මේක පුංචි කතාවක් .. මං පොඩි කොල්ලෙක්. මට මතකයි මං හිටියෙ පහ වසරෙ. ඒක ඉස්කෝලෙ මධ්‍ය වාර පරීක්ෂණය තිබ්බ කාලෙ. අපිට තිබුණ අත් වැඩ වලට මොනවා හරි හදන් යන්න.
මං හිතේ ගොඩාක් දේවල් මැවුණ.මට ඕන උනා මොනා හරි දෙයක් හදන්න.පෙට්ටි රෑපවාහිනියක් එහෙම නැත්නම් මැටි බඩු ජාතියක්..නෑ මං අන්තිමට තීරණය කලා කොහු ලණුවක් අඹරන්න.
මං ඉස්කෝලෙ ඇරිල ඇවිත් ලිඳ ගාව වලක් කැපුවා. පොල් ලෙලි හොයාගෙන ආවා. පෙඟෙන්න දැම්මා ඒ වලේ. දැන් ඒව පල් වෙනවා. මං උදේ මූණ හෝදන්න ගියාම ටික ටික ඒව තැලුවා.කෙඳි ගත්තා. හවසට ගෙදර ආපුවම පනාවකින් පීර පීර ඒව හදා ගත්ත. ඔව් මට ඕන උනා හොඳම ලණුවක් අඹරන්න.
අත්වැඩ ඉදිරිපත් කරන දවස ආව.මං අප්පච්චිට කියල ලණුවක් අඹරන්න පටන් ගත්තා.මට ඒක පටන් ගන්න විදිහ කියා දීපු අප්පච්චි එයා අඹරපු ටික කපල අයින් කලා. එයා කිව්වෙ මගේ වැඩේ මංම කරන්න ඕන කියල. මං මගේ ලණුව ඇඹරුව. මං ඒක කලා.
පහුවදා මං ඒකත් අරන් ඉස්කෝලෙ ගියා.හැමෝම තම තමන්ගෙ දේවල් අරන් ඇවිත් තිබ්බ.නගරයේ පාසලක් උන මගේ පාසලේ ධනවත් මිතුරන් ගෙ අඩුවක් තිබ්බෙ නෑ. විවිධ දේවල් එයාල හදල තිබ්බ..හැමෝගෙම වාරයන් පිලිවෙලට.. ඊළඟට මං.. මං මගේ ලණුවත් අරන් ගියා..ආ තව සේලයින් බට වලින් හදපු මාලුවෙක්, ගෝනුස්සෙක් මාගාව තිබ්බ.මං ඒ ටික මිස් ගෙ මේසෙ උඩින් තිබ්බ.
මාලුවා සහ ගෝනුස්සාව බලපු මිස් මගෙ ලණුව අතට ගත්ත..” කොහෙන්ද මේක අහුලන් ආවෙ” මට කියන්න කිසිම දෙයක් නොකිය මගෙන් කිසිම දෙයක් නොඅහා මිස් ඒක කොට බැම්මෙන් එහාට වීසි කලා…….
මට අත්වැඩට ලකුණු හම්බ උනේ නෑ. ඒත් මං පස්සෙ ඒ ලණුව අහුලන් ගෙදර ගෙනවා.මගේ සතිදෙකක මහන්සිය තත්පරේකින් කොට බිත්තියෙන් එහාට පියාඹද්දි පොඩි එකෙක් වෙච්චි මගේ උනන්දුව , උත්සාහය , යම් තරමක් ඒකත් එක්කම පියෑඹුවා.
මං දැන් වයස 38 උන වයසක මිනිහෙක්..මට දැන් හිතෙනවා කඩෙන් ගන්න ලණුවක් තරම්ම ලස්සනට පිලිවෙලට මං ඒ ලණුව අඹරල තියෙන්නැති.මිස්ට ඒ හින්ද ඒ වෙනස අඳුරගන්න බැරි වෙන්නැති. එහෙම හිතල මං මිස් ගැන තිබ්බ කල කිරීම අයින් කර ගත්ත..
ඒත් මිස් දැනට අවුරුදු 28 කට කලින් වෙච්චි දේට අදටත් මතක් උනාම හිත රිදෙනවා.
” මතක් වෙනකොට එදා ඇත්තමයි මිස් මට තාමත් ඇඬෙනව”
උපුටා ගැනීම: Mark Max