හීනයක්ද තාමත් ඔබ… (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පලවෙනි ලව් එකෙන් බූට් කාලා පිස්සු නට නටා ඉන්න කාලේ , ඒ කියන්නේ මට A/L කාලේ ක්ලාස් ගියාම හම්බෙනවා අහම්බෙන් ගෑනු ලමයෙක්.. රත්නසේකර සර්ගේ එකවුන්ට්ස් ක්ලාස්.. !! කොණ්ඩේ දිගම දිගයි.. කොණ්ඩේ බිම ගෑවෙන්න ඔන්න මෙන්න.. මිටියි.. හරි හුරුබුහුටි අමුතුම ලස්සක් තිබ්බේ..!! අඩිය තියෙන්නේ ලතාවට.. අර කාන්තා ලාලිත්යද මොකක්ද වෙන්න ඇති අන්න ඒ වගේ !!
ඉතින් මම ජීවිතේ තනිකරම පිස්සු නටන පැත්තට හරවන් හිටියේ. ලව් සික් එකට බිබී යන යන තැන කා එක්ක හරි පැටලි පැටලි මහ අජූත ජීවිතයකට හුරුවෙලා තිබ්බේ.. කොටින්ම මට අසූහාරදාහට කේන්ති යනවා.. මනුස්සයෙක් මොනා හරි කීවත් හිනාවෙලා ඒක විසදගන්න දන් නෑ. අතපය විසි කරලා ප්රශ්න විසදගන්න යන මෝඩයෙක් වෙලා.. යාලුවන්ගේ දෙයක් හරි කමක් නෑ පැටලෙන්න ඕනේ..
ඉතින් අර ගෑනු ලමයට ඇත්තටම හිත ගියා.. පස්සෙන් යනවා.. අපි ස්කෝල දෙකක , ටවුන් දෙකක.. එයා ඉතින් ඉරිදා ක්ලාස් එනකන් බලන් ඉදලා බස් එකෙන් බැස්ස තැන ඉදන් මම පස්සෙන් යනවා.. මාව ඉතින් තඹේකට ගණන් ගන්න තියා ඇහැක් ඇරලා බලන් නෑ.. අඩුම එයාගේ යාලුවෙක්වත් මාව කෙයාර් කරන් නෑ. එයා කරන්න දෙන්නෙත් නෑ.. එයාගේ නම හොයාගන්නත් මාස 4ක් විතර ගියා.. එයාගේ ස්කෝලේ කොල්ලන්ගේ මුකුත් අහන්න විදියකුත් නෑ උන් එක්කත් අපි වලි..
ඔහොම ගිහින් අමාරුවෙන් ඒ පැත්තේ කොල්ලෙක් ශේප් කරන් නම අහ ගත්තා , කා එක්ක හරි යාලු වෙලාද ඉන්නේ කියලා ඇහැව්වම මේ වෙනකන් කවුරුත් එක්ක යාලු වෙලා නෑ.. ස්කෝලෙවත් එහෙම අවුලක් නෑ කීවා.. දැන් ඉතින් තව ගණන් බලන් එපැයි..
සාමාන්යයෙන් කොල්ලෙක්ගෙන් කෙල්ලක් ගැන ඇහැව්වම කෙල්ල අවුල් නම් අතිනුත් දාලා තව වැරදි කියනවා.. ඒකට මෙයා ගැන කාගෙන් ඇහැව්වත් හොඳ විතරයි..
” මට එයාව සෙට් කරලා දීපන්කෝ මචං “
කීවම ගත් කටටම කියන්නේ අපෝ උබට ඒ කෙල්ල හරියන් නෑ කියලා.. ඉතින් මම අහනවා ඇයි බන් හොඳ නැද්ද එයා කියලා. එතකොට උන් කියන්නේ
” යකෝ උබ වගේ අමනයෙක්ට ඒ අහිංසක කෙල්ල හරියන් නෑ.. ඒ කෙල්ලගේ ජීවිතේ කන් නැතිව හිටපන් ” කියලා..
දැන් මටත් ඕනේ හැදෙන්න.. මේ වගේ කෙනෙක් එක්ක ජීවිතේ හදාන පිලිවෙලට ඉන්න ඕනේ , මේ පුරුදු අත් අරින්න ඕනේ කියලා මම හිතට පොරොන්දු වෙලා පස්සෙන් යනවා.. මාස 8ක් විතර ගියා ගියා බලන්නෙවත් නෑ.. එයාගේ යාලුවො දෙතුන් දෙනෙක්ම ඇවිත් කීවා පස්සෙන් එන්න එපා.. එයා ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ අරකයි මේකයි කියලා..!!
කොහොම හරි දවසක් මට එයා එක්ක කතා කරන්න ලැබුනා.. මම හිතන්නේ එයාටම කතා කරන්න ඕනේ උනා. මට ඉතින් මෙයා කියනවා
” බලන්න ඔයාගේ මූණේ හැටි.. බීලා බීලා මූණෙන් අරක්කු ගන්න පුළුවන් , ෂර්ට් එකේ බොත්තමක් ඇරන් රස්තියාදුකාරයෝ වගේ යන යන තැන කාටහරි මොනාහරි කියලා පැටලෙනවා.. මැරයෙක්ද ඔයා ? මට ඕනේ නෑ ඔහොම කෙනෙක්. මට ඕනේ පිලිවෙලට ඉන්න කෙනෙක්. ඒ නිසා කරුණකරලා ආයේ පස්සෙන් ඇවිත් කරදරයක් වෙන්න එපා.!!
මම ඉතින් හැරෙන තැපෑලෙන් හැදෙන්න තීරණය කලා.. ලස්සනට ඇදලා පිලිවෙලට යනවා.. බොන්නේ නෑ.. එහෙම කරලත් තාම ඩෝන්ට් කෙයාර්..
මේක හරියන වැඩක් නෙමෙයිනේ , ඔහොම දවසක් ක්ලාස් ඇරිලා ස්ටෑන්ඩ් එකට යනකන් පස්සෙන් ගියා.. එයාලගේ බස් එක එනකන් එයා යාලුවෝ එක්ක කතාව දාන් ඉන්නවා මං දිහා බලන්නෙවත් නෑ..
මට ඉතින් ඉවසීම ඇත්තෙම නෑනේ.. මට ඇත්තටම තිබ්බේ ඒ දවස්වල පුදුම දඩබ්බරකමක්.. වෙන දෙයක් වෙයිනේ කියලා මම ගියා ලගට.. ගිහින් යාලුවෝ මැද්දෙම එයාගේ අතින් අල්ලලා මං ලගට ගත්තා.. කම්මුලට කිස් එකක් දුන්නා.. දීලා කීවා
” තමුසේ මගේ විතරයි.. මම තමුසෙට ආදරෙයි මෝඩියේ..”
එයා වචනයක්වත් කතා කරන් නෑ.. ඇස් බය වෙලා මං දිහා බලන් ඉන්නවා.. එක්කෝ මට අත පුරෝලා කනට එකක් ගහන්න ඕනේ , එහෙමත් නෑ.. එයාගේ යාලුවෝ කට ඇරන් බලාන ඉන්නවා. විනාඩියක් දෙකක් මාත් බලාන හිටියා.. එතනින් ආවා..
ඊළඟ දවසේ මට එයා පණිවිඩයක් එවලා තිබ්බා එන්න කියලා.. මාත් ගියා..
” හ්ම්ම් මමත් ඔයාට කැමතියි “
තව කතා ටිකකුත් කියලා ඔහොම කීවා.. මට ඉතින් මල් හතයි. අපරාදේ මාස ගාණක් පස්සෙන් ගිහින් කට්ට කෑවේ.. මුලින්ම කිස් එකක් දීලා මෙහෙම කියන්න තිබ්බේ කියලා හිතුනා..
පස්සේ කාලෙක මම එයාට යන්න දෙනවා මගේ ජීවිතෙන්. ඇත්තටම මට හැදෙන්න බැරි උනා.. එයා වගේ හොඳ ගෑනු ලමයෙක්ට එවලේ හිටපු මාව ගැලපුන් නෑ.. එයාට තිබ්බේ පුදුමාකාර හොඳ ගතිගුණ.. එහෙම ගතිගුණ තිබ්බ ගෑනු ලමයෙක් මට වෙන නම් හම්බෙලාම නෑ.. අදටත් මම ගොඩක් ගරු කරන ගෑනු ලමයා.. එයාට ඕනේ උනේ මාව එයාගේ ලමයෙක් වගේ පරිස්සම් කරන්න. මගේ ජීවිතේ හදන්න.. මම එයා ලග ඉන්නකොට කොච්චර හොදට හිටියත් එතනින් එළියට ගියපු ගමන් මම ප්රශ්න වල පැටෙලනවා.. ඒවා නිසා එයා විදවනවා.. එයා එහෙම වෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි.. එයාට ගොඩක් හොඳ ජීවිතයක් ලැබෙන්න ඕනේ කෙනෙක්.. මොකද මටවත් ඒ කාලේ ෂුවර් එකක් තිබ්බේ නෑ මම හැදෙයි කියලා.. පස්සේ කාලෙක ස්කෝල වලින් එලියට ගිහින් ජොබ් එක්ක පෑහෙනකොට අපි නිකන්ම හැදුනා.. ස්කෝලේ දඩබ්බර චරිත නිකන්ම හැදුනා.. එතකොට ඉතින් එයාව නැති වෙලා ඉවරයි..
මම හිතන්නේ මගේ ජීවිතේ නරකම කාලේ ලැබුන හොඳම කෙනා එයා වෙන්නැති..!!
ඒක නෙමෙයි ඉතින් කියන්න ඕනේ උනේ.. පොදූ ඩ්රාමා එක මම බලන් නෑ.. ඒත් අහම්බෙන් ඒකේ මේ ක්ලිප් එකේ ඩයලොග් එක දැක්කාම මට මතක් උනේ ඒ අතීතේ.. ෆිල්ම් වල ඩ්රාමා වල වෙන දේවල් අපි ජීවිතේ ප්රායෝගිකව කරලා තියෙනවා.. අතීතේ මතක් කරලා දුක් වෙන්නම නෙමෙයි මේවා දැක්කාම හිනා ගිහින් පොඩි සතුටකුත් එනවා..!!
” තියා අතීතය මා ළඟ
පියාඹා ගියාවද ඔබ
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ…” 🥀❤️
උපුටා ගැනීම :  Lahiru Herath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!