හැමදාම කියවනවා විතරක් නිසා අද ලියන්න හිතුවා.කොච්චර දුරකට සාර්ථක වෙයිද දන් නෑ හැබැයි.
පලවෙනි පාර ලියන නිසා හොල්මන් අත්දැකීමක් ලියන්නයි හදන්නේ.
සාමාන්යයෙන් මගේ ළමා කාලේ වසරකට මාස තුනකට සැරයක් මාසේ ගානේ තමයි එළඹුණේ (බෝඩිමක ඉදන් පාසල් යාම නිසා).මේක සති 2කට හෝ 3කට සීමා වෙන අවස්ථාත් තිබුණා.ඉතිම් හරි ඉහළින් ඒ මාසේ මං සමරනවා.ඒකට වෙන් උන කාල සටහනකුත් තිබුණා.උදේ 11ට පමණ අවදි වීම , අහුවෙන දෙයක් බඩට දාන් වටේ පිටේ ළමයි එක්ක සෙල්ලම් කිරීම,අම්මා අවසන් නිවේදනය නිකුත් කල විට නිවසට පැමිණීම , රෑට නාලා කාලා 10.30 වෙනකන් උපේක්ෂාවෙන් යුතුව රූපවාහිනීය නිදහස් වෙනකන් කල් මැරීම,ඊට පස්සේ චැනල් වලින් පෙන්නන ෆිල්ම් එක බලලා dvd වල තියෙන ෆිල්ම් බලන් පටන් ගැනීම, එළිවෙන ජාමෙට නින්දට යාම.මේක වෙනස් වෙනවනම් වෙන්නේ සෑහෙන කලාතුරකින්.
කොහොම හරි 8 වසරෙදි ඔන්න අගෝස්තුවේ නිවාඩුවට ගෙදර එද්දි මාත් එක්කම අපේ ගෙදර වැඩට කෙනෙක් එක්ක ආවා.මං ඉතිම් ගෙදර ආව දවසෙන්ම මගේ මාසයකට සීමා වෙන කාල සටහනට අනුගත උනා.කොහොමින් කොහොම හරි උදා උනේ රෑ 10.30 පස්සෙ හෝරාව.ටීවි එකේ යන්නේ හොල්මන් ෆිල්ම් එකක්.එහෙමයි කියලා නොබලා ඉන්නවද නෑනේ.ඉතිම් දැන් වැඩ්ඩා වගේ බලනවා.දෙයියනේ කියලා රෑ 12ට විතර වැසිකිළි අවශ්යතාවක්.අම්මව නැගිට්ටවං යන්න කියලද තනියම යනවා දැන්.ගේ ඇතුලෙම නිසා අවුලකුත් නෑ.දැන් යනකන් මැවි මැවී පෙන්නෙම බලපු හොල්මන් ෆිල්ම් වලයි,කියවපු පොත් වලයි,අහපු කතාවලයි හොල්මන් අහු මුලුවල ඉන්නවා වගේ.කොහොමින් කොහොම හරි ගියා කියමුකෝ.දැන් ඉතිම් ඉතිපිසො කිය කිය එනවා.බාතෲම් එකේ ඉදන් පොඩි කොරිඩෝවකින් ආවම කුස්සිය.කුස්සියේ ලයිට් දැම්මම අම්මගේ කාමරේට එලිය වැටෙන නිසා ලයිට් නොදා තමයි කුස්සිය තරණය කලේ.දැන් කොහොම හරි කොරිඩෝව දිගේ කුස්සිය ළගට දෙයියෝ බුදුන් සිහි කරන් ආවා.කුස්සියේ සුදු ඇද ගත්ත කෙනෙක් ඉන්නවා.ඒ මදිවට හෙමීට මං ඉන්න පැත්තට එනවා.දැන් බය අල්ට්රා ප්රො මැක්ස්.හිත හිත හිටියේ නෑ තිබ්බා හූවක් උලුත් එක්ක උඩ යන්න.අම්මා කාමරේ ඉදන් දුවන් ඇවිත් කුස්සියේ ලයිට් දැම්මම වැලලෙන්න හිතුනා.මං සෑහෙන්න බය වෙලා තියෙන්නේ වැඩට එක්කන් ආව ගෑනු කෙනාට.එයා කුස්සියේ ලයිට් එක හොය හොය ඉදලා තියෙන්නේ.සේරම පැත්තකින් තියලා අම්මාගෙන් පාරවල් දෙකක් වැදුනා.ඒ වගේම බලහත්කාරයෙන් මගේ කාලසටහන අම්මා වෙනස් කරා.වැඩට ආව ගෑනු කෙනා පහුවදාම ගෙදර ගියා.අදටත් රෑ වෙනකං ෆිල්ම් බලද්දී අම්මා දැඩි විරෝධය දක්වනවා 

උපුටා ගැනීම: Pamodya Kumarasinghe