හිමිකම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුපුරුදු පරිදි උදේ පාන්දරම ඔෆිස් ආව රංගට දකින්න ලැබුණේ අමුත්තන් සදහා වෙන් කර ඇති සෝෆාවේ වාඩිවී සිටින සුදු සාරියකින් සැරසුණු වයස අවුරුදු හතළිහක් පමණ වන කාන්තාවක්..ඇයගේ අතේ වයස අවුරුදු දෙකක් පමණ වන ගැහැණු දරුවෙක්ද නිදාගෙන සිටියා..රංග ඇය දෙස බලමින්ම කාර්යාලය තුළට යාමට දොර තල්ලු කලා..එම කාන්තාව රංග දෙස බලා දුක්බර මලානික සිනහවක් පෑවා..
රංග සේවය කලේ රටේ ප්රසිද්ධ පෞද්ගලික රක්ෂණායතනයක ප්රධාන කාර්යාලයේ ජීවිත හිමිකම් අංශයේ..ඔහු කටයුතු කලේ මරණ හිමිකම් සම්බන්ධයෙනුයි..
කාන්තාවගේ අංග ලක්ෂණ අනුව ඇය තම සැමියාගේ මරණ හිමිකම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පැමිණ ඇති බව තේරුම් කර ගැනීමට රංගට අපහසු කාරණාවක් උනේ නෑ..කොහේ හෝ ඈත ප්රදේශයකින් එළිවෙන පාන්දරම පැමිණ ඇති ඇය රාජකාරි වේලාව පටන් ගන්නා තෙක් පොරොත්තු වෙමින් සිටින බවත් රංග වටහා ගත්තා..
ඔහු වහාම ආරක්ෂක අංශය ඇමතුවා..
” හෙලෝ..ගුණරත්න, ගුඩ් මෝර්නින්ග්. මම ක්ලේම්ස් එකේ රංග..කව්ද මේ ගෑණු මනුස්සයෙක් උඩට එවල තියෙන්නෙ?”
” ගුඩ් මෝර්නින්ග් සර්. ඒ නෝනා ඩෙත් ක්ලේම් එකකට මොණරාගල ඉදන් ඇවිල්ල තියෙන්නෙ සර්. උදේ හයාමාරට විතර ගේට්ටුව ගාවට ආවා.. විස්තර අහල සිකුරිටි එකේ වාඩි කරවල තියල ෆ්ලෝර්ස් අරින වෙලාවට උඩට එව්වා..ඇයි මුකුත් ප්රශ්නයක්ද සර්?”
” නෑ නෑ ගුණරත්න..අවුලක් නෑ..මම බලන්නම්”
ඒවනවිට එකා දෙන්නා බැගින් අනිත් කාර්යාලයීය සගයන් තම රාජකාරි සදහා කාර්යාලයට එමින් සිටි අතර රංගගේ මිතුරෙක් වූ සමන් පැමිණ රංගට බ්රෙක්ෆස්ට් ගැනීමට ආරාධනා කලා..කාන්තාව පිලිබඳව සංවේදී වූ රංග තමන්ගෙ උදේ ආහාර ගැනීම පසෙක දමා ඇය වෙතට පා නැගුවා.
“ගුඩ් මෝර්නින්ග් මැඩම්. මම රංග…මොකක්ද දන්නෙ නෑ මැඩම් උවමනාව?”
” ගුඩ් මෝර්නින්ග් සර්..මගේ මහත්තයාගෙ මරණ හිමිකම ගන්න ආවෙ සර්”
” හරි..මිස් එන්න..”
දරුවාද කරපින්නාගත් ඇය තව ටියුලිප් බෑගයක්ද රැගෙන රංග පසුපසින් පැමිණියා..තම මේසය ඉදිරිපිට අමුත්තන් සදහාවූ පුටුව ඇද ඇයට වාඩි වීමට සැලැස්වූ රංග තම අසුනේ වාඩි උනා.
” පොලිසි නම්බර් එක එහෙම තියෙනවද මැඩම්?”
ඇය එවිට තම බෑගයෙන් ෆයිල් එකක් ඇද රංගට දුන්නා..එහි රක්ෂණ ඔප්පුව මෙන්ම විවාහ, උප්පැන්න ආදී හිමිකමට අදාල සියලු ලියකියවිලි තිබුණා..එහි ඇති විස්තර අනුව රංග තම පරිගණකය මගින් රක්ෂණ ඔප්පුවේ විස්තර සෙවීමට පටන් ගත් අතර ඒ ගමන්ම ටී රූම් එකට කෝල් කර තම මේසයට ටී එකක් ගෙනෙන ලෙස කිව්වා..
ඒ අතරතුර රංග ඇගෙන් තොරතුරු විමසුවා..
“මැඩම් මේ දීලා තියෙන මරණ සහතිකේට අනුව මහත්තයා හදිසි හෘදයාබාධයකින් තමයි නැති වෙලා තියෙන්නෙ..එහෙම නේද?”
“ඔව් සර්…අපි බැඳලා දැන් අවුරුදු පහක් වෙනවා..එයාව මට මුණගැහුනේ මම බදුල්ලෙ ෆැක්ටරියක වැඩ කරනකොට..එයා ඒකේ සුපවයිසර්…එයා එතකොට බැඳලා හිටිය මනුස්සය හරිම
නපුරුයි එයාට හරියට සලකන්නෙ නෑ කියල හරිම දුකෙන් හිටියේ..එහෙම ඉන්නකොට තමයි අපි අතරෙ සම්බන්ධයක් ඇතිවෙලා අර කසාදෙ කටු ගාලා මාව කසාද බැන්දේ..මේ දරුවට එන මාසෙට අවුරුදු දෙකක් වෙනවා සර්…අපි බදුල්ලෙමයි කුළියට ගෙයක් අරං හිටියේ..මහත්තයා නැති උනාට පස්සෙ මම ආයෙ මොණරාගල මගේ මහ ගෙදරට ගියා සර්…එහෙත් ඉන්නෙ මගේ අම්මයි තාත්තායි බැඳපු නැති නංගියි ඉස්කෝලේ යන මල්ලියි විතරයි සර්..මහත්තයාගෙ තුන්මාසෙ දානෙ දෙන්න තමයි මේ හිමිකමේ සල්ලි ඕන සර්”
කතාව අනවශ්ය ලෙස දික් ගැස්සෙන බව වැටහුණු රංග තම පරිගණකය දෙස බැලුවා..තිරයේ දර්ශනය වූ තොරතුරු දුටු ඔහු කාන්තාවට මොහොතක් වාඩිවී සිටින ලෙස පවසා වහාම නැගිට තම ප්රධානියාගේ කාමරයට ගියා..
“ගුඩ් මෝර්නින්ග් බොස්..මම එන්නද විනාඩියකට?”
” ගුඩ් මෝර්නින්ග් රංග බෝයි..කම් කම් හෑව් අ සීට්..මොකෝ උදේම?”
” බොස්, මගේ ටේබල් එකේ ඉන්න ලේඩි මොණරාගල ඉදන් ඇවිත් තියෙන්නෙ එයාගෙ හස්බන්ඩ්ගෙ ඩෙත් ක්ලේම් එකට..වැඩේ තියෙන්නෙ බොස් මේ පොලිසි එකේ බෙනිෆිෂරිව නොමිනේට් කරල නෑ”
“හරි..ඔයා ඩොකියුමන්ට්ස් අරං එයාව යවන්න..වෙන මුකුත් කියන්න එපා..අපි ලියුමකින් කියල යවමු..ඇත්තටම මේ ඉන්නෙ වයිෆ් නම් කොහොමත් ක්ලේම් එක දෙන්නෙ එයාටමනෙ”
“ඕකේ බොස්..තෑන්ක් යූ”
නැවත තම මේසයට පැමිණි රංග ලියකිවිලි සහ සහතික වල ජායාපිටපත් ගැනීමට මේසයෙන් ඉවත්ව ගොස් එම අදාල ලියකියවිලි ජායාපිටපත් කරගැනීමට පටන් ගත්තා..ඒ අතරේ සේවිකාවක් විසින් තේ බන්දේසියක් රැගෙන පැමිණි ආකාරයත් තම දරුවා එම සේවිකාව අතට දුන් කාන්තාව වොෂ් රූම් එකට යන ආකාරයත් රංග නිරීක්ෂණය කලා..
ලියකියවිලි වල පිටපත් රැගෙන රංග තම මේසයට පැමිණෙන විට කාන්තාව තේ එක බොමින් සිටි අතර දරුවා එවිටද සුවබර නින්දක පසු වුනා..
“හරි මැඩම්…අපි මේ ඩොකියුමන්ට්ස් ප්රොසෙස් වෙන්න දාල මැඩම්ට දන්වලා එවන්නම්”
“බොහොම ස්තුතියි සර්..මම ගිහින් එන්නම්” යැයි පැවසූ කාන්තාව බී ඉවර වූ තේ කෝප්පය මේසය උඩින් තබා නැගී සිටියාය..
එවිටම වාගෙ තවත් කාන්තාවක් සහ පිරිමි දෙදෙනෙකු සමග කාර්යාලය තුළට කඩා වැදුණේ “හහ් මේ ඉන්නෙ නල්ලමලේ අම්මණ්ඩි මෙතැනට ඇවිත්..අයියෙ මේකි මගේ මිනිහ ගත්තා මදිවට මැරිච්ච එකේ සල්ලිත් ගන්නයි යන්නෙ”යැයි මහා හඩින් පවසමිනි..
කාර්යාලය තුළ පැතිරගියේ මහා නිශ්ශබ්දතාවයකි..මුලින් පැමිණි කාන්තාව බියට පත්වූ බවක් පෙනී ගිය අතර ඇය අසරණව වටපිට බැලුවෙ පළායෑමට තැනක් සොයන්නාක් මෙනි…අතේ උන් දරුවාද අවදිව හඩන්නට වූවා..
“ඇයි පැනලා යන්නද? පට්ට පදුරු…”ආදී ලෙස පසුව පැම්ණි කාන්තාව බැන වදින්නට පටන් ගත් අතර කාර්යාලයේ ප්රධානියාද තම කාමරයෙන් ඉවතට පැමිණියා..රංග වහා ඔහු අසලට ගියේය..
“කව්ද කව්ද මේ උදේ පාන්දරම? රංග මොකක්ද මේ වෙන්නෙ?”
” දන්නෙ නෑ බොස්..” යැයි පැවසූ රංග ” අර ලේඩි කිව්වා එයා මැරුණු කෙනාගෙ දෙවැනි කසාදෙ කියලා..මට හිතෙන්නේ මේ පළවෙනි කසාදෙ වයිෆ්” ලෙසද කීවේය..
“ඕ අයි සී.. එන්න කියන්න මගේ රූම් එකට” යැයි පැවසූ ප්රධානියා තම අසුන කරා ගියේ ඔලුව දෙපසට වනමිනි..
රංග වහාම පිරිස අසලට ගොස් නිශ්ශබ්ද වන ලෙස පවසන විටත් ආරක්ෂක නිළධාරීන් හතර දෙනෙකු ඔවුන් දෙසට එමින් සිටියා..
“සර්, මැඩම් මෙතන ඔෆිස් එකක් කෑගහන්න ඕන නම් එළියට ගිහින් ඕන එකක්” ලෙස එක් ආරක්ෂක නිළධාරියෙක් ඔවුන්ට කීවා..
එවිටම දෙවැනි කාන්තාව සමග පැමිණි පිරිමින් දෙදෙනා කෝප වී
“අයිසෙ තමුසෙ කව්ද අපිට ඔහොම කියන්න? සිකුරිටි ඉන්නවා සිකුරිටි විදියට” ලෙස පැවසූවා..
එවිටම එයට මැදිහත් වූ රංග ” මිස්ටර් වැදගත් විදියට මේ උදේ පාන්දර කතා කරමු..ඔයාලගෙ පෞද්ගලික ප්රශ්න වලට අපි පලි නෑනෙ..එළියට ගිහින් විසදාගන්න නැත්නම් අපි පොලිසියට කියනවා” ලෙස තදින් පැවසූවා..
එයට මෙල්ල වූ ඔහු ” නෑ සර් මේ ඉන්නෙ මගේ නැන්දාගෙ දුව..මගේ අක්කා කෙනෙක්..මෙයාගෙ හස්බන්ඩ් සේපාල අයියා නැති වෙලා තියෙන්නෙ..මේ ඉන්නෙ ඩොකියුමන්ට්ස්” යැයි බෑගයකින් ලියකියවිලි එළියට ගත්තා..
“එහෙනම් මේ මිස්ට යන්න පුලුවන්” යැයි රංග පළමු කාන්තාව අමතා පැවසීය..
“එහෙම යන්න දෙන්නෙ කොහොමද? මරණ සහතිකේ මේ ගෑණි ගාව” යැයි දෙවැනි කාන්තාව කීවේ මහ හයියෙනි..
“මොකක්? එහෙම කොහොමද වෙන්නෙ? එන්න ඔය දෙගොල්ලොම බොස්ගෙ කාමරේට.. හැබැයි කෑගහල ප්රශ්න විසදන්න බෑ”
දෙපිරිසම රැගෙන ප්රධානියාගේ කාමරයට ගිය රංග ඔවුන්ට අසුන් පැනවීය..ඔහු ආරක්ෂක නිළධාරීන්ටද අසල රැදී සිටීමට කීවේ යමක් සිදුවුවහොත් එය පාලනය කිරීමටය..
“ඔව් දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නෙ රංග?”
“බොස් මේ මැඩම් උදේ ඩොකියුමන්ට්ස් දුන්නා එයාගෙ හස්බන්ඩ් මිස්ටර් සේපාලගෙ ඩෙත් ක්ලේම් එක ගන්න..ඩොකියුමන්ට්ස් දීලා යනකොට මේ තුන්දෙනා ඇවිත් කියනවා මේ අනිත් මැඩම් තමයි මිස්ටර් සේපාලගෙ වයිෆ් කියල..හැබැයි ඩෙත් සෙටිෆිකට් එක තියෙන්නෙ මේ පළවෙනියට ආව මැඩම් ගාව”
මේ වනවිට දෙවැනි කාන්තාව පිපිරීමට ආසන්නව මෙන් තරහක් මුහුණේ දරා සිටිමින් සිටි අතර පළමු කාන්තාව දරුවා නළවමින් කතාවට සවන් දෙමින් සිටියා..
“හරි දැන් මිස්ටර් සේපාල පළමු කසාදෙන් ඩිවෝස් වෙලාද මේ මැඩම්ව මැරි කලේ?” යැයි ප්රධානියා පළමු කාන්තාවගෙන් විමසුවා..
එවිට ඇය “ඔව් සර් සේපාල මට එහෙම තමයි කියල තිබුණේ..ඇරත් දැන් අවුරුදු පහක් තිස්සෙ සේපාල නැති වෙනකල්ම හිටියේ මගෙත් එක්ක”
එවිටම දෙවැනි කාන්තාව “හහ්…පෙනේද මේ අම්මණ්ඩි කියන බොරුවල හැටි..සේපාල මාව කවදාවත් දික්කසාද කරල නෑ..මැරෙන්නත් දවස් තුනකට කලින් ඇවිත් මගේ දුක සැප බලල ගියා..බොරුනම් අහන්න මේ මල්ලිගෙන්” යැයි ඇය සමඟ පැමිණි අනිත් තැනැත්තාව පෙන්වූ අතර ඔහු එයට හිස ඉහළ පහළ වනමින් ” ඔව් ඔව්” යැයි පිළිතුරු දුන්නා..
මෙහිදී යමක් තේරුම් ගත් ප්රධානියා “අපි සමාගමක් විදියට බැදිලා ඉන්නවා ඔප්පුවේ නම් කරල තියෙන ප්රතිලාභියාට හිමිකම ලබා දෙන්නට..ඒක ඔප්පු හිමිකරුවාගේ කැමැත්ත වගේම අපි ඔහුට ලබා දුන් පොරොන්දුව..අපි එම පොරොන්දුව ඉටු කිරීමට නීතියෙන් බැදිලා ඉන්නවා..වැඩේ තියෙන්නෙ මේක ටිකක් පරණ ඔප්පුවක්…ඒ කාලෙ ප්රතිලාභියාව පසුව දන්වනවා කියල සමහර අය ඔප්පු අරං තියෙනව..දැන් කාලෙ නම් අපි ඔප්පුවක් ගනිද්දී අනිවාර්යයෙන්ම ප්රතිලාභියාව නම් කරන්න කියල තියෙනව..ඉතින් මේ පරණ ඔප්පුවේ ප්රතිලාභියාව නම් කරල නෑ..අපි මිස්ටර් සේපාලට ඒක මතක් කරල ලියුම් දහයක් යවල තියෙනව..කෝල්ස් හතක් දීල තියෙනව..ඒ හැම කෝල් එකකටම මිස්ටර් සේපාල කියල තියෙන්නෙ මම දන්වලා එවන්නම් කියන එක විතරයි.. ප්රතිලාභියාව නම් කරල නැති විටක අපි හිමිකම දෙන්නෙ එම රක්ෂණ ඔප්පු හිමියාගේ නීතික හිමිකරුවන්ට..ඒ කියන්නෙ මරණ කරු විවාහකනම් ඔහුගේ කාලත්රයාට..අවිවාහක නම් දෙමාපියන්ට ආදී වශයෙන්..මෙතැන දැන් මිස්ටර් සේපාල ගෙ නම තියෙන විවාහ සහතික දෙකක් එක්ක කාන්තාවො දෙන්නෙක් ඉන්නවා…දෙදෙනාම තමන් මිස්ටර් සේපාලගෙ විවාහක බිරිඳ ලෙසට හදුන්වා ගන්නවා..ඒක නිසා මේක අපිට විසදන්න බෑ..පොලිසිය උසාවිය මාර්ගයෙන් තමයි විසදන්න වෙන්නෙ” යැයි පැවසුවා..
එවිට දෙවැනි කාන්තාව” එහෙම කොහොමද කියන්නෙ? මමයි කසාද ගෑනි මටයි සල්ලි ලැබෙන්න ඕන” ලෙසට පැවසුවා..
එවිට ප්රධානියා ” මැඩම්..මේක ආයතනයක්..පොලිසියක් නෙවි..මැඩම්ලට මම දැන් පැහැදිලිව කිව්වා කරන්න ඕන දේ..මැඩම් ඒක විසදාගෙන එන්න එතකොට මට මේ හිමිකම් මුදල නිදහස් කරන්න පුලුවන්” ලෙසට කීවිට එතැන සිටි වැඩිමහල් පිරිමියා ” හරි සර්..තේරුනා..අපි එහෙනම් ඒ විදියටවත් කරමු..යං අක්කේ” යැයි පවසා ඔවුන් සමග පිටව ගියා..ඔවුන් පසුපසින් ආරක්ෂක නිළධාරීන්ද ගමන් කලා..
පළමු කාන්තාවද නැගිට “එහෙනම් යන්නම් සර්” ලෙස කීවද ඇගේ මුහුණේ තිබුණේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයක්..
“මැඩම් ටිකක් ඉදල යන්න..මොණරාගල ඉදන් මේ බබා උස්සගෙන තනියම ඇවිත් මහන්සිත් ඇතිනෙ..කෝකටත් තව ටික වෙලාවක් ඉදල යන්න..යන්න..තේ එකක් බිව්වා නේද?” යැයි පැවසූ ප්රධානියා “රංග මේ මැඩම්ව ඔයාගෙ ටේබල් එකට එක්කගෙන ගිහින් අරගොල්ලො ගියාද කියන එක සිකුරිටි ගෙන් චෙක් කරගෙන අපේ වාහනේකින් බස් හෝල්ට් එකට ඩ්රොප් කරවන්න” යයි ප්රධානියා කීවා..
රංග පසුපසින් පැමිණ රංගගේ මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වූ ඇයගේ දෙකොපුල් දිගේ කදුළු වැගිරුණා..
ආරක්ෂක කුටියට ඇමතුමක් ගත් රංග එම කාන්තාවට කොළඹ ප්රධාන බස් නැවතුමට යාමට ආයතනයේ වාහනයක් සූදානම් කරන ලෙස උපදෙස් දුන්නා..
“නෑ සර්..සේපාල මට එහෙම කරන්නෙ නෑ..කලින් කසාදෙ මනුස්සයට සල්ලි ඕන වෙලා…ඒකයි මේ..සේපාල අපිට එහෙම කරන්නෙ නෑ..මේ කෙල්ල සේපාලගෙ පණ සර්…එයාට අමතක වෙලා ප්රතිලාභියාව නම් කරන්න..එයාගෙ තිබ්බ වැඩ එක්ක අමතක වෙලා..එයා අපිට වැරැද්දක් කරන්නෙ නෑ…ඒක මට ඉරහද වගේ විශ්වාසයි සර්” ලෙසින් ඇය මිමිණුවා..
රංගගේ හිත කඩා වැටුණා..සේපාල කුමක් හෝ හේතුවක් නිසා තම රක්ෂණ ඔප්පුවේ ප්රතිලාභියාව නම් කර තිබුණේ නැහැ..එමෙන්ම පෙනී යන අයුරින් ඔහු තම පළමු විවාහයෙන් දික්කසාද වී තිබුණේද නැහැ..එය එසේ වුවහොත් හිමිකම ලැබෙන්නේ පළමු බිරිඳට බව දන්නා රංගගේ උගුර මොකක්දෝ දේකින් හිරවුනා වගේ දැනුණා..
එවිටම ආරක්ෂක කුටියෙන් ආ ඇමතුමෙන් කියැවුණේ වාහනය සූදානම් බවයි..රංග ඇයට ආරක්ෂක කුටිය අසලට යන ලෙසත් එහි සිටින නිළධාරීන් ඇයව වාහනයකින් බස් නැවතුමට ගෙනයාවි ලෙසටත් පැවසුවා..
“බොහොම ස්තුතියි සර්…අපි ගිහින් එන්නම්” ලෙස පවසා දරුවා වඩාගත් ඇය එක අතකින් බෑගයත් එල්ලාගෙන පිටව ගියා..
රංග එදෙස බල සිටිනු දුටු ප්රධානියා රංග දෙසට ඇවිද ආවා..” මොකෝ අප්සෙට් ගියාද? ඕක තමයි පුතා කියන්නෙ අනිවාර්යයෙන්ම ලයිෆ් ඉන්ෂුවරන්ස් පොලිසි එකක් ගත්තම ප්රතිලාභියාව නම් කරන්න කියල..අනික මිනිහ පළවෙනි කසාදෙන් ඩිවෝස් වෙලත් නෑ වගේ..නැත්තන් ඔහොම එන්නෙ නෑ..දැන් බලන්න මේ මනුස්සය කරපු වැඩේ නිසා පවුල් දෙකක් අවුල් ගියානෙ…..හරි හරි උදේට කාලත් නෑනෙ තවම..ගිහින් කාල එන්න”
රංග කල්පනාබරිතව තම උදෑසන ආහාර වේල ගැනීමට නැගී සිටියා…
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!