“ඇයි මිනිස්සු හිනාවෙන්න ඕනේ ? “
කාගෙන් හරි ඇහුවා නම් උත්තර දාහක් තියෙන්න පුලුවන් ප්රශ්නෙකට මං තනියම උත්තර ගොනු කරා.
” සමහර හිනාවල් ඇයි ඒ තරම්ම වටින්නේ ? “
විවිධාකාර හේතූ නිසා අමතක නොවෙන හිනාවන් ඒ ප්රශ්නෙත් එක්ක මගේ හිතේ ඇඳුනා.
සමහර හිනාවල් තියෙනවා ජීවිතේ එක එක තැන් වල එක එක පාඩම් උගන්නපු.
ඉතින් මේ එහෙම හිනාවල් ගැන කතාවක්.
• හොඳටම දුක හිතිලා හිටපු එක දවසක මාතර – පානදුර බස් එකේ වාඩී වෙලා ඉද්දී එහා පැත්තෙන් වාඩී උනේ ටිකක් කොට ගවුමක් ඇඳපු ගෑනූ ළමයෙක්.
බස් එක ගොඩගම එන්ට්රන්ස් එකෙන් ඇතුලට දානකොට හිතේ තිබුණ දුක දෝරේ ගලලා කඳුලු බිංදු දෙක තුනක් වැටුනා.
” ඔයා හොඳින් ද ? “
එහා පැත්තේ ගෑනූ ළමයා අහද්දී හොඳින් කියන්න ඔලුව වනන ගමන් බෑග් එකෙන් ටිශූ එකක් හෙව්වේ කදුලු පිහිදන්න.
” මේක ගන්න “
එයා එහෙම කියලා ටිශූ එකක් දීලා හැමදේම හරි යයි කියලත් හිනාවෙලා කිව්වා.
එතනින් එහාට වචනයක්වත් කතා නොකරට එදා ගමනාන්තයේදී එයා හිනාවෙලා මට සමුදුන්නා.
අවුරුදු එකහාමරකට ළඟ කාලයක් ගත වෙලත් මට අදටත් ඒ හිනාව මතකයි.
පානදුරේ යන එන දවස් වල එතනින් එහාටත් මගේ ඇස් ඒ ළමයව හෙව්වට මට එයාව ආපහු මුණ ගැහුනේ නෑ ඒත් මට ඒ හිනාව අමතක වෙන එකක් නෑ.
එදා මං ඉගෙනගත්තා කෙනෙක්ව සනසන්න ගොඩක් ලොකු දේවල් ඕනේ නෑ. එකම එක හිනාවකට පුලුවන් කියලා.
• මගේ සීයාගේ මල්ලිට මං කිව්වේ චූටී සීයා කියලා. චූටී සීයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. එයා මං එක්ක කතා කරා කියලා මට මතකම නෑ.
හැබැයි මං එහේ ගියපු හැම දවසකම එයා ලස්සනට මං එක්ක හිනාවෙලා දිග පෙබල්ස් කාඩ් එකක් මට දෙනවා.
2011 එක නරක දවසක එයා ඇක්සිඩන්ට් එකක් නිසා අපිව දාලා ගියා.
මට එයාව හරියට මතක නෑ හැබැයි මට තාමත් එයාගේ හිනාව මතකයි. ඒ හිනාව මට කවදාවත්ම ආයේ දකින්න වෙන්නේ නෑ. එහෙමයි කියලා මට ඒ හිනාව කවදාවත්ම අමතක වෙන එකකුත් නෑ.
සීයා නැති උනාට ඒ හිනාව මතක් වෙන හැම වෙලාවකම මං හිතනවා අපිට කෙනෙක්ගේ මතකය ඇතුලේ අමරණීය වෙන්න හිනාවක් දුන්නාම ඇති නේද කියලා.
‘ඇත්තටම ඇති’ කියලා මටම හිතෙද්දී චූටී සීයාගේ හිනාව මගේ මතකේ ඇදිලා නැති වෙලා යනවා.
• මට චූටී කාලේ හිටියා යාලුවෙක් දම්සර කියලා. එයා අපේ ගේ ඉස්සරහ හිටියේ.
කරන්න තියෙන අණ්ඩපාල වැඩ සේරම මං කරේ එයා එක්ක. හදිස්සියෙම දවසක එයාගේ අම්මා නැති උනා.
එතකොට මට අවුරුදු හතක් විතර. දම්සර කියලා කිව්වට එයා මට වඩා වැඩිමල් නිසා එයාට අවුරුදු දහයක් විතර උනා එතකොට.
ඇන්ටිගේ මළගෙදර ගියාම මං දැනන් හිටියේ නෑ කොහොමද දම්සර එක්ක කතා කරන්නේ කියලා.
අද වගේ මතකයි එයා මරණේ තිබුණ තැනට එහා පුටුවක වාඩී වෙලා මලානික විදිහට මං එක්ක හිනා උන විදිහ.
එයා හිනා උනාට මට ඇඬුනා.
” අඬන්නේ ඇයි චූටී ? අර බලන්න අම්මා ඉන්නෙත් හිනා වෙලා… “
ඇත්තටම එයා එහෙම කියද්දි ඇන්ටිගේ මරණේ හිනාවෙලාද හිටියේ කියලා මට මතක නෑ.
ඒත් ටිකක් ලොකු උනාම ඔය සිද්ධිය මතක් වෙද්දි මට තේරුනා ජීවිතේ සමුගැනීම් වලදි හිනාවෙන එකත් හොඳ පුරුද්දක් කියලා.
• ” මං මුලින්ම අම්මට ආදරේ කරේ එයාගේ හිනා උන ඇස් වලට “
අම්මා – අප්පච්චි ආදර අන්දරය දිගාරිනකොට අප්පච්චි එහෙම කියන්නේ අම්මා දිහා යටැහින් බලන ගමන්.
පුදුම ආඩම්බරයක් එක්ක ලස්සනට හිනා උන අම්මගේ ඇස් එක්ක ආදරෙන් බැඳිලා ඒ කතාවට මුල් පොත් තියපු හැටි අප්පච්චි කියද්දි මං අම්මගේ ඇස් දිහා බලන්නේ තාමත් ඒ ඇස් හිනා වෙනවද කියලා දැනගන්න.
ඇත්තටම ඒවා තාමත් හිනාවෙනවා.
අප්පච්චි නළලෙන් තියන එක හාදුවකට පස්සේ අම්මගේ ඇස් හිනාවකින් දිලිසෙන හැටි දැක්කාම ආදරණීය හිනාවක් ගැන ගොඩක් දේවල් හිතෙනවා.
අවුරුදු විසි හතරක් එකම විදිහට හිනාවක් පරිස්සම් කරන එක ලේසී නැති උනාට ආදරේට එහෙම කරන්න පුලුවන් කියලා මං ඒ හිනාවෙන් ඉගෙනගන්නවා.
අම්මගේ හිනාවෙන ඇස් දැකලා අප්පච්චි හිනාවෙන විදිහ දැක්කාම අපිට වටිනම මිනිස්සු සතුටින් තිබ්බාම අපේ මූණට එන හිනාව කොයිතරම් ලස්සන ද කියලා මං මගෙන්ම අහනවා.
හිනාවෙලා ආදරේ ඇති කරන්න වගේම ආදරෙන් හිනාවක් රැකගන්නත් පුලුවන් කියලා මං එයාලගෙන් ඉගෙන ගන්නවා.
• ” ලොකු දෝණී වැඩිය කතා නොකරට හරිම ලෙංගතුයි හිනාවෙනකොට…”
ඊයේ පෙරේදා දවසක ගෙදර තිබුණ දානේකට කැවුම් හදන්න ආපූ ඇන්ටි කෙනෙක් අපේ අම්මට කියලා.
ඇන්ටි කැවුම් හදද්දී තේ එකක් හදලා දීලා හිනාවෙලා ගෙට ආපූ තප්පර ගාන මතක තියාගෙන ඇන්ටි එහෙම කිව්වා කියලා අම්මා කිව්වාම මට හිතුනේ මිනිස්සුන්ට ලෙංගතු වෙන්නත් හිනාවක් විතරක් ඇති නේද කියලා.
• ” එදා එයා කරපු උදව්වට තෑන්ක්ස් කරන්නවත් එයා කතා කරේ නෑ නේ. ඒ උනාට අද එයා මං එක්ක හිනා උනා… “
යාලුවට මං එහෙම කිව්වේ මට අසීරුම තැනක උදව්වක් කල එක ආඩම්බර පිරිමි චරිතයක් ගැනයි.
” ඉතින් ඔයත් හිනා උනාද ? “
ඇත්තටම මාත් හිනා උනා මූණ පිරෙන්නම.
” වැඩක් නෑනේ මෝඩී. මාස්ක් එක දාලානේ ඉන්න ඇත්තේ…”
යාලුවා එහෙම කියද්දි නම් ඇත්තටම දුක හිතුනේ මං හිනා උනා කියලා ඔහු දන්නෑ නේද කියලා හිතෙද්දියි.
ඔහු කරපු උදව්වට ස්තූතියි කියන්න නොහැකි උනාට කනස්සල්ලෙන් හිටපු මගේ හිත සැනසුනේ ඔහු එක්ක හිනා උනාට පස්සේ උනත් දැන් මං හිනා උනා කියලා ඔහු දන්නෑ කියලා හිතෙද්දී සත්තකින්ම මට දුක හිතුනා.
කමක් නෑ ඉතින් ඔහු නොදන්නවා උනාට මං හිනා උනානේ. මං එහෙම හිතලා හිත හදාගත්තා.
” සමහර විට ඔයාගේ ඇස් වලින් එයා හිනාව දකින්න ඇති…”
යාලුවා එහෙම කිව්වාම හිත තව ටිකක් හරි ගියා.
සමහර විට එහෙම නොවෙන්නත් ඇති. හැබැයි මං හිනා උනා කියලා දන්න නිසාම හිතට දුකක් නෑ.
ඔයා හිනාවෙන්නේ හදවතින්ම නම් මූණ වැහුන මාස්ක් එක ඒකට ප්රශ්නයක් නෙවෙයි කියලා මං එදා දැනුන සැනසීම එක්ක දැනගත්තා.
හිනාවක් ලබන එක වගේම හිනාවක් දෙන එකත් හිත පිරෙන්න සැනසීම ලැබෙන්න හේතුවක් කියලා ජීවිතේ එදා මට කියලා දුන්නා.
ඉතින් හිනාව බෙදාගන්න!
එකම එක හිනාවකට ගොඩාක් දේවල් කරන්න පුලුවන්.
අමාරුම තැනක උනත් තව කෙනෙක් වෙනුවෙන් හිනාවක් ඉතුරු කරන්න අපිට පුලුවන් නම් සමහර මිනිස්සුන්ට ජීවිතේ කවදාවත්ම අපිව අමතක වෙන එකක් නෑ.
පුලුවන් හැම වෙලාවකම හිනාවකින් මූණ සරසගන්න.
මගේ ජීවිතේ මට ඕනේ තරම් මුණගැහිලා තියෙනවා ගොඩාක් ලස්සන මිනිස්සු ඒත් එයාලගේ මූණේ හිනාවක් තිබිලා නෑ.
එහෙම මිනිස්සු එක්ක ආයේ ගැටෙන්න දැනෙන්නේ අසීමාන්තික අකමැත්තක්.
හිනාවක් නැති තැන් ප්රතික්ෂේප කරනවා ඕනේ තරම් ඇහිලා ඇති නේද ?
ඉතින් ඔයා ප්රතික්ෂේප වෙන ජාතියේ කෙනෙක් වෙන්න එපා. ආඩම්බර වෙන්න ඒකට කමක් නෑ. ඒත් ඕනේ තැන් වලදි ලස්සනට හිනාවෙන්න.
මොකද ඔයාට ඒ හිනාව එකම එක හිනාවක් උනාට තව කෙනෙක්ට ඒක මහ මෙරක් තරම් වෙන්න පුලුවන්.
ඉතින් මං ආපහු කියනවා ලස්සනට හිනාවෙන්න…
‘අවසානයට මෙසේ ලියා තබමි,
මේ අවසාන හමුවද කියා නුඹ මා නොදන්න හෙයින්
ලෝභ නැති හිනාවක් ඉතුරු කර යන්න…’
-තාරා-
ප. ලි.