හිරිපිටියේ මහාරාල

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හිරිපිටියේ රාළ නම් වූ ශ්‍රේෂ්ඨ උත්තමයා සොයා ගිය ගමන 〰️〰️〰️〰️〰️〰️〰️〰️

පෙර රජ දවස සිංහල රාජ නීතියට අනුව ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ පරම්පරාවකින් පැවත එන රාජකීයයකු විය යුතු අතර එම උරුමකරු දළදා වහන්සේගේ උරුමකරුද විය යුතු බව ඉතිහාසය පිරික්සන විට දත හැකිය. කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් විසින් කාලිංග දේශයේ සිට ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කළ අතර ඔවුන් දෙදෙනාගේ දරු පරපුර දළදා වහන්සේගේ භාරකාරත්වය ඇතිව විසූ ක්ෂත‍්‍රීය වංශිකයෝ වූහ. මේ නිසා පසුකාලීන බොහෝ රජවරුන් දන්ත කුමාර පරපුරේ කුමාරිකාවන් අග‍්‍ර මහේසිකාවන් කළ අතර ඔවුන්ගෙන් ලත් පුතුනුවන් මෙරට ඔටුණු පැළදීමට සුදුස්සෝ වූ බව ඉතිහාසයේ සදහන්ය.

ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ ශාස්තෘවරයාණන් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ශ‍්‍රී දේහය ආදාහනය කළ අතර ඉන් ශේෂ වූ ධාතූන් වහන්සේලා දඹදිව රජකළ නොයෙක් රාජ්‍යයන්හි රජ දරුවන් විසින් බෙදා හදා ගන්නා ලදී. එම අවස්ථාවේදී ඛේම නැමැති රහතන් වහන්සේ විසින් බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේ ලබාගෙන එය එවකට දඹදිව කළිගු රට පාළකයන් අතට පත් කරන ලදී. එවක පටන් දළදා වහන්සේ මහත් පුදසරින් රැක බලා ගැනීම එම වංශයේ රජුන් විසින් අඛණ්ඩව සිදු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් ගුහසීව නම් රජ කෙනෙකු එම පරපුරේ රාජ්‍යත්වයට පත්වූ අතර එම යුගයේ පාණ්ඩ්‍ය දේශයේ රජු විසින් දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දන්ත ධාතුව සතුරු ආක‍්‍රමණ වලින් ආරක්ෂා කිරීමේ අරමුණින් කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් වෙස් ගන්වා ඔවුන් අත වම් දළදා වහන්සේ ලක්දිව විසූ තම මිත‍්‍ර කිත්සිරි මෙවන් රජු වෙත එවූ බව ඉතිහාසයේ සදහන්ය.

දළදා වහන්සේගේ ආරක්ෂාව පතා තම රාජ්‍යය වෙත එවන ලද බව අසා ඉතාමත් සතුටට පත් කිත්සිරි මෙවන් රජු දළදා මන්දිරයක ශ‍්‍රී දළදා වහන්සේ තැන්පත් කරවා පුද පූජා කළ අතර දන්ත හේමමාලා යුවලට වර්තමානයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බෙලිගල් කෝරළයේ කීරවැල්ල ජනපදය ඔවුන්ගේ පදිංචිය සදහා ලබා දී දළදාව බලා ගැනීමට භාර කළේය. එතැන් පටන් මෙම පරපුර කීරවැල්ල පරපුර ලෙස හදුන්වනු ලැබූ අතර එම ප‍්‍රදේශය කීරවැල්ල පත්තුව යන නාමයෙන් හදුන්වා ඇත. කල්යත්ම සියලු බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ ශ‍්‍රී දළදා වහන්සේ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍යත්වයේ සංකේතයක් බවට පත්විය. ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුළ පාරිශුද්ධ රාජකීයයකු වියයුතු බවට සිංහල රාජ නීතියක් ඇති වූ අතර දන්ත කුමරු සහ හේමමාලා කුමරිය කාලිංග වංශික ක්ෂත‍්‍රීයයන් වීම හේතුවෙන් බොහෝ රජ දරුවන් එම පරපුරේ කුමාරිකාවන් තම අගමෙහෙසුන් බවට පත්කර ගත්හ.

ඒ අනුව දන්ත හේමමාලා කීරවැලි පරම්පරාව රජ දරුවන්ට අග මෙහෙසුන් සැපයූ බිසෝ පරපුරක් විය. අග මෙහෙසියගේ පියා හෝ සහෝදරයා දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලූ අතර ඔහු කීරවැල්ලේ දාඨාරක්ඛක මහ රාළහාමි,දාඨාරක්ඛක දිවෙන රාළ,දාඨාරක්ඛක දිවෙන මහ නිළමේ යනුවෙන් හදුන්වා ඇත. මේ නිසා සිංහල රාජ්‍යයත් දළදා වහන්සේත් අතර අවියෝජනීය සම්බන්ධයක් ඇති විය.
දළදා වහන්සේගේ උරුමය රාජකීය සංකේතයක් ලෙස සැලකීමට පසුකාලීන රජවරුන් හුරු වූ නිසා පසු කාලවලදී ඇති වූ සතුරු ව්‍යසන, අභ්‍යන්තර කැරළි කොළාහල වලදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කිරීමට සිදු විය. මින්පසුව ලක්දිවට එල්ල වූ සියලු සතුරු ආක‍්‍රමණ වලදී සහ කැරළි කොළාහල වලදී රාජ්‍ය උරුමයේ සංකේතය අත්පත් කර ගැනීම හෝ එය විනාශ කිරීම සතුරන්ගේ ඉලක්කය වූ නිසා කීරවැල්ල පරපුරේ රාජකීයයන් විසින් එය විවිධ ස්ථාන කරා ගෙනයන ලදී.

මේ අනුව සතුරු ආක‍්‍රමණ හමුවේ රාජධානීන්හි සංක‍්‍රමනයත් සමග දන්ත ධාතූන් වහන්සේද අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කොට්ටේ යන රාජධානී වෙත රැගෙන යන ලද අතර එම යුග ගණනාව පුරාව දන්ත ධාතූන් වහන්සේ රැක බලා ගැනීමේ වගකීම පැවරුනේ මෙම කීරවැල්ල පරම්පරාවටය.

දන්ත හේමමාලාවන්ගෙන් අනතුරුව කීරවැල්ල පරපුරේ මුලින්ම සදහන් වනුයේ එම දෙපළගේ පුත් වූ අනුරාධපුර රාජධානි සමයේ රජකළ කීරවැල්ලේ දාඨාවංශ කුමරු සහ එම කුමරුගේ දේවිය වන රත්නමාලා කුමරිය පිළිබදවයි. අනතුරුව ඔවුන් දෙපලගේ පුත් ශ‍්‍රී නාම බංඩාර කුමරු ශ‍්‍රී මාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ පුත් කුමරුන් වන කීරවැල්ලේ රත්නපාල බංඩාර කුමරු පත්මමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු ශ‍්‍රී මල් බංඩාර කුමරු වන අතර ඔහු දෙවන පරාක‍්‍රමබාහු රජුගේ මව් වන සෝමමාලා කුමරිය විවාහ කර ගනී. එම දෙපළගේ කුමරු වන රංමල් බංඩාර විසින් කීරිමාලා කුමරිය විවාහ කරගන්නා අතර එම දෙපළගේ කුමරු රතනබංඩාර කුමරු වේ. ඔහු රනමාලා කුමරිය විවාහ කරගන්නා අතර ඔවුන් දෙපළගේ කුමරු මහානාම කුමරු රංතිලකා නීල කුමරිය විවාහ කර ගනී.

මහානාම කුමරු රංතිලකා නීල කුමරියට දියණියන් තිදෙනෙකු සහ එක් පුතෙකු සිට ඇති අතර ඉන් පුතු වූ කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න කුමරු (මහා රාළහාමි ) උඩරට රජු වූ සේනා සම්මත වික‍්‍රමභාහුගේ දියණිය වන හන්තාන දේවිය හා සරණගොස් ඇත. මෙම කීරවැල්ලේ මහා රාළහාමිට පිරිමි දරුවන් හය දෙනෙකු සහ එක් දියණියක් ඉපදී ඇත.කෝට්ටේ යුගයේදී දළදා වහන්සේ භාරව කටයුතු කළේ කීරවැල්ලේ මහා රාළහාමි නෙහොත් අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් විසිනි. සයවන පරාක‍්‍රමබාහු රජුගේ මෙහෙසිය වූ රන්මැණිකේ කීරවැල්ලේ කුමරියගේ පියාණන් වූයේ අනුරුද්ධ අධිකාරම්ය.

කීරවැල්ලේ බිසෝවරුන් පිළිබඳ රාජාවලියේ හා අලකේශ්වර යුද්ධයේ මුලින් ම සඳහන් වන්නේ සවන පරාක්‍රමබාහු රජු කීරවැල්ලේ කුමාරිකාවක් සරණ පාවා ගත් බව ය. ‘අලකේශ්වර යුද්ධය’ පැරකුම්බා රජු “බෝධි වඩාගෙන ආ අනුරාධ කුමාර ගෝත්‍රයෙන් පැමිණි කීරවැල්ලේ බිසෝ කෙනෙකු” සරණ කොට ගත් බව පවසයි. (එහෙත් බෝධිය වඩා ගෙන පැමිණි කුමරුන් ගැන බෝධිවංශයේ එන සඳහනේ අනුරාධ නම් කුමාරයෙකු ගැන සඳහන් නො වේ.) රජුගේ මව වන සුනේත්‍රා දේවියට හෝ දියණිය වන උලකුඩය දේවියට සාපේක්ෂව කීරවැල්ලේ බිසව පිළිබඳ තොරතුරු සඳහන් වී නැත. ( මෙම බිසව ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකේ යයි ඇතැම්හු සඳහන් කරත්.) හය වැනි පරාක්‍රමබාහු රජු මලබාරයෙන් පැමිණ රජ මාළිගයේ ඇම්බැට්ටයෙකු වූ ‘පනිකල්’ නම් රාජ වංශයකට අයත් පණික්කි මුදලිගේ පුත්‍ර දක්ෂ සෙන්පතියාට සිය කීරවැල්ලේ බිසවගේ නැගණිය සරණ පාවා දී ඇත. සතර කෝරළ විත්ති පොත මෙන්ම පී.ඇම්.පී අභයසිංහ මහතාගේ වන්නි උපත ග්‍රන්ථයේද මේ පිළිබඳ විස්තර සඳහන් වෙයි)පැරකුම්බා රජ සිය පුතුන් සේ හදා වඩා ගත් සපුමල් කුමාරයා සහ අම්බුළුගල කුමාරයා මෙම දෙපළගේ දරුවෝ ය.එසේම රජුගේ ඥාති සොහොයුරකු වූ මාණික්‍ය ප‍්‍රතිරාජ කුමරු සිය අග මෙහෙසිය කර ගනු ලබන්නේද කීරවැල්ලේ සීලවතී කුමරිය වන අතර, සුප‍්‍රකට කිවිවර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එම දෙපළගේ පුත්රුවනයි.

පසුව අම්බුලුගල කුමරු අටවන පරාක‍්‍රමබාහු නමින් රාජ්‍යත්වයට පත් වූ අටවන පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසියන් දෙදෙනාම කීරවැල්ලේ කුමාරිකාවන් වන නමුත් ඔවුන්ගේ නම් අප‍්‍රකටය.
කීරවැල්ල නැවතත් ඉතිහාසයේ පරිච්ඡේද තුළින් මතු වන්නේ ධර්මපරාක්‍රමබාහු රජු හා ඔහුගේ සොහොයුරන් පිළිබඳව කියැවෙන පුවත් වෙනුවෙනි. ධර්මපරාක්‍රමබාහුගේ සහෝදරයන් අතුරින් මැණික්කඩවර පෙදෙස පාලනය කරමින් ශ්‍රී රාජසිංහ හා විජයබාහු යන කුමාරවරු දෙදෙන එකම බිසවක් සරණ පාවා ගෙන වෙසෙති. මේ දෙදෙන එකගෙයි කෑමේ චාරිත්‍රය මත විවාහ කර ගෙන සිටින්නේ කීරවැල්ලේ බිසවකි. මෙම බිසවගේ නම ‘අනුලා කහතුඩ’ බව එකම මූලාශ්‍රයක පමණක් සඳහන් වෙයි. (වෙනත් කිසිදු මූලාශ්‍රයක එවන් සඳහනක් නොඑයි.) ඒ මහාචාර්ය රිසිමන් අමරසිංහ විසින් මානියම්ගම විහාරයෙන් ලබාගෙන ‍ඓතිහාසික සීතාවක නම් ග්‍රන්ථයට ඇතුළු කොට ‍‍ප්‍රසිද්ධ කර ඇති මානියම්ගම විහාරවාසී ‘සිටිනාමළුවේ ධර්මපාල’ හිමියන් විසින් ලියන ලද ‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය’ පුස්කොළ ලිපියෙනි.ධර්ම පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් කෝට්ටේ රජු බවට පත්වන්නේ විජයබාහු කුමාරයා ය. (සයවන විජයබාහු) මේ වන විට අනුලා කහතුඩ කීරවැල්ලේ බිසවත්, රාජසිංහ කුමාරයාත් මියගොස් සිටිති. විජයබාහු රජ සිය දෙවන මෙහෙසිය ලෙස කීරවැල්ල පරපුරේ තවත් කුමාරිකාවක වූ දේව රාජසිංහ කුමරිය සරණ පාවා ගත් බවද සඳහන් වේ.කීරවැල්ලේ කුමාරිහාමි ලෙසින්ද ඇය හැදින්වේ. ඉතිහාසයේ ප්‍රකට සිද්ධියක් වන ‘විජයබා කොල්ලය’ ඇතිවන්නේත්, එයින් සයවන විජයබාහු ඝාතනය වන්නේත්, කෝට්ටේ රාජධානිය සහෝදරයන් අතර බෙදී යන්නේත් දෙවන බිසවගේ පුත්‍රයාට රජකම ලබාදීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙසිණි.ඉන්පසු සයවන විජයබාහුගේ පුත් හත්වන බුවනෙකබා කෝට්ටේ රජු විය.

එවක මැණික් කඩවර සිටි ශ‍්‍රී රාජසිංහ රජුගේ මස්සිනා වූ කීරවැල්ලේ මහා රාළහාමි කෝට්ටේ දළදා භාරකාරිත්වය ඉසිලීය. මෙකළ උඩරට රජ කළ රජු ආදායම කෝට්ටේ රජුට නොදෙන බැවින් ශ‍්‍රී රාජසිංහද කීරවැල්ලේ මහා රාළහාමි නොහොත් අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් එක්ව උඩරටට පහරදී උඩරට රජු යටත් කරගෙන ඇත. එහිදී ඇති වූ එකගත්වය මත උඩරට රජුගේ දියණිය කීරවැල්ල කුමරු විසින් විවාහ කරගෙන ඇත. මේ විවාහය නිසා ඔවුන්ට වැලි කොලේ රාළහාමි, උබ්බේරියේ රාළහාමි, වාසලගෙයි රාළහාමි, කීරවැල්ලේ රාළහාමි යන පුතුන්ද කීරවැලි බාල බිසෝ සන්තන දේවි නම් දියණියන් ද උපන්හ.

කීරවැල්ලේ මහා රාළහාමි නෙහොත් අනුරුද්ධ සිරිමාන්න අධිකාරම්ට හා හන්තාන දේවියගේ පුත්‍රයාවූ කීරවැල්ලේ රාළහාමි යන අයගේ පුතණුවන් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා රාජධානි 3ක් පුරාවට දිවි දෙවෙනි කොට ගමන් කළ,කෝට්ටේ යුගයේ අවසාන දළදා භාරකාරත්වය ඉසිලූ කීරවැල්ලේ හිරිපිටියේ දාඨාරක්ඛක දිවෙන රාළයි.

හත්වන බුවනෙකබා රජුගේ කාලයේදී මග වැරදී දොන් අපෝන්සුද නොරෙඤ්ඤෝ නැමැති පෘතුගීසි නායකයා ලංකාවට පැමිණි අතර රජුගේ මරණයෙන් පසු එතුමාගේ මුණුපුරු වූ ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්විය.
එකල කෝට්ටේ දළදාව භාරව සිටියේ ද ‘කීරවැල්ලේ හිරිපිටියේ දාඨාරක්ඛක දිවෙන රාළ’ ය. දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගෙන පෘතුගීසීන්ගේ රූකඩ පාලකයකු වූ පසු සිහිනෙන් පෙනී සිටි කෙනෙක් කීරවැල්ලේ හිරිපිටියේ රාල ට මෙසේ කීවේ ලු.

“කෝට්ටේ කලාලේ කිසිල්ලේ – දත මැද ගන්න රාලේ”

(කෝට්ටේට කළ ආලයෙන් පලක් නැත. රාලේ දත මැද රටට ගෙනයන්න.)එම සිහිනය තේරූ කළ කෝට්ටේ විසීම අන්තරාදායක බවත් පෘතුගීසීන් විසින් දළදා වහන්සේ විනාශ කරන්නට යන බවත් අවබෝධ කරගත් ඔහු දළදා වහන්සේ තැන්පත් කර තිබූ ඇත්දත්මුවා දා කරඩුව තම උරයෙහි සගවාගෙන සීතාවක මායාදුන්නේ රජුවෙත පැමිණී ඇත.(මෙලෙසම හිරිපිටියේ රාල කෝට්ටේ වීදියබණ්‌ඩාර කුමරුන්ට ද ඇත් දළයෙන් තැනූ දළදා වහන්සේගේ අනුරුවක් ලබා දුන් බව සදහන් වේ.)

මායාදුන්නේ රජුගේ බිසවද කීරවැල්ලේ පරපුරට අයත් බිසවක් වන අතර දළදා වහන්සේ තමා සන්තකයට පත්වීමෙන් රජු මහත් සතුටට පත්වී ඇත. මේ අවධිය වන විටත් සීතාවක රාජධානිය නිරන්තරයෙන් සතුරු කරදර වලට භාජනය වී ඇති බැවින් දළදා වහන්සේගේ ආරක්ෂාවට වැඩපිළිවෙලක් සකස් කළයුතු බව වටහාගත් රජු හිරිපිටියේ රාළ සමග දළදා වහන්සේ දෙල්ගමුව විහාරයට පිටත් කර හැරියේය.එහිදී මායාදුන්නේගේ උපදෙස්‌ පිට දෙල්ගමු රජමහා විහාරයේ කුරක්‌කන්ගලක්‌ තුළ සඟවා තිබීමට හිරිපිටියේ රාල සමත් වූහ.එකළ වීදියබණ්‌ඩාර සතුව තිබී යාපනයේ නල්ලූර්හි හින්දු කෝවිලේදී පෘතුගීසීන් අතට පත් වූයේ ද හිරිපිටියේ රාළ විසින් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා ඇත් දළයෙන් තැනූ දළදා වහන්සේගේ අනුරුවකි.පසුව එම අනුරූ දළදා වහන්සේ පෘතුගීසීන් විසින් විනාශකළ බව සදහන් වේ.හිරිපිටියේ රාළ ගේ නිර්භීතකම නොවන්නට අද දළදා වහන්සේ සිංහල ජාතියට අහිමි වන්නට ඉඩ තිබිණ.

මේ ආකාරයට කලක් දෙල්ගමු විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ කොනප්පු බණ්ඩාර නම්, සෙන්පතියා ක්‍රි. ව. 1592 දී මහනුවර නගරය සංවර්ධනය කර විමලධර්මසූරිය නමින් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව, දළදා වහන්සේ යම් කෙනෙකුට අයිතිද , ඔහුම අගරජ වශයෙන් පිළිගැනීමේ පැරැණි චාරිත්‍රයට අනුව දළදා වහන්සේ වැඩ සිටි දෙල්ගමු විහාරයෙන් මහනුවරට වැඩමවා දර්ශනීය දළදා මැඳුරක් ඉදිකරවා තැන්පත් කළ බව මහා වංශයේ සඳහන් වේ. දළදා වහන්සේ මහනුවරට වැඩමවීම පිළිබඳව රසවත් කතා පුවත් ජනප්‍රවාදයේත් ,මහනුවර යුගයේ රචනා වූ දළදා පුවත ග්‍රන්ථයේත් සඳහන් කර ඇත.
දළදා හිමි ලබාගැනීමේ පළමු පියවර වශයෙන් උඩරට රජ වූ පළමු විමලධර්මසූරිය රජු ඇල්ලේපොළ මංගල හිමි ප්‍රධානව සාමණේරවරු පස්නමක් දෙල්ගමු විහාරයට යවා ඇත.

මේ වන විට ශිවාගමට බරව බෞද්ධයන් අතර අප්‍රියව සිටි සීතාවක රාජසිංහ රජුගේ පාලනයට යටත් දෙල්ගමුව විහාරයේ දළදා බාරව සිටි හිරිපිටියේ රාල හමුවී ඔහු සමග රහසේ සාකච්ඡා කොට දළදා හිමි මහනුවරට වැඩමවීම පිළිබඳ සැලසුම් කිරීම ඇල්ලේපොළ මංගල හිමිගේ ගමනේ අරමුණ බව පෙනෙයි. දළදා හිමි මහනුවරට වැඩමවීමට පෙර පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි දෙල්ගමුවේ සිට මහනුවරට ගෙන ආ හැකි මාර්ග ගැන ගලඋඩ හිමි සමග සාකච්ඡා කළ බව දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය කියයි. ඒ අනුව ගලඋඩ හිමි රජුගේ හිතවත් විශ්වාසවන්ත අයෙකු විය.මහනුවර ශ්‍රී දළදා මාලිගාව මගින් පළ කළ හේමමාලා හා දන්ත කුමරු කුඩා ග්‍රන්ථය අනුව ගලඋඩ හිමි යනු දෙවනගල රත්නාලංකාර හිමි ම බව අනුමාන කරයි. හේතුව පසු කල දෙවනගල රත්නාලංකාර හිමි මාවනැල්ලට නුදුරු දෙවනගල කඳුගැටයක් උඩ දෙවනගල විහාරයේ වැඩවාසය කළ බැවිනි. දෙවනගල කඳුගැටයක් බැවින් ගලඋඩ යන කෙටි නම ගැළපෙයි.

සිංහල දළදා වංශය හා දළදා පුවත කාව්‍ය ග්‍රන්ථ අනුව ඉදල්ගස්හින්න හරහා ඌව පාරෙන් ඉතා රහසිගතව දෙල්ගමුවේ වැඩසිටි දළදා හිමි මහනුවරට වැඩමවීම ආරම්භ විය. මේ ආරංචිය බලාපොරොත්තුවෙන් සිටි පළමු විමලධර්මසූරිය රජු මහනුවර නගරය ඉතා අලංකාර ලෙස සරසා ඇමතීන් පිරිවරාගෙන අම්පිටියට පෙර ගමන් ගොස් දෙල්ගමුවේ සිට වැඩමවන දළදා හිමි ඉමහත් ගෞරවයෙන් පිළිගත් බව සදහන් වේ.

සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමග ගොස් කාලයක් එහි වසමින් හිරිපිටිය රාළගේ හිත දිනාගෙන ඔහු සමග දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි බව අස්ගිරි පුවත කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව වැඩ සිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුවේ ඇල්ලේපොළ මංගල හිමිට බව අස්ගිරි පුවත කියයි.
කෝට්ටේ ධර්මපාල රජු 1557 බෞතීස්ම වූ පසු කෝට්ටේ සිට සීතාවක දෙල්ගමුවට රහසේ දළදා හිමි වැඩමවා අවුරුදු 35 පමණ කාලයක් දෙල්ගමු විහාරයේ දාඨාරක්ඛක දිවෙන රාළ පදවිය දැරූ දන්ත කුමරුගේ පදවියට අයත් සියනෑ කෝරළේ හිරිපිටියේ රාළ දෙල්ගමුව සිට සෙංකඩගලට දළදා හිමි වැඩම වූ පසු දෙවැනි විමලධර්මසූරිය රජු ගම් බිම් දුන් බව දළදා පුවත කියයි. ඉන්පසු ඔහුට සෙංකඩගල රාජ්‍යයේ දාඨාරක්ඛක දිවෙන රාළ පදවිය ලැබී ඇත. හිරිපිටියේ රාළ කෝට්ටේ මුලින්ම ද දෙල්ගමු විහාරයේ අවුරුදු 35 කාලයක්ද සෙංකඩගල රාජ්‍යයේ අවසාන වරටද ලෙස අඩු වශයෙන් අවුරුදු 50 පමණ කාලයක් දාඨාරක්ඛක දිවෙන රාළ පදවිය දරා ඇත.

මූලාශ්‍ර –

සුනිල් කහගල්ල මහතාගේ ලංකාදීප ලිපිය
දර්ශි අතපත්තු – මුනි දළදා රැකදුන්නත් දිවියපුදා ලිපිය
මහානාම දුනුමාල මහතාගේ දිණමිණ ලිපිය
එස්.කේ.ජයවර්ධන මහතාගේ ලංකාදීප ලිපිය
හා
කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ත වසන්ත සෙනෙවිරත්න මහතා haritv නාලිකාව සමග කළ මාධ්‍ය සාකච්ඡාව.

කතෘ අයිතිය සුරකින්න 🙏🙏

උපුටා ගැනීමකි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!