වසර 31 ට පෙර අද වැනි දවසක ගැරහුම් අපහාස සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩා විඳි HIV ආසාදිත ලාබාල සිසු රයන් වයිට් සදාකාලික සැනසුම සොයා මෙලොව හැර ගියේය.
1971 වසරේ ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දී උපත ලබන රයන් වයිට් 1984 වසරේ දී එනම් වයස අවුරුදු දහ තුනේ දී HIV ආසාදිතයෙකු බව අනාවරණය විය. රයන් උපතින් ම ‘හිමෝෆීලියා A’ (Hemophilia A) රෝගියෙකි. රුධිරය කැටි ගැසීම සාමාන්‍ය පරිදි සිදු නොවන බැවින් හිමෝෆීලියා රෝගියෙක් සුළු තුවාලයකින් වුව ද නොනවත්වා රුධිරය ගලා ගොස් මිය යාමේ අවදානමක් ඇත. එබැවින් වරින් වර රයන් හට රුධිරය පාරවිලනය කිරීමට සිදු විය. උග්‍ර නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කිරීමේ දී හෙළිදරව් වූයේ ආසාදිත රුධිර පාරවිලයනයක් හේතුවෙන් මේ කුඩා දරුවාට HIV වෛරසය ශරීරගත වී ඇති බව ය. අනතුරුව මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකීව සිටි රයන් වයිට් තම පාසල වූ Western Middle School වෙත යළිත් පිවිසෙන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් රයන් සහ ඔහුගේ මව සිතා සිටියාට වඩා බාහිර ලෝකය අඳුරු ය. අසංවේදී ය. සංකීර්ණ ය.
එතැන් පටන් ඇරඹෙන්නේ පාසල් පද්ධතිය සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ අධ්‍යාපනය සම්බන්ධ ද්වන්ධ සටනකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන් නැවත පාසලට භාරගැනීමට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. එහෙත් තම දරුවා මහමෙරක් ලෙස සැලකූ රයන්ගේ දෙමාපියන් සහ එරට පුවත්පත් ඔහු වෙනුවෙන් සටන පවත්වාගෙන ගියහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට හැකියැයි පාසල මගින් යෝජනා කළ නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් රයන් පාසල් පැමිණිය යුතු නැතැයි තීරණය කළහ. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව පාසලට ඇතුළත් කරගන්නා ලෙස නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 19 වැනිදා පාසල පාර්ශ්වයෙන් ඉල්ලුම් කළ රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය හොවාර්ඩ් නාගරික අධිකරණය විසින් ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසලට පිවිසෙන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම පාසල් නොයවා නිවසේ රඳවා ගන්නට ඔවුන්ගේ දෙමාපියන් කටයුතු කළහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට්ගේ පාසල් ගමනට එරෙහිව වාරණයක් පනවා තිබිණ. මාර්තු 02 වැනිදා රෝගී සිසුවා හට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ වෙන්දේසියක් පවත්වන්නේ රයන් වයිට් නැවත පාසලට ඒම වළක්වාලීම සඳහා වන ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමේ අරමුණෙනි. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ද ලබා දුන්හ.
ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. තවත් මාස පහක් පමණ කෙටි කාලයක් ජීවත් වනු ඇතැයි වෛද්‍යවරු විසින් අනාවැකි පල කළ දහ හතර හැවිරිදි සිසුවා 1987 වසරේ දී තමාව ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමු ගන්නට තීරණය කළේය. ඔහුට ම වෙන් කළ වැසිකිළි , වරක් භාවිතා කර ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ හේතුවෙන් රයන් මුහුණ දෙමින් සිටින පීඩනය වටහා ගන්නා දෙමාපියන් පදිංචියට වෙනත් නගරයක් තෝරා ගත්හ. නොමිනිසුන් හමුවේ සිත් බිඳී ගිය බාලක සිසුවා මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලැබූ රයන් වයිට් 1990 අප්‍රේල් 08 වැනිදා මෙලොවින් සමුගත්තේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.
HIV වෛරසය පිළිබඳ දැනුවත්කම අවම ව පැවති ඒ යුගයේ රයන් වයිට් තමා නොකළ වරදකට සමාජයෙන් ලද දඬුවම් අතිශය වේදනාකාරී ය. අනෙක් පාසල් සිසුන්ට මෙන් ප්‍රදේශයේ පුවත්පත් බෙදාහරින්නෙක් ලෙස ලැබෙන අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ට ලබා දුන් බෙදාහැරීම් කලාපයේ නිවැසියන් ඔහුගේ සේවය අනවශ්‍ය බව පුවත්පත් නියෝජිතයා වෙත දන්වා තිබූ නිසාය. HIV වෛරසය වැළඳීමට ඇති එකම ක්‍රමය සමලිංගික හැසිරීම බව විශ්වාස කළ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණට ම ‘උඹ සමකාමියෙක්. ඒ බව අපි දන්නවා’යි පවසා අපහාස කිරීමට තරම් සාහසික අසල්වාසීන් ද වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV වෛරසය ආසාදනය විය හැකි බවත් HIV ස්පර්ශයෙන් බෝ නොවන බවත් ලෝකය හමුවේ පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැලී, වියළී ගිය ළමා සිතක වේදනාව ද සමගිනි.
1990 මාර්තු 20 වැනිදා මේ ගැටවරයාගේ ජීවන අන්දර. එහි කෙළවරට පැමිණ ඇති බවට පෙරමං සලකුණු පහළ විය. ඉන්දියානාපොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සීඝ්රයෙන් පිරිහෙමින් පැවතිණ. ලොවපුරා කාරුණික හදවත් තුළ ආදරයට පාත්‍ර වී සිටි රයන් දැකගනු පිණිස එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් රෝහලට පැමිණි අතර මයිකල් ජැක්සන් පවා එයට පෙර රයන් හමුවීමට පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට ජනකායක් රොක් වූයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත්නොහැර සටන් කළ මේ ළමා විරුවා හට සුබ ගමනක් යැයි පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද දෝලනය වෙමින් හුන් රයන් වයිට් තම ජිවිතයට 1990 අප්‍රේල් 08 දා අවැසි නැතැයි තීරණය කළේය. හෙතෙම වසර දහ අටක් තුළ විඳි සියලුම දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුම සොයා නික්ම ගියේය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස අතර මයිකල් ජැක්සන්, ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන් ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon නම් ගීතය ගැයුවේය.
ඔබ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙනුය මට
දුර ඈත ඉසව්වකට සලනට පියාපත්
නිල් තණ පලස මත
තුරුගොමු ශිඛර මැද
පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
අහස් ගං මාවත් තැනීගිය
ම’නිවස්නය වෙතට
ආදරණීය රයන් වයිට් ,
ඔබ තුළින් අපට අත්හැරෙන ජීවිතය ද අප විසින් අත්හළ ජීවිතය ද දකිමි. ඔබ වසර දහ අටක් මුළුල්ලේ ම ජීවිතයේ පාරාදීසය පිළිබඳ රහස ලෝකයට පවසා ඇතැයි සිතමි.