“අහසට සොදුරුද සද කෙතරම්….ගසකට සොදුරුද මල කෙතරම්..” ඈතින් ඇහෙන්න ගත්ත ගීයක් දිගේ මගේ හිත අතීතයට දුවන්න ගත්තා, ඒ හැටි අතීතයකට නෙවේ ඉතිම් කොරෝනා එන්න යන්තම් අවුරුදු තුනකට විතර කලින් අතීතෙට, ඔව් එදා තමා හිතේ ඇදන් ඉදිය කෙනා මුලින් දැක්ක දවස, අවුරුදු තුනක් තරම් ඈතට මතකෙ දිව්වත් කතාව නම් දිව්වේ පැය 3ක් වගේ, ඒත් ඒ පැය 3 මට මැරෙනකම් අමතක නොවෙන බව නම් මේ අවුරුදු 3 පුරාම මට අනන්තවත් තේරුම් උනා…
එයාව මට මුණගැහෙන්නේ අහම්බෙන්, මගුලකදි, මගුලක කිව්වෙ ඉතිම් විවාහ උත්සවේකදි… මනාලයගෙ පැත්තෙන් සහභාගි වෙලා ඉදිය මං ඒ නාදුනන්නීව මුලින්ම දකින්නේ වෙඩින් කේක් ගොඩකට හිර වෙලා ඉන්න වෙලේ, වෙනදා වගේම කෑම බීම ගැන ගානක් නැතුව නැටිල්ලට හිත දීලා පිස්සෙක් පිස්සෙක් වගේ නට නට ඉදිය මන් වතුර එකක් හොයන් ගියේ නැටුම තත්පරේකට නවත්තලා, බුෆේ එක පැත්තට ඔලුව දාලා වතුර එකක් බොන්න ගත්තෙත් ලාවට නටන ගමන්, ඒ වෙද්දිත් කට්ටියක් බුෆේ පෝලිමේ, අන්තිම උගුරත් බීලා එන්න හැරෙද්දි තමා මන් ඒ සුන්දර මුහුණ දැක්කේ…
වැඩිත් නැති අඩුත් නැති චූටි මේකප් එකකින් විච්චූර්ණ නැති සරල කොන්ඩ මෝස්තරේකින් විසිතුරු වෙලා ඉදිය එයාගෙ කලබලෙන් එහෙ මෙහෙ දුවන ඇස්.. ඔව් ඇස්.. ඒ ඇස් තමයි හැමදේටම කලින් මගෙ හිත ගත්තේ… ඒවා කතා කරන ඇස්.. මට ඒවායින් කියන කතාව කියව ගන්න බැරි උනාට ඒ ඇස් කතා කරනවා කියන එක නම් හිතා ගන්න බැරි තරම් අව්ලක් තිබ්බෙ නෑ.. නැටුම විනාඩියකට අමතක කරලා තව වතුර වීදුරුවක් ගත්තේ දැන්ම මේ මං දකින දසුනින් ඈත් වෙන්න හිතට බෑ වගේ දැනුන නිසා…ඒ ගමන්ම මෙච්චර වෙලා මේ මන් මේකිව දැක්කෙ නැත්තේ කෝමද කියලා මම මගෙන්ම අහගන්නවා මට ඇහුනා.. පැංචියෙක්වත් තනියට ලගින් තියාගෙන කේක් බෙදන මේ කෙල්ල මගෙ හිතට මං දන්නෙත් නැතුවම රිංගලා කියලා මට හිතුනෙත් නෑ එවෙලේ නම්…
එන එන කෙනා අතට ගන්න ප්ලේට් එකෙන් වෙඩින් කේක් අරන් තියන කඩිසර දෑත්… ඒ එක්කම ඒ හැම කෙනෙක්ටම කේක් කෑල්ලත් එක්කම ලෝබ නැතුව සංග්රහ කරපු මන්දහාසය.. ඔව් ඒ දෙවෙනි වතුර වීදුරුව හිස් කරන ගමන් නෝට් කරගත්තුවා… කියන්න අමතක උනා.. කෙල්ලොන්ට මේ ලෝකෙ මොන තරම් ඇදුම් තිබුනත් මන් උන්ව දකින්න ආසම ඇදුම වෙච්චි සාරියකින් සැරසිලා ඉදිය එයා ඕනම ඇදුමකට ගැලපෙන හැඩ නාරි දේහයක් කියන වග උඩට උඩට ගොඩ ගහපු ප්ලේට් වලටවත් වෙඩින් කේක් පුරවන් ඉදිය වේවැල් කූඩෙටවත් වහන් කරගන්න පුලුවන් උනේ නෑ…
හිතේ ඇදුන රූපේ හැබෑවට දැක්කම උබලට කෝම දැනෙයිද..මටත් අන්න ඒකම වීගෙන එනවා දැනුනා… මටම කැපෙන උසට… සුදූම නැති ඒත් කලුත් නැති තලෙලුවට වඩා පැහැපත් ඒකිගෙ මූනෙම පාටම අත් වලත් තිබ්බා.. (මතක තියාගනිල්ලා කොල්ලනේ ඒක බලන්නම ඕන එකක්.. නැත්නම් ඊලග දවසේ දකිද්දි උබ කලින් දවසේ දැක්කේ මේකිමද කියලා හිතෙන්න තියෙන සම්භාවිතාව වැඩි) යාලුවෝ ඩාන්සීන් ෆ්ලෝර් එකේ විසිල් කරද්දි… ඇග නැටවෙන මියුසික් එකට ඩීජේ මල්ලි සිංදු මික්ස් කරද්දි වෙනදා මටත් කලින් එතනට දුවන කකුල් අද හිරි වැටිලා.. ඇත්තටම මට ඒ නාදුනන්නිගෙන් තත්පරේකට හරි සමුගන්න ලෝබ හිතුනා…වෙනදා යාලුවෝ කන්න අඩගහනකොටත් උබලා කාපන් මන් නටලා එන්නම් කියපු මන්.. බුෆේ ඒක තව විනාඩි 10න් ක්ලෝස් කරනවා කියලා නිවේදනේට අනේ වහගනින් උබලගෙ බුෆේ කන එක හැමදාම කරන්නේ ඒ වගේද මේ ආතල් එක කියලා නටන මන් …. මාව දන්නෙ නැති උන් අරූ මොනාද බිව්වෙ අහන තැනට වැටෙන මන්… අද ඒ සේරම අමතක වෙලා.. එතකොට යාලුවෝ.. ආයේ හිත කිව්වා.. යාලුවෝ සැක් උන් නම් මොක්කුද ඔය පදුරකට ගැහුවත් විසිවෙන්නේ.. අද තරහ උනොත් හෙට වෙන එකෙක් හොයා ගන්නවා හිතුවේ අද මිස් උනොත් මේ කෙල්ල ආයේ හෙට හොයා ගන්න වෙයිද කියන එක ගැන විස්වාස තියන්න හිත කැමති උනේ නැති නිසා..
කන්න අදහසක් නැතත් කට ලගට පුරෝපු වතුර වීදුරු දෙකකින්ම බඩ පුරෝලා ගියත් හෙමීට මාත් පෝලිමට එකතු උනේ ඒ රූපේ ලගට දකින්නද නැත්නම් කරන්න කියන්න දෙයක් හිතා ගන්න බැරුව මාව රොබෝ කෙනෙක් වෙලාද කියලවත් මන් අදටත් දන්නෙ නෑ…මගේ වාරේ ආවා ප්ලේට් එක අතට ගත්තා … මන් බලන් ඉදියේ ඒ ලොකු ඇස් දිහා විතරයි… ඒ අතරින් ඡායාවක් වගේ කේක් කෑල්ලක් ප්ලේට් එක උඩට එනව වගේ පෙනුනා …
මන් කතා කරනවා ඒත් වචන එන්නේ නෑ…අහන්න ඕනා ඒවා එක පෙලට තරගෙට ඔලුව ඇතුලේ කැරකෙනවා … ඒත් වචන වෙන්නෙ නෑ… වෙනදට කෙල්ලෙක් දැක්කම කටට එන එකක් කියලා නැත්නම් සතේකට ගනන් නොගෙන පාඩුවෙ යන මම අද මේම අසරණ වුනේ කෝමද කියලා මටම හිතා ගනන් බැරුව ඉන්න කොට කෝම හරි අමාරුවෙන් එකද දෙන්නේ ඇහුවේ කේක් ඕනවට නෙවේ උත්තරයක් ලැබුනොත් මේ රූපෙට හිමි කට හඩ මොන වගේද දැන ගන්න ආස උන නිසාමයි…
පෙනුමටම ගැලපෙන්න කෙල්ලෙක්ට තියෙන්නම ඕනා ආභරණයක් වෙච්ච පොඩි ආඩම්බරකමකින් මං දිහා බැලුව එයා.. උත්තර දුන්නෙත් ඇස් වලින්… හරි ඉතිම් තව එකක් දුන්නා කියලා ඔයාට මුකුත් වෙන්නෙ නෑ.. මං ආයේ හඩ අවදි කරා.. ඒත් මේකි නම් නෙවේ කට නම් ඇරියේ.. සමහර විට මං වගේ තව ඕන තරම් අයියලා ඕම ට්රයි කරන්න ඇති.. උබ ඔය හැරෙන්නේ කේක් කෑල්ලට නෙවේ පොල් පැලේට එයාට හිතෙනවා ඇති.. මගෙ හිත මට කිව්වා… අන්තිම පාරට තව එකම එක අවස්ථාවක් අරන් බලපන් ඒ අස්සෙම හිත කියනවා වගේ ඇහුනා..
“මං කෝමත් කන්නේ නෑ ඕවා.. ඒත් නංගිලා දෙන්නෙක් ඉන්නවනේ.. ඕක එකක් ගෙනිච්චම බෙදා ගන්න රංඩුව.. දෙකක් තිබ්බම ලේසි.”. (උන් දන්නවා නම් උන්ව විකුනනවා කියලා වෙඩින් කේක් කෑල්ලකට.. අනික දෙකක් තියා හම්බෙන එකත් ගෙදර අරන් යන්නෙ ඒහෙමත් දවසක. ..කමක් නෑ ඕමවත් වැඩක් නැත්නම් නංගිලා ඉදලා මොකටද .. මමම හිතා ගත්තා) “හා කමක් නෑ ඔයාගෙ ඩියුටිය හරියට කරන්නකෝ…” මගේ කටට දැන් වචන එනවා.. ඒත් ඒකි බීරිද කොහෙද .. ඒකි නෙවේ හ්ම්ම් කිව්වේ.. දැන් නම් පොඩි තරහකුත් එනවා.. ඒ අස්සෙන් ආව බොලද හිතුවිල්ලක් නිසා “හරි මේකත් එපා මේකත් ඔයා තියා ගන්න .. මන් වගේ දෙකක් ඉල්ලුව කෙනෙක් ඉදියොත් මේකත් එක්ක එයාට දෙකක් දෙන්න “.. මං මට දුන්න කේක් කෑල්ලත් ආයේ කූඩෙට දාල කෑම බෙදාගන්න ගියේ මට පස්සෙන් බුෆේ පෝලිමට කට්ටිය එකතු වෙනව ඇස් කොනට පෙනුන නිසා.. ඒ එක්කම තව පාරක් ඒ ලොකු ඇස් දිහා බලපු මන් යන්තමට රවලා වගේ බත් බෙදාගන්න ලෑස්ති වෙද්දි ඒකි මා එක්ක හිනා උනාදෝ කියලා එක මොහොතකට හිතුනා…
කන්න ඕන නැතත් බෙදාගත්ත කෑම එකත් අරන් ආව මම ආයෙත් හිතුවක්කාර උනා… “මගෙ කේක් එක..” මම ඉල්ලුවා.. එතකොටවත් මට නෝන්ඩියට මොනා හරි කියයි හිතුවත් එක වචනයකට කට හෙලෙව්වෙ නැති මේ අඩම්බරකාරි ආයෙම කේක් කෑල්ලක් අරන් මට දික් කරා.. හරි නංගි ඔයා ඒම නම් මාත් ඒමයි.. ඩෝන්ට් කෙයාර් බැලමක් දාල කේක් කෑල්ල ගත්ත මම මේ සේරම සද්ද නැතුව බලන් ඉදිය පොඩ්ඩි දිහාට හැරුනා.. “පැටියෝ මේක ඔයාට මං ගානේ හොදේ.. ඉන්න ගමන් පුලුවන් නම් අර පන්ඩිත අක්කිට කියලා දෙන්න ගොඩක්ම ආඩම්බර උනාමත් ගැලපෙන්නේ නෑ කියලා” මුකුත් නොතේරෙන වයසේ ඒකිට කිව්වේ මූනට කියාගන්න බැරුව ඉදිය ඒ වචන ටික ආඩම්බරකාර වෙඩින් කේක් කෑල්ලට ඇහෙන්න ඕනා නිසාමයි…
කේක් කෑල්ල ගත්ත පොඩ්ඩි මොනාද කියන්න හැදුවත් ඒ අහන්න නොයිද මම කෑම එකත් අරන් හෝල් එකට ආවේ බෙදා ගත්ත පිගාන කන්න එපැයි හිතන ගමන්… ඩාන්සින් ෆ්ලෝර් එකෙන් ඈතට වෙන්න තිබ්බ නිදහස් ටේබල් එකක් බලල වාඩි උනේ කන්න ඕන නැතත් මොකද මට උනේ කියල නිදහසේ හිතන්න ඕන උන නිසා… අනික අතිජාත පාපතර මිත්රයන්ගෙන් ඈත් වෙලා ඉන්න එක මේ වෙලාවේ කරන නුවනට හුරුම දේ කියන එක මගෙ පුන්චි මොලේට තේරුන නිසා… කන්න වාඩි උනත් විනාඩි ගානක් එකම අහුර අන අන ඉන්න මගෙ ඔලුවේ තෙරපෙන හැගීම් එක්ක මට මා එක්කම තනියම හිනා… පෝන් එක අතට අරන් “අම්මේ ඔයාගෙ පුතා හෙව්ව කෙනා හම්බුනා… ඔයා ඉක්මනට නැන්දම්මෙක් වෙන්න යන්නේ” කියලා වමතින්ම ටයිප් කරපු මම පෝස්ට් එක ශෙයාර් කරලා ආයේ ඔන්ලි මී දැම්මේ උබට නම් හොදටම පිස්සු කියල මටම කියාගන්න ගමන්… ඒ අතරෙත් මගෙ ඇස් එහෙ මෙහෙ දිව්වෙ ඒ ආඩම්බර වෙඩින් කේක් කෑල්ල හොය හොය උනත් මගෙ ඇස් මග ඇරලා ඉන්න තරම් එයා කල්පනාකාරි වෙනවදෝ මට හිතුනා…
“සොයා සොයා ආවා ඒ හෙව්ව මැණික හම්බුනා ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා” ඩීජේ මල්ලිත් වෙලාව බලල මටම සින්දු දෙනවද මංදා මට හිතුනා… අනනවා විතරයි කන්නෙත් නෑ.. කෝමත් හිත පිරිලා ඉන්න මට අද රෑටත් නොකා ඉන්න පුලුවන් කික් එකක මන් ඉදියේ… මනමාලයාට කියලා මනාලිගෙන් හෙමීට විස්තර අහගන්නවා… කෙනෙක් ඉන්නවද දන්නේ නෑ දැනටමත්… ඒම උනොත් මොකද කරන්නේ ආයේ මගෙ හිත මගෙන්ම ප්රශ්න කරනවා.. නෑ නෑ උබ එච්චර අවාසනාවන්ත නෑ ආයේම යටි හිත මට කියනවා..
මගේ මනෝ ලෝකේ ඒම ගොඩක් වෙලා ඉන්න උනේ නෑ… “අඩෝ භල්ලෝ තෝ කනවද..? ඒයි මේ බලපන් සච්චා.. මූ අද බීලද.. තෝ නටන්නේ නැද්ද… වරෙන් යකෝ ආතල් එකක් ගන්න..” අපොයි හෙනහුරෝ ටික මාව වට කරගත්තා.. මොනා කරන්නද මුන්ට මේවා තේරුම් කරන්න පුලුවන් මට්ටමක එකෙක් වත් නෑ… බඩගින්නක් ආව .. උබලා කෝමත් කන්නේ නෑ නේ මන් කන්න ආවා…මං කිව්වා.. මෙන්න මෙහෙ වරෙන් විකාර නැතුව.. ආයේ අපේ උන්.. හරි හරි යමන් මං එන්නම්… පිගාන ඒමම තියෙද්දි මං නැගිට්ටා.. අත හෝදන්න ගිය ගමන් බැලුවත් කේක් බෙදන කෙනා මාරු වෙලා.. ඩෙසර්ට් මොකටද මගෙ ඇස් එයාව හොයනවා.. ම්හු.. එයා නෑ.. අත් හෝදගෙන හිත හදාගෙන ඩාන්ස් ෆ්ලෝර් එකට යනකොට ඈත කෙලවරක අර පැංචිට බත් කවන එයාව දැක්කත් එතනට යන්න කකුල් වලට හයියක් ආවේ නෑ.. හිත එතනටම දුවද්දි මන් ආයේ කකුල් ඩාන්ස් ෆ්ලෝර් එක දිහාට හැරෙව්වා…
අපේ උන් මැද්දට වෙලා නටන්න ගත්තත් ගත විතරයි එතන තිබ්බේ.. හිත කොහේද ඈතක අතරමං වෙලා.. වෙනදා මටත් කලින් නැටවෙන අත පය හොලවගන්නත් අද වෙනම මහන්සියක් වෙන්න වෙලා.. එක එකා කරේ එල්ලුනත් පෝන් වල සෙල්ෆි කැමරා මූන ඉස්සරහා කැරකුනත් ඇස් තිබ්බෙම අර ඈත කෙලවරේ…
විනාඩියෙන් විනාඩිය ගෙවිලා ජෝඩුව පිටත් වෙන වෙලාව ආව.. මන් ඒ අතරේ සිය පාරක් ඒ ඇස් එක්ක දොඩමලු වෙන්න හැදුවා..ඒත් ඒ හැම වෙලේම ඒ ඇස් මොකක්දෝ හේතුවකට මගෙ ඇස් මගඇරියා… කමක් නෑ එක හීනෙන් එලි වෙන්නෙ නෑ නේ මං හිත සනසා ගත්තා… ඒම ලේසියකට පරාද වෙන්න මං කෝමත් පුරුදු වෙලා ඉදියේ නෑ.. අද දුරට වෙලා මේම හරි බලන් ඉදියත් හෙට.. මන් කල්පනා කරා.. මේ ගැන අහන්න වෙලාවක් හෙව්වත් ජෝඩුවම කලබලේ ඉන්න වෙලේ හදිසි වෙලා නාගන්න ඕන නෑ. .. මගෙ හිත මට කිව්වා..
ජෝඩුව හැමෝටම සමු දීලා පිටත් උනා.. අපේ උන් දැන් කන්නේ.. ආයේ කමු කිව්වට මගෙ ඔලුව දාහක් දේවලින් පිරිලා.. උබලා කාපල්ලා කීව මං එලියට ආවේ වෙඩින් කේක් කෙල්ලට අදට සමුදෙන්න හිතන්… කමක් නෑ කටහඩ ඉක්මනටම අහනවා බලන්නකෝ මන් එයාට මගෙ හිතෙන් කිව්වා… යන්න එලියට බැහැපු එයා මං දිහා මං බලන් ඉදියා.. යන්න අඩියක් ඉස්සරහට තිබ්බ එයා නතර උනා.. අපෙ ඇස් යාවුනා.. ඒ ලොකු ඇස් වල මොකක්දෝ නොතේරෙන කතාවක් තිබ්බා.. මං ගොලු වෙලා බලාගෙන ඉද්දි එයා මං දිහාට එනවා පෙනුනා.. මේක වෙන්න බෑ මගෙ හිත මට කිව්වා… මේ කෙල්ල උබව හොදටම පිස්සු වට්ටලා.. නැත්නම් ඒකි මං දිහාට එනවා වගේ මට පෙනෙයිද.. මන් මාවම කොනිත්ත ගත්තා.. ඒත් මට පේන්නේ ඒකි මං ඉස්සරහා ඉන්නවාමයි.. මං ඇස් පිහ දැම්මා.. නෑ ඇත්තටම ඒකි මං ඉස්සරහා.. දවල් ඉදන් අහන්න බලන් ඉදිය කට හඩ හෙමීට හරිම පැහැදිලිව තැන්පත්ව මට ඇහෙන්න ගත්තා..”මෙන්න නංගිලා දෙන්නට.. “එයා කේක් කෑලි දෙකක් මට දික්කරන් ඉන්නවා.. මං ගොලු වෙලා බලන් ඉද්දි “මටත් අයියෙක් ඉන්නවා එයා නම් කවදාවත් කේක් ගෙනාවෙ නෑ ඔය වගේ” ආයේ එයා දොඩමලු උනා.. මට හිනාවක් ගියා.. එයත් හිනා උනා.. ඇස් වලින් වගේම තොල් වලිනුත්.. තෑන්ක්ස් මට කියාගන්න ලැබුනේ එච්චරයි.. කේක් කෑලි දෙක අතට අරන් ආයේ මං කට අරින්න හදනකොටම අර පොඩ්ඩි කොහේදෝ මන්දා ඉදන් දුවන් ආවා.. “අම්මේ අපි යන්නෙ නැද්ද.. ” මට හීනෙන් වගේ ඒම ඇහුනා.. පොඩ්ඩි දිහා බලල හිනා උන මම ඒ හිනාවෙන්ම එයා දිහා ආයේ බැලුවා.. මං දිහා ඒ ලොකු ඇස් වලින් බලල තාමත් මට කියවගන්න බැරි උන හිනාවක් එක්ක මොකක්දෝ කතාවක් කිව්ව එයා පොඩ්ඩිගෙ අතින් අල්ල ගත්තා … එයාලා යන දිහා කිසිම අදහසක් නැතිව මං බලන් පරිස්සමට හිතින් මිමිනුවා.. ඒ අස්සෙම කොහෙන්දෝ මන්දා සිංදුවක් මගේ ඔලුව ඇතුලේ ප්ලේ වෙන්න ගත්තා..
තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා…
කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිදුන් නිදි නෑ මා යනවා…
ප.ලි. එයා එදා ඒම ගියත් හිතේ ඇදුනු ඒ මොහොත ඒ ඇස් දෙක අමතක කරන්න පුලුවන් උනේ නෑ.. බුකියට පිං සිද්ධ වෙන්න යාලුවගෙ වෙඩිමට සුබ පතපු එයාගෙ පෝස්ට් එකෙන් එයාගෙ නම ගම හොයා ගත්ත මම අදටත් මතක් වෙන හැම වෙලේම ඒ නම සර්ච් කරනවා.. රික්වෙස්ට් කරලා කරදර නොකරත් එලියෙ ඉදගෙන බලන්න මහ දෙයක් නැති උනත් කතා කරන ලොකු ඇස් දෙක බලල එනවා… මට දැනුන තරමට එයාට මාව දැනුනද දන්නෙ නෑ.. මං හිතන්නේ මට ඒක අදාලත් නෑ.. මට දැනුනා ඒ ඇතිනේ.. අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. ඈතින් ඉදන් බලාගෙන හිතින් කරන ආදරේ අයිති කරගෙන කරන ආදරේට වඩා ලස්ස්නයි අවංකයි…අදටත් මං හිතන්නේ ඒම… තාමත් වෙඩිමක ගියාම එයාව මතක් වෙලා වෙඩින් කේක් බෙදන කෙල්ලො දිහා එක පාරක් හරි උනන්දුවෙන් බලන්න මම අමතක කරන්නෙ නෑ.. සතුටු වෙන්න ඒ පොඩි මතකත් ඇති..
(හුදෙක්ම නිර්මාණයක් පමණක් බව සලකන්න)
උපුටා ගැනීම: සචිත් පවින්ද නාකන්දල-