත් නැතිවෙන්න මැදපු වටගවුම ඉනට තදවෙලා ඇයව හැඩ කරන කලු ඉන පටිය සහ කිරි සුදු සපත්තු. මේ ඇගේ නිල ඇඳුමයි. ඊට යටින් දිස් වෙන ලස්සන සුන්දර මුහුණේ ඇති සෘජු මෙන්ම තීරණාත්මක බැල්ම රෝගීන්ව වශී කරගන්නවා මෙන්ම අවනත කර ගැනීමද සමත්ය. මේ සැබෑ හෙදියගේ බාහිර පෙනුමයි.
හෙදිය, නැට්ට පාගාගෙන වාට්ටුව වටේ දුවන, හැමෝටම ගිනිපිඹින, නාහෙන් දුම් පිටකරන මකරෙක්!! නැතිනම් ලෙඩ්ඩුන්ව කන්න හදන යකින්නක්!! මේ සමාජය ඇයව දකින විදිහයි.
“අප්පෝ ලක්ෂ ගණන් පඩි ගන්නවා ඒ වුනාට කරන සේවයක් නම් නෑ” ඒ තවත් කෙනෙක් දකින විදිහ.
“හොඳ පඩි බං. බඳිනවා නම් බඳින්න ඕනා නර්ස් කෙනෙක්ව. සැප තමයි ඉතින්” ඒ ඇගේ වැටුපට ලොල් බැඳ ඇයව විවාහ කර ගැනීමට සිහින මවන තරුණයෙක්.
නමුත් ඒ නිල ඇඳුම තුල සිටින ඇයගේ හදවත කවුරුත් දුටුවාද? කොහෙ දකින්නද ඇගේ හදවතට උඩින් නිල ඇඳුමේ ස්තර තුනකි. ඊටත් උඩින් ඔලුවෙන් සිටගෙන සිටින ඔරලෝසුව සහ නිල ලාංඦනයක් තියෙනවානෙ.
මාද ඔය අති උතුම් සේවයේ නියුතුව සිට රජයට ගෙවීමට ඇති ණය ඉවර වූ නිසා සේවයෙන් ඉවත් වී නිදහස් වූ කෙනෙකි. කරනා සේවයට සොච්චම් පඩියක් ගෙවන නිසා මම සැම විටම සිතුවේ රජයෙන් ගිය ආත්මයේ ගෙවන්න තිබූ ණයකට ඉතුරුවා කපා හරිනවා ඇති කියලයි. ඒ නිසයි මම කිවුවේ රජයට ගෙවන්න තිබූ ණය ඉවරයි කියලා.
ඒ දවස් වල හෙද සේවයේ මා අකමැතිම සැවොම නිවාඩුවේ සතුටින් ගත කරන සිංහල අලුත් අවුරුද්දේ වාට්ටුවට වී දුක සේ ඩියුටි කිරීමට වීම සහ රාත්රී සේවයයි. අවුරුද්දට නිවාඩු නොලැබ සේවය කරන එකම සේවකයා සෞඛ්ය සේවකයාවේ. එදාට මගේ හිතේ ඇතිවන දුක බෙදා ගැනීමට සිටින්නේ අසරණ රෝගීන්ම පමණයි.
ඒ වගේම රාත්රී සේවයට මරන්න ගෙනියන හරකෙක් වගේ හූල්ල හූල්ලා බොහොම හිතේ අමාරුවෙන් තමයි වාට්ටුවට ගාටන්නෙ. අනිත් අය ගෙදර බලා යන විට මම ඩියුටි යනවා. මමත් ආසයි අනිත් අය වගේ ගෙදර අයත් එක්ක සතුටින් රාත්රිය ගතකරන්න. මමත් ආසයි රාත්රියේ හොඳ සැප නින්දක් ලබාගන්න. ඔහොම දුක් වෙවී යනකොට,
“හායි නිලී, අනේ පොඩි එවුන් දෙන්නටම උණ. මම මේ ගෙදර දුවන ගමන්. දැන් ඩොක්ටර් ගාවට එක්ක යන්න ඕනා. යන්නම්. බායි.”
මම හා කියන්න හදනකොට ඇය ගිහින් ඉවරයි. අම්මා නැතුව උණෙන් පෙලෙන ඇගේ අසරණ දරුවන් ඇය එනතුරු බලා සිටිනවා ඇති. ගෙදර යන විට වෙලාව 8.30 ත් පසු වේවි. ඒ ගිහින් දරුවන්ට බෙහෙත් ගෙනැවිත් රෑ කෑම සෑදීමටත් තිබෙනවා ඇති. නැවත ඒ දරුපැටවුන් දමා හෙට උදේ ඩියුටි එන්නත් ඕනා ඇති.
මගේ සිත ඇය වෙනුවෙන් දුක් වෙයි.
වාට්ටුව ආසන්නයේදී මගේ හිත ටිකක් නොසන්සුන් වේ. අද මොන මරාලයක් කඩා පාත් වේවිද දන්නෙ නෑ. අද ටෝටල් (total ) එක කීයද දන්නෙ නෑ. අද ඩියුටියට ජෝන් කෙනෙක් සෙට් උනොත් ඉතින් ඔක්කොම හරි. සමහර මිස්ලා ඩියුටි ඉන්නකොට වාට්ටුව අමාරු ලෙඩ්ඩුන්ගෙන්ම පිරී යයි. ඒ අයව ජෝන් ලෙස නම් කරලයි තියෙන්නෙ. ඉතින් ජෝන්ලා එක්ක ඩියුටි කරනවා කියන්නෙ එලි වෙනකම්ම දාඩිය පෙරාගෙන නැටීමක් තමයි.
“අද පේෂන්ට්ලා හැටයි. අලුත් ලෙඩ්ඩු විස්සයි. රෑට x-ray , CT scan …මේ පේෂන්ට් ICU යවන්න, මේ කට්ටියගෙ ලේ ගන්න තියෙනවා …”
ගෙදර දුවන්න හදිස්සියෙන් ඉන්න මිසී වේගයෙන් වාට්ටුව භාර දෙයි. අනික් මිසී එනතුරු බලා නොසිට වාට්ටුව භාර ගත්තේ ඇයව ඉක්මනින් නිදහස් කිරීමටයි.
දැන් ඉතින් මේ තියෙන වැඩටිකයි ලෙඩ්ඩු හැටකුයි බලා ගන්න කතරගම දෙයියින්ගෙන් අත් දොළහා ණයට ඉල්ලා ගන්න වෙනවා.
“අනේ නංගී පරක්කු උනා නංගී…”
මා සමඟ රාත්රී සේවයට ඉන්න අනිත් මිස් “දඩාස්”ගා වාට්ටුවට කඩා වැටුනා කිව්වොත් නිවැරදියි.
“ආ.. කමක් නෑ මිස් මම වැඩ පටන් ගත්තා..”
පැයට කිලෝමීටර් බර ගානක වේගයෙන් දුවගෙන ආ ඇය සැනසීමට කීවෙමි. අවුරුද්දක පමණ වයස චූටි බබා දාලා ඇය කොහොම හිත හදා ගෙන ඩියුටි එනවා ඇතිද? අම්මාට තුරුල් වෙලා කුක්කු බිබී නිදියන්න ආසාවෙන් ඒ පැටියා මොර දෙනවා ඇති. දවල් දවසම දරුවා මත්තෙ නැහිලා උයලා පිහලා රෙදි සෝදලා ගේ දොර වැඩ සියල්ල කරලා ඇයට මහන්සි ඇති. ඇයටත් දැන් ටිකක් නිදාගන්න ඔනා ඇති. ඒත් ඇය දැන් සියල්ල හිත යට සඟවා වෙහෙස නොබලා හරිහරියට වාට්ටුවේ වැඩ.
අප ඩියුටි කරන්නේ පිරිමිවාට්ටුවකද ගැහැනු වාට්ටුවකද යන්න මත රාත්රියද වෙනස් වේ. පිරිමි වාට්ටුවක නම් මදන යකා ඇවිස්සුන පිරිමින් ගෙන්ද ප්රවේසම් වීමට සිදුවේ. නිල ඇඳුමේ පියුපසින් කකුල ටිකක් පෙනුනොත් එයින්ද විනෝද වෙන පිරිමි සිටින සමාජයක් දැන් තියෙන්නෙ. ලඟින් යන විට සුවඳටද ඉව අල්ලන්නේ ගොදුර දැක ඉව අල්ලන බල්ලන් ලෙසය.
ඔය වැනි විකාර කාරයන් ගෙන් බේරීමට නම් යක් වෙස් ගත යුතුමය. එවිට ඔවුනට අප ‘නපුරු මිසීලා’ වේ. තවද හුරතල් වෙන්න හදන නාකි මරගාත මෙල්ල කිරීමටද නපුරු කම ටිකක් උදවුවේ.
රාත්රී යුද්ධය ඉවරයි. ගෙදර ගිහින් හොඳට නිදා ගන්නවා කියලා හිතුවා විතරයි සිස්ටර් නෝනාගෙන් උදේ ඩියුටියත් කරන්න යැයි ඉල්ලීමක්. එක් මිසී කෙනෙක් හදිසි අනතුරකට මුහුන දීලා. එයාගෙ අඩුව පිරවිය යුතුය. දැන් ඉතින් නිදියන්න වෙන්නේ හවස තමයි.
එහෙම කොහොමද කලින් කියන්නෙ නැතුව ඩියුටි දාන්නෙ? ඔයාලා දැන් මගෙන් අසාවි. උත්තරය ඒක එහෙම තමයි. සමහර දවස් වලට පැය 24 ම ඩියුටි කරලයි ගෙදර යන්න වෙන්නේ. ඉතින් උදේ වේල කැන්ටින් සරණං කියලා කැන්ටිමෙන් කෑම ගෙන්වාගෙන කෑවා. උදෙත් ඩියුටි කරනවා කියලා ආදරණීය මහත්තයාව දැනුවත් කලා විතරක් නෙවෙයි හැමදාම අහන දොස් පරොස් ටිකත් අහගත්තා. “ඔයානැතුව ගෙදර ඉන්න මටත් පාලුයි. ඒ නිසා කමක් නෑ මම උදෙත් කරලම එන්නම්” යන්තම් ඔහුවත් සැනසුවා.
උදේට වාට්ටුව යකුන් නටනා පිටියකි. ලොකු දොස්තර මහතා පසුපස ගියාට පසු දෙවෙනි දොස්තරමහතා පසුපස. ආයෙත් පොඩි දොස්තර මහතා පසුපස. ඔයවිදිහට පසුපස යෑමට එක් මිස් කෙනෙක්ද බෙහෙත් හා ඉන්ජෙක්ෂන් ට්රොලි පසුස තව මිස්ලා දෙදෙනෙක්ද ලෙස ඉන්නා හැමෝටම වැඩ විබේදනයවේ. මේ අතර එක් මිස් කෙනෙක් කුමක් හෝ අපහසුතාවයකින් සිටින බව වැඩ කරනා අතරතුර නගන සිහින් කෙඳිරියෙන් තේරුණ නිසා ඇය ගැන සොයා බැලුවෙමි.
“ඇයි මිස් සනීප නැතිද?”
“ඔව් නංගී. මගෙ පපුවෙ කිරි පිරිලා හරි වේදනයි.”
ඇගේ කුඩා දරු පැටියාට මාස හතකි. පඩි රහිත නිවාඩු නොගෙන ඇය පැමිණියේ මුදල් අවශ්යතාවය තදබලව දනුන නිසාය. දරුවා සිහිවන වාරයක් පාසා එරුන කිරි බේරී නිල ඇඳුම තෙත්වී ඇත.
“යමු මිස් අපි කිරි ටිකක් දොවලා අයින් කරමු. එතකොට ඔයාට පහසුවක් දැනේවි.”
කිරි දොවා අහකට දමන විට ඇය කඳුලු සැලුවේ දරුවා බලාගන්නා ගැහැනුකෙනා දරුවා හොඳින් බලා නොගන්නා බවද පවසමිනි. ඇගේ හිතේ කොපමණ ගින්දරක් ඇවිලුනද ඇය රෝගීන් වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කලාය.
ඉවර නෑ , ඉවර නෑ තව ගොඩක් තියෙනවා කියන්න. ඔයාලටත් අහලා ඒපා වේවි.
වාට්ටුව තුල හෙදියෝ එක් කුස උපන් සහෝදරයෝ මෙන් එකිනෙකාගේ දුක සැප බෙදා ගන්නා නිසාත් එකෙක් අනෙකා වනුවෙන් පෙනී සිටින තරම් බැඳීමකින් සිටින නිසාත් හද සේවය කොතරම් දුෂ්කර කාර්යයක් වුවත් හිතේ ගින්දර කොතරම් ඇවිලුනත් ඔවුහු වාට්ටුවේදී රෝගීන් බේරා ගැනීමේ මහා සටනට ශක්තිමත්ව මුහුන දෙති.
අද මුලු ලංකාවම කොරෝනා වසංගයෙන් පීඩා වෙද්දී තවමත් ශක්තිමත්ව ඒ සටනට සෞඛ්ය කාර්ය මණ්ඩලය මුහුනදෙයි. රෝහලේ සිට නිවසට යන්නේ ගැහෙන හදින්. තම ඇඟේ එල්ලී කොරෝනා නිවසට යාවිද? දරුවන් වැලඳගන්නේ හිතේ බයෙන්. තමන් නිසා තම දරුවන් නොදැනීම කොරෝනාට බිලිවේවිද?
හඬා වැටෙනා ඒ හදවත ගැන මිතුරනි ඔබ දැනුවත්ද?
ආදරණීයයන් සැවොම අනතුරේ හෙලා ඔවුන් සේවයට කැප වන්නේ මාරයාට මුහුනදෙන්නේ ලැබෙන වැටුප ගැන සිතා නොවන බව කරුණාවෙන් සලකනු මැන. වෙද , හෙද සහ අනෙකුත් සියලුම සෞඛ්ය නිලදරුවනි ඕබේ ශක්තිය ගිලිහුන දා ලංකාවම කොරෝනා විසින් ගිලගනු ඇත.
උපුටා ගැනීම: Nilwala Athapattu