අවුරුදු පහළොවේදී ගිනි තියාගෙන හෝ ගිනි තියලා හෝ මැරෙනවා.
දවස් දොළහක් ඉස්පිරිතාලෙ දුක් විඳලා මැරෙනවා.
අක්කාගේ ඔපරේශන් එකට නුවර වාට්ටුවෙ ඉන්දැද්දි මහත්තයා එක්ක තරහ වෙලා ගිනි තියා ගත්ත ගෑණුකෙනා මට මතක් වෙනවා.හැමදාම වේදනාවෙන් විලාප තියලා වාට්ටුව දෙවනත් කරලා වද විඳලා අන්තිමේ මැරිලා ගිය ඒ විරූපී ගෑණු කෙනාවයි මේ මලක් වගේ සුන්දර පෙණුමක් තියෙන ගෑණු දරුවාවයි එකතු කරලා හිතද්දි මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.
අධිකරණ වෛද්ය වාර්තාවෙ හැටියට දීර්ඝ කාලයක් තිස්සෙ ඒ ගෑණු ළමයා ලිංගික අපයෝජනයට ලක් වෙලා තියෙනවලු.මේ ගෙදරට එන්න කලින්ද ආවට පස්සෙද කියලා දැන් හොයනවලු.ලංකාවෙ වැඩ වෙන හැටියට ඉතින් මුල් උත්තරේය කියලා ඔප්පු නොවුනොත් කරයි.
ගිනි තියාගත්තෙ දෙමළ ළමයෙක්.ඒත් ඉන්දියාවෙ නෙවෙයි මේ ලංකාවෙ දෙමළ නෙවෙයි හැම ජාතියකම ළමයි ගෑණු කරළියට නෑවිත්ම ගිනි තියාගන්නවා.
ගිනි තියාගන්නෙ නැති උන්ව මේ ජරා සමාජෙ උන්ගෙ කුණු හිතුයි කුණු කටවලුයි නිසා පණපිටින් මැරෙනතුරාම ගිනි ගන්නවා.
හිශාලිනී මැරෙන්නෙ මුස්ලිම් ගෙදරකදී.
මුස්ලිම් ,දෙමළ,සිංහල වශයෙන් ජාතිය මොක උනත් සල්ලි, බලය තියෙන ගෙවල්වල කඹුරන්න නැති එවුන්ගෙ ගෙවල්වල පොඩි එවුන් අදින එක අදත් හෙටත් ගජරාමෙට වෙනවා.
දැන් මගෙන් අහයි ඇයි ඒ අම්මලා තාත්තලා ඒ ළමයි යැව්වෙ කියලා.
ඇයි අහන්න බැරි ඇයි සල්ලි ගෙවලා හරි හමන් මනුස්සයෙක් වැඩට ගන්න පුළුවන්කම තියෙන මිනිස්සු පොඩි ළමයෙක් වැඩකාරකමට ගන්නෙ කියලා.
සෝමරත්න දිසානායක ගේ පුංචි සුරංගනාවි බලලා අපි ඒ කාලේ සතුටු වෙනවා.
ළමයෙක්ට සෙල්ලමට ගෙනත් දෙන්න තව ළමයෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි .
සෙල්ලම් කරන මුවාවෙන් ගේන ගිනි තියාගන්න බැරිව දුක් විඳින තටු කැඩිච්ච සුරංගනාවො ගැන කතා කරන්නෙ කවුද?