වෙලාව උදේ 8.30 යි. මං පුරුදු විදිහට “දියත” ළඟින් බැස්සේ එක පිම්මට පන්තියට දුවන්න බලාගෙන..
වෙනදා නම් ටිකක් පරක්කු වෙන එක මහලොකු දෙයක් නෙමෙයි. ඒත් අද ඊට වෙනස්. අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා, විභාග ලියලා, ඒ සහතිකේ ගන්න දවස අද..
ඉතින් 9 ට කලින් යන්න ම ඕන. මෙතන ඉඳන් පන්තියට යන්න පැය බාගයක් වැඩිත් එක්ක. හැබැයි ඒ සාමාන්ය වෙලාවක. මේ වගේ ට්රැෆික් වෙලාවක නෙමෙයි..!
කෝකටත් කියලා ළඟ ම තිබුණ ත්රී විල් එකකට අත දාලා නැග්ගා. නැග්ගට මොකද මං තාම හිටපු තැනමයි. වෙනසකට තියෙන්නේ කලින් බිම හිටපු මං දැන් ත්රී විල් සීට් එකක ඉන්න එක විතරයි. ඒ තරම් ට්රැෆික්..
අපේ රටේ ට්රැෆික් එකකට වඩා එපා කරපු දෙයක් තියනවා නම් තියෙන්නේ, එහෙම ඉන්න අතරේ යාචකයෙක් ළඟට ඇවිල්ලා සල්ලි ඉල්ලන එක..!
අපරාදේ කියන්න බෑ, දැන් ඒකත් හරි. වැරහැලි ඇඳ ගත්ත වයසක මනුස්සයෙක් ඇවිල්ලා සල්ලි කීයක් හරි ඉල්ලනවා. තිබුණ තදියමයි, ට්රැෆික් එකයි එක්ක මට මිනිහාව පෙනුනේ යමපල්ලෙක් වගේ..
මං හිතන්නේ ඩ්රයිවර්ට පෙනුනෙත් ඒ වගේ. මිනිහත් රවලා බලාගෙන හිටියා. අපි දෙන්නගේ මූණු දැකලද මන්දා අර යාචකයා යන්න ගියා..
“හිඟන්නො මිස්.. පුදුම කරදරයක් තියෙන්නේ..”
එහෙම කිව්වේ මගෙ ඩ්රයිවර්. මමත් අමාරුවෙන් ඔළුව වැනුවේ ඒක අනුමත කරන බව කියන්න. ඒත් මේ වෙලාවේ මගේ ඔළුවේ වැඩ කරේ පන්තියට යා ගන්න එක ගැන..
එතකොට ම අර යාචක මනුස්සයා ආයෙත් මේ පැත්තට එනවා දැක්කේ පැති කන්නාඩියෙන්. ආයෙත් ඒ කතා ටික අහන් ඉන්න එක නම් මටත් කරදරයක් වෙලා තිබුණේ. හොඳ වෙලාවට එතකොට අපිට ඉස්සරහට යන්න ඉඩක් ලැබුණා..
ත්රී විල් වලට අපි බනින්නේ අපි ලොකු ලොකු වාහන වල යද්දි. මාත් ඕන තරම් ඒ අයට බැනලා තියනවා. ඒත් අද මට මේ ඩ්රයිවර්ව පෙනුනේ දෙයියෙක් වගේ..
පොඩි පොඩි තැන් වලින් රිංගලා මේ මනුස්සයා මේ ට්රයි කරන්නේ මාව 9 ට කලින් පන්තියට දාන්න. එහෙම කරා කියලා මේ මනුස්සයාගේ ගාස්තුව වැඩි වෙන්නේ නෑ..
සමහරවිට අපි ලොකු වාහනවල යන ගමන් බනින වෙලාවටත් මේ අය කරනවා ඇත්තේ කාගේ හරි ගමනක් ඉක්මන් කරන එක. ඒක ඉන්ටවිව් එකක ඉඳන්, ජීවිතේ බේරන හොස්පිට්ල් ගමනක් දක්වා වෙනස් වෙන්න පුළුවන්..
ඉතින් එහෙම බැලුවම අපි කොච්චර අසාධාරණද ?
අපි මොනවද අනිත් මිනිස්සුන්ගේ ගමන් ගැන දන්නේ ?
ජීවිතේ සම්බන්ධවත් ඒක එහෙම ම තමයි. අපි මොනවද අනිත් මිනිස්සුන්ගෙ ගමන් ගැන දන්නේ ?
දැන් මාව අරන් යන විදිහට මේ මනුස්සයාට කී දෙනෙක් බනිනවා ඇද්ද ?
“මිස් මෙතනින් බැහැලා පයින් ගියා නම් මිස්ට ලේසියි.. නැත්නම් තවත් පරක්කු වෙයි..”
දන්නෙම නැතුව පන්තිය පේන මානෙට ම ඇවිල්ලා..
“අනේ හරි.. ගොඩක් පින්.. ගාන කීයද ?”
එහෙම අහගෙන මං පර්ස් එක ගන්න අත දැම්මා. එතකොට තමයි මගෙ ඉහමොළ රත් උනේ. කෝ දෙයියනේ හෑන්ඩ් බෑග් එක..!
මට තිබුණ කලබලේට ඒක දාලා ආවද ? නෑ. නෑ. ඒක අතේ තිබුණා..
මාව දැකපු ගමන් ඩ්රයිවර් වැඩේ තේරුම් ගත්තා..
“බෑග් එක නැද්ද මිස් ?”
“අනේ නෑනේ.. ඒක කොහෙ හරි වැටිලා වගේ. මට ඔයාගේ සල්ලි දෙන්න විදිහකුත් නෑ. හැමදේම ඒකේ..”
“සල්ලි නම් කමක් නෑ මිස්. ඒ උනාට මිස්ගේ උවමනා ලියකිවිලිත් ඒකේ ඇතිනේ..”
ඒක කිව්වම මට මතක් උනේ. දැන් මේ සහතිකේ ගන්න වෙන්නෙත් නෑ. මටත් නොදැනී ම කඳුළු එන්න පටන් අරන් තිබුණේ. ඒක දැකලාද මන්දා ඩ්රයිවර් ආයෙත් වාහනේ හරවා ගත්තා. එක පිම්මට ආයෙත් ආපු පාර දිගේ..
ඒ යන අතරේ මාත් බැලුවේ කොහෙ හරි මගේ බෑග් එක තියනවද කියලා..
අන්තිමට අපි බල බලා මං වාහනයට නැගපු තැනට ම ඇවිත්. අපි ආයෙත් දියත ළඟ. ඒත් බෑග් එක නම් පේන්න නෑ. මට දැනුනේ ජීවිතේ ම කඩා වැටෙනවා වගේ. ඒ අස්සේ අර යාචකයා අායෙත් මෙහෙට එනවා. මට ආවේ පුදුම කේන්තියක්..
“මේ මනුස්සයගෙන්වත් අහලා බලමුද ?”
මං හෙමින් ඩ්රයිවර්ට කිව්වා..
“ඇහුවට වැඩක් වෙන එකක් නම් නෑ මිස්. ගත්තත් දෙන්නේ නෑ..”
ඒකත් ඇත්ත. සල්ලි ඉල්ලගෙන යන මිනිහෙකුට සල්ලි ටිකක් ලැබුණම ආයෙ ඒක දෙන්න තරම් පිස්සුවක් ඇති කියලා මාත් හිතුවේ නෑ. හැබැයි ආයෙත් සල්ලි ඉල්ලුවොත් නම් මිනිහා මගෙන් අහගන්නවා හොඳට..
කොහොම කොහොම හරි මනුස්සයා අපි ළඟට ආවා. මං කල්පනා කරේ මීට ටික වෙලාවකට කලින් කීයක් හරි මගෙන් ඉල්ලපු මනුස්සයාගෙන් දැන් මට මගේ බෑග් එක දැක්කද අහන්න වෙලා. ජීවිත වෙනස් වෙන ඉක්මන. දැන් ඇත්තටම කවුද හිඟන්නා ???
කමක් නෑ ඔන්න ඔහේ අහනවා..
“මේ සීයේ මගේ…”
“ආ මේ මිස්නේ. මිස්ගේ බෑග් එකද හොයන්නේ ? අන්න ඒක අපි අරන් තිබ්බා. මිස් ආයෙ එයි කියලා..”
මට ඒ වචන ඇහුනේ හීනෙන් වගේ. ඩ්රයිවර් උනත් හිටියේ හොල්මනක් දැකපු ගානට. ඒ සීයා අත දික් කරපු පැත්තේ ඉඳන් වැරහැලි ඇඳ ගත්ත පොඩි එකෙක් දුවගෙන ආවේ මගේ බෑග් එකත් අරගෙන..
දවසේ දෙවනි පාරටත් මගෙ ඇස්වල කඳුළු පිරුණා. හැබැයි මේ සැරේ නම් ඒ සතුටට..
මේ මිනිස්සුන්ට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරුණේ නෑ.ඒත් මං මට පුළුවන් විදිහට ටිකක් ලොකු සල්ලි කොළයක් අතට ගත්තේ ඒ සීයට දෙන්න..
“චී චී මිස්. උදව් කරලා සල්ලි ගන්න පුරුද්දක් අපිට නෑ..”
මේ ටිකකට කලින් මගෙන් සල්ලි ඉල්ලපු මනුස්සයමද කියලා මට හිතාගන්නත් බැරි උනා..!
අන්තිමට මං මගේ ගාන අහලා ත්රී විල් එකෙන් බැස්සා. ඒ ඩ්රයිවර් ගමන් දෙකකට හරියන්න එහෙ මෙහෙ පැදලත් මගෙන් ගත්තේ එක ගමනකට විතරක් හරියන්න සල්ලි..
“මිස් පන්තියට යන්න පරක්කු නැද්ද ?”
“කමක් නෑ. මං මේ ළමයත් එක්ක මොනවා හරි කාලාම යනවා..”
ඒක අහපු ඩ්රයිවර්ටත් ලස්සන හිනාවක් ගියා. ඒත් එක්කම මං ආපු ත්රී විල් එක දුරට ඇදිලා ගියා..
මං අර වැරහැලි ඇඳගත්ත ළමයගෙ කරට අතකුත් දාගෙන ටිකක් හොඳ කඩයක් හොයමින් ගියා..
මිනිස්සු මං දිහා බල බලා මොනවද කියනවා මං දැක්කා. මට ඒවා ගානක් තිබුණේ නෑ. සහතිකේ අද නැතත් වෙන දවසක හරි ගන්න පුළුවන්. ඒත් ජීවිතේ හැමදාම අපිට හම්බවෙන්නේ නෑ..!
මං ඒ ළමයා එක්ක යන දිහා අර යාචක මනුස්සයා බලාගෙන ඉන්නවා මං දැක්කා. මට ආයෙත් අර දේ ම හිතුනා. හැබැයි මේ සැරේ ටිකක් හදවත ගැඹුරින්..
“ඇත්තටම කවුද දැන් හිඟන්නා ???”
—————————————————————
මේක ඊයෙ දවසේ මගෙ මිතුරියක් මුහුණ දීපු ඇත්තම සිද්ධියක් ඇසුරින් ලියපු ප්රබන්ධයක්..
ඒ සිද්ධිය අහපු ගමන් මට හිතුනේ,
අපි ලියන සමහර ප්රබන්ධවල අපි මවන,
ඇත්තටම හිටියා නම් හොඳයි කියලා හිතන චරිත,
හැබෑවටම මේ මහ පොළොවේ ඉන්නවා නේද කියලා..
මේ ටික ලිව්වේ, නරක ඕනවටත් වඩා සමාජගත වෙන කාලෙක හොඳ දේවලුත් සිද්ධ වෙනවා කියලා ඔබට කියන්න..
ඉතින් ඒ යාචක මහත්මයා කවදාවත් මේ සටහන දකින එකක් නෑ..
ඒත් ඔහු කරපු වැඩේ නිසා මේ ලෝකයට සිද්ධ වුණු වෙනස ඒ නිසා දශමයකින්වත් අඩු වෙන්නෙත් නෑ..
සමහර වෙලාවට ලෝකය අපි හිතනවාටත් වඩා ලස්සනයි..!
උපුටා ගැනීම: – ඉෂාන් ජනිත් දිසානායක –