අලියන්ටයි ළමයින්ටයි දගලන්නෙ නැතුව ඉන්න බෑ කියනවනෙ. ඔන්න ඔය කතාවත් මට නම් 200% ක්ම ගැලපුනා. ඉතිං අම්මා දන්නවා මගෙ සද්දයක් නෑ කියන්නෙ මහා සුලි කුණාටුවක පෙර නිමිත්තක් කියලා. ඒ හින්දා මම ටිකක් සද්ද බද්ද අඩූ කරා කියන්නේ අම්මා මාර විදියට කලබල වෙනවා.
ඉතිං ඔන්න කොහොම කොහොමහරි ශිෂ්යත්ව විභාගය ත් අත් ලගටම ආවා. අපෙ අම්මා, ලොකු අම්මා කිරිඅම්මා හැමෝම හතර අතට හැමැතැනටම භාරහාර වෙනවා. වැඩිපුරම ඉතින් කිරි අම්මා තමයි. එයාලා භාර වුනාට මට මොකද මම මගේ පාඩුවේ කාටත් කරදරයක් නෑ.
ඉස්කෝලෙන් අන්තිමට දුන්න පේපර් ඒකටත් ලකුණු එකසිය අනූ ගාණක් තිබ්බළු. අපේ ක්ලාස් ටීචර් තමයි කියන්නේ මට නම් ඕවා ෂුවර් නෑ. එයා නම් ඔය තවත් කියන්නේ දග නැත්තං පංතියේ හිටපු හොඳම දරුවා කියලා.
ඔන්න ඉතින් හෙට ශිෂ්යත්ව විභාගය කියලා අපෙ ගෙදර අය මාර විදියට ලෑස්ති වෙනවා. තාත්තා සුදූ ගවුමක් අයන් කරලා හැකි එකේ එල්ලලා. අම්මො සුදු සපත්තු දෙක දාන්න ආසාවෙ බෑ හෝදලා පොලිෂ් කරලා පැත්තකින් තියලා. පොලිෂ් කරාද නැද්ද දන්නෙ නෑ පේන්නේ ඒ විදිහට තමයි.ඒ වැඩ කරන්නෙ තාත්තා නෙ. ඉතිං මම දන්නෙ නෑ. ඒ අස්සේ කෑම මේසය උඩ අසමෝදගම් බෝතලයකුත් තියෙනවා.
“අම්මේ.. කාගෙද බඩ රිදෙන්නෙ. අම්මගෙ ද තාත්තගෙද”
” ඇයි පුතේ එහෙම අහන්නෙම”
“අර කෑම මේසෙ උඩ අසමෝදගම් බෝතලයක් තියෙන්නේ”
” අනෙ මගෙ පුතේ ඒ ඔයාගෙ බඩ රිදුනොත් දෙන්නනෙ. හෙට මා පුතා ශිෂ්යත්ව විභාග ලියන්න යනවා නෙ. ඉතිං අද බඩේ අමාරුවක් හැදුනොත් පුතාට හෙට හරියට උත්තර ලියන්න බැරි වෙයිනෙ.”
ඔන්න ඔහොමළු අපෙ අම්මයි තාත්තා යි මට ආදරේ.
ඔන්න ඔහොම ටික වෙලාවක් ගියා. නිකං ඉන්නත් කම්මැලි අප්පා. මොකද කරන්නේ.. ම්ම්ම් මොකුත් අයිඩියා එකක් එන්නෙත් නෑනෙ අප්පා.
අප්පටසිරි අම්මා මොකද මගෙ පෑන් පැන්සල් අදින්නේ. අද නම් බෑ පේපර් කරන්න. පැනපාං… කොහෙට හරි.. ඔන්න රතු නිවේදනයක් පැමිණුනා මම පැන්නා මේසයෙන් බිමට. අහෝ පින්වතුනි සද්දෙට අම්මා හැරිලා බැලුවා.
” පුතේ අද නම් කොහෙවත් යන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුනොත් ගුටි තමයි අම්මගෙන්”
” අනේ මට අද පේපර්ස් කරන්න බෑ.. මම අද හොද ළමයෙක් වගේ හිටියනෙ. ” චුට්ටක් කදුළු ගන්න ට්රයි කරන ගමන් කීවා.ඒත් දකුණු ආවෙ නෑ.
“කවුද දැං පේපර්ස් කරන්න කීවෙ”
“එහෙනම් අම්මා ඔය පෑන් අදින්නේ.”
” අයියො ඒකද මේ.. මේ මම ඔයාට හෙට එක්සෑම් ලියන්න යද්දි ගෙනියන ටිකනෙ ලෑස්ති කරෙ.”
” ඒ කියන්නේ අද මට සෙල්ලං කරන්න දවසම.”
“හ්ම් සෙල්ලම් කරන්න කාටූන් බලන්න ඕනෙ එකක් පුළුවන් හැබැයි ගේට්ටූවෙන් එලියට යන්න බෑ”
” හා.. මගෙ හොද අම්මා”
ඔන්න ඔහොමයි අම්මගෙයි මගෙයි කතාව ඉවර වුනේ.
ඔන්න මම ටීවී බලනවා. කාටූන් යනවා. ඇඩ් යනවා. කාටූන් යනවා ඇඩ් යනවා.වෙලාවත් පහ හමාරයි. මට ඕකත් එපා වෙනවා. චූටි බඩගින්නක් එනවා. බිස්කට් කනවද වෙන මොනවා හරි කනවද බිස්කට් කනවද වෙන මොනවා හරි කනවද.
ඔන්න මම යනවා බිස්කට් ටින් එක පැත්තක. බෑ දැං බිස්කට් කන්න බෑ. යන්න ඕනෙ මිදුලට. අප්පටසිරි අර ලොවි ගහේ බලබ් දාලා වගේ තියෙන්නේ. මෙච්චර කාපන් කියද්දි නොකා ඉන්න පුලුවන් ද? නැග්ගා ගහට මම දැං ගහ උඩ. ගහ උඩ ඉදං කන තරං ආතල් එකක් කොහෙද. අම්මා දන්නවද ඕවා. මම දැං කනවා. වට පිට බලනවා. කාලා ඉවරයි කියලා ගහෙන් බහින්නම ඕනෙද නෑනෙ නෑනෙ. මම ඉන්නවා ටිකක් වෙලා.
ඈහ් යකෝ කවුද ගේට්ටුව ඇරියෙ.මම ඔන්න හැරුණා. තාත්තනෙ. ගෙට යන්න කලින් අල්ලගන්න ඕනෙ.
“තාත්තෙ…. “
“හිමීට බහින්න පුතේ පරිස්සමින්…”
තාත්තා කෑ ගහනවා මම බහිනවා. මම බහිනවා තාත්තා දුවගෙන එනවා. මම බහිනවා. තාත්තා කෑ ගහනවා.
“එපාහ්… ඕකට අඩිය තියන්න එපාහ්..”
එච්චරයි ඇහුනෙ මිත්රවරුනි අත්ත කඩාගෙන මම බිම.
ආහ් එච්චර අලාභහානි නෑ අම්මගෙ මල් පෝච්චි දෙකක් විතරයි ඉවර වුනේ.
තාත්තා දුවගෙන ලගට ආවා. මම නැගිටින්න හැදුවා. “අම්මෙ… ඌයි..” මොන නැගිටින්න ද මම කෑ ගහල ඇඩුවා මිසක් අත් රිදෙනවා ඉන්න බෑ.
මාව ලගම හොස්පිටල් ගෙනිච්චා. එක්වේ ගත්තා. අත කැඩිලා කීවා. නෑ නෑ හොස්පිටල් එකේ තියාගත්තේ නෑ කෙලින්ම කැඩුම් බිදුම් වෙදකම කරන වෙදසීයා කෙනෙක් ලගට. අම්මො සනීපෙ. කදුළු වැක්කෙරෙනවා. ඒ දවස් ටිකේම වැඩේ කට්ටිය බෙහෙත් බදින එක.ඉතිං ඔන්න ඔහොමයි මම ශිෂ්යත්වය ලීවෙ. දවස් ගානක් සෙල්ලං කරන්න නැතිව ඉන්න වුන එක තමයි දුක. ඇයි යකූ මොන සෙල්ලං ද අත බෙල්ලෙ එල්ලගෙන. හූම්ම් අපරාදෙ නිවාඩු කාලේ.
දැං නම් අම්මා කියනවා මම එහෙම හරි ලීවෙ නැති නිසා අම්මගෙ නම්බුව බේරුණාළු. ලීවා නම් මම ෆේල් වෙලා නම්බුවක් නැතිව යනවළු. අනික් අය කරපූ පාඩම් කරපුවාගෙන් බාගයක් වත් මම කරෙ නෑළු.
(සැ.යූ.- ලොවි යනු උගුරැස්ස නොවන බව කරුණාවෙන් සලකන්න.
උපුටා ගැනීම: Senu Senu