“සමාධි , උඹ මේ කසාදේ කරොත් උඹේ අඬු දෙක කඩනවා දැනගනින් .හදන්න පුලුවන් නම් කඩන්න බැරි කමක් නෑනේ .අපි ලක්ශ ගණන් වියදම් කරලා උඹව හැදුවේ උඹට ඕන ඕන නාඩගං නටන්න දෙන්න නෙවෙයි .උඹ ඉන්න ඕන අපි කියන විදියට .”
තමන්ගෙත් සමීරගෙත් ප්‍රේම සම්බන්ධය ගෙදරට කිව්ව දවසේ අම්මයි තාත්තයි හැසිරුනු විදිය සමාධිට මතක් උනේ සමීරගේ නංගී එයාගේ ප්‍රේම සම්බන්ධය ගැන ගෙදරට කිව්ව වෙලේ ඒ අම්මයි තාත්තයි හැසිරුනු විදිය දැකලා .සමීර එක්ක හොර රහසේම විවාහ වෙලා මේ ගෙදරට ඇවිත් අවුරුදු තුනක්ම ගෙවුනත් උඹ කියලවත් නොකියා කටපුරා සුදු දුවේ කියලා තමන්ව අමතන සමීරගේ අම්මා තාත්තා වගේ දෙමවුපියෝ ලබන්න ඒ දරුවෝ වාසනා කරලා තියෙන්න ඕනි .ඇඳ විට්ටමට ඔලුව තියාගත්තු සමාධි හිතුවේ එහෙම .
අම්මලාගේ රූකඩයක් වෙලා ගතවුනු අවුරුදු 23 ටම අම්මලා ලඟ තමන්ට කතා කරන්න ආදරණීය වදනක් තිබුනේ නෑ නේද කියලා සමාධි කල්පනා කරා .තේරෙන දවසේ ඉඳන්ම අම්මලා කතා කරේ සමාධි කියලමයි . තමන්ට වඩා අවුරුදු පහකට බාල වුනු සමාධිගේ මල්ලිට නම් චූටි පුතේ කියනවා සමාධිට ඕන තරම් ඇහිලා තියෙනවා . චූටි කාලේ ඉඳන්ම සමාධි ඒ ගෙදර ගෙව්වේ හිරකාර ජීවිතයක් .තමන්ගේ වයසේ අනිත් අය වටපිටේ යාලුවෝ එක්ක සෙල්ලම් කරනකොට සමාධි ගේ ඇතුලේ තනිවෙලා ඉඳියා .පාසලෙන් යන අද්යාපන චාරිකා ගැන කිව්වම සමාධිගේ තාත්තා කිව්වේ බැඳපු දවසක මිනිහා එක්ක යන දීපංකරේක යනවා කියලා .ඒ නිසාම ඒ හීනෙත් සමාධිට හීනයක්ම උනා .හය ශ්‍රේණියේදි සෞන්දර්ය විශයන් තෝරාගන්න කොටත් සමාධි ආසාවෙන් ඉඳපු නර්තනය අත අරින්න වුනේ අම්මලාට ඕන වුනේ සමාධි චිත්‍ර විශය කරනවා දකින්න නිසා .ඒකට තහංචි බඳින්න සමාධිගේ අම්මලාට ලස්සන හේතුවකුත් තිබුනා .ඉස්කෝලෙන් පස්සේ නවතින්න වුනොත් එක්කං යන්න කෙනෙක් නැහැයි කියන එක .
සාමාන්‍ය පෙලින් පස්සේ උසස් පෙලට ජීව විද්‍යාව තෝරගන්න වුනෙත් අම්මලාගේ කීමට .පලවෙනි පාර උසස් පෙල විභාගය අසමත් වෙද්දී ඒ වැරැද්දත් තමන් පිටම දාලා අම්මලා ඉස්කෝලේ මැද්දෙම කෑ ගහනකොට සමාධිගේ ගුරුවරු පවා කිව්වේ සමාධි කලා විශය ධාරාව කරානම් මේ අවුරුද්දේ පාසලේ හොඳම ප්‍රතිපලය සමාධිගේ වෙන්න තිබුනා කියලයි .
.දෙවෙනි වතාවේ උසස් පෙල සමත් උනත් තාත්තගේ ඔෆිස් එකේ ඉඳපු කමල් අංකල්ගේ පුතා මෙඩිසින් සිලෙක්ට් වුනු එක ගැන කියව කියව අම්මා බැනපු හැටිත් , මල්ලී සාමාන්‍ය පෙල අසමත් වුනත් කිසිම දෙයක් නොකියා හිටපු හැටිත් සමාධිට මතක් වුනේ එක පෙලට . පොඩ්ඩ වැරදුනු ගමන් තමන්ට වියදම් කරපු මුදල් ගැන කියලා බනින අම්මා ගැනත් , වචනේ වැරදුනු ගමන් තමන්ට ගහන්න ඉනේ තියෙන බෙල්ට් එක ඇදලා ගන්න තාත්තා ගැනත් සමාධිට තිබුනේ අප්පිරියාවක් .
උසස් පෙල විභාගය ඉවර වුනු ගමන් තමන් ගෙදර නිල නොලත් වැඩ කාරිය උනු හැටිත් ,ඇඳුමක් ගන්න ගියත් අම්මා පස්සෙන් ආපු හැටිත් , සෙරෙප්පු දෙකේ ඉඳන් ඔලුවට ගහන කොන්ඩ කට්ට දක්වා හැම දෙයක්ම අම්මා තීරණය කරපු හැටිත් සමාධිට මතක් උනා .උසස් පෙලින් පස්සේ සමාධි සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරන්න ආසාවෙන් ඉඳියත් අම්මලාගේ කීමට ගණකාධිකාරය පිලිබඳ පාඨමාලාවක් හදාරන්න වුනත් ඒ තීරණය ගැන නම් සමාධි අම්මලාට පින් දුන්නා . ඒ සමීරව තමන්ට මුණ ගැහුනේ එතනදී නිසා .පාඨමාලාව අවසන් වෙනවත් එක්කම සමීර එක්ක හොර රහසේම විවාහා වෙන්න හේතුව වුනෙත් සමාධිගේ හිතේ අම්මලා ගැන තිබුනු අප්පිරියාව .
විවාහා වෙලා ආපු අලුතම වගේ අම්මලාගේ හැම දේපලක්ම මල්ලිගේ නමට ලිව්වා කියලා ආරන්චි වුනත් සමීරත් සමීරගේ අම්මාත් කිව්වේ ඒ කිසි දෙයක් එයාලට ඕන නෑ කියලයි.
එදා ඉඳන් අද වෙන තුරාවට අම්මලාගෙන් එකම එක දුරකතන ඇමතුමක් වත් ආවේ නැති උනත් පහුගිය අවුරුදු තුනටම තමන් හිටියේ සතුටින් වග සමාධි දන්නවා .පුංචි පුංචි රණ්ඩු සරුවල් සමීර එක්ක සිදු වුනත් කවදාවත් ඒ දේවල් පැය කීපයක් වත් දිගට ඇදුනු ඒවා නෙවෙයි .නිදහස උපරිමේටම තිබුනු ඒ බැඳීම ඇතුලේදී වැරැද්දක් වෙන්න ගියොත් ආදරෙන් ලඟට අරන් ඔලුව අත ගාලා හරි වැරැද්ද පෙන්නන ආදරණීය දෙමාපියෝ යුවලකුත් ලැබුනු එක ගැන සමාධි හිටියේ කියන්න බැරි තරම් සතුටින් .
…………………………..
මේ කතාව ඇත්ත සිදුවීමක් ඇසුරෙන් ලියපු කතාවක් .නම් ගම් විතරක් වෙනස් කරලා කතාව සිදු වුනු පිලිවෙලටම මේ විදියට ලියන්න හිතුවේ මේ කතාව හැමෝටම වැදගත් වේවි කියලා හිතුන නිසා .මේ කතාව කියවන අය අතරත් දෙමවුපියෝ සහ දෙමව්පියෝ වෙන්න ඉන්න අය ඇති .ඒ අයගෙන් ඉල්ලන්න තියෙන්නේ කවදාවත් දරුවෙක්ව තමන්ගේ රූකඩයක් කරගන්න එපා .අපේ දරුවෝ වුනත් ඒ අය ඒ අයට ඕන නිසා මේ ලෝකෙට එන්නේ නෑ .එයාලා එන්නේ අපිට ඕන නිසා .පුංචි දරුවෝ වුනත් එයාලටත් ආසාවන් තියෙනවා. අපේ ආසාවන් ඉශ්ට කරගන්න දරුවෝ පාවිච්චි කරන එක නම් හරිම පහත් වැඩක් .දෙමවුපියෝ විදියට එයාලට මග පෙන්වීමක් විතරක් කරන්න .එයාලව බලාගන්න .ඒත් එයාලව පාලනය කරන්න යන්න එපා . එයාලා වෙනුවෙන් දියදම් වුනු මුදල් ගැන කවදාවත් එයාලා ඉස්සරහදී කියන්න යන්න එපා . එයාලට වියදම් කරන්න කියලා එයාලා කියලා නෑ .එහෙම කියනවා නම් දරුවෝ හදන්නත් එපා .ඒකෙන් වෙන්නේ එයාලා තමන් ගැන හීන මානයක් ගොඩ නගා ගන්න එක . ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ගැන එයාලගේ හිතේ අප්‍රසාදයක් ඇති වෙන්නත් පුලුවන් . ඒක කේන්තියක් වෙලා සමාජයෙන් ඒ කේන්තිය පිට කරන්නත් පුලුවන් . ඉතිහාසයේ විශාල සමාජ සංහාර කරපු අයගේ අතීතය හොයලා බලන්න .ගොඩක් අය ඒ වගේ දෙමව්පියන් ගේ වරදින් එතනට ආපු අය .ඒ විදියට දරුවෝ හදලා එයාලා ලොකු වුනාම දෙමාපියන්ව පාරට ගෙනත් දැම්මා කියලා ඒ දරුවන්ට වැරදි පටවන්න එපා .හිතලා බලන්න තමන් ඒ දරුවට සැලකුවේ කොහොමද කියලා .
උපුටා ගැනීම: Chathuu Pothuwila