ඔපරේෂන් වාට්ටුව, පිලිකා වාට්ටුව , හෘද රෝග වාට්ටුව වගේ නං කොච්චර අහල තිබ්බත් මේ නම අහන පලවෙනි වතාව වෙන්න ඇති මේ. ඇත්තටම එකෝමත් එක කාලෙක මේ නමින් හැඳින්වුනේ මහ රෝහලේ ස්නායු රෝග වාට්ටුව. නමට හේතු වුනේ ලංකාවට මෝටර් බයිසිකල් වැඩිපුර එන්න ගත්ත කාලෙ සිද්ද වෙච්ච අනතුරු වලින් මොලයට වෙච්ච හානි වැඩි වුන නිසාත් ඒ කාලේ සුලබම බයික් වර්ගය හොන්ඩා වෙච්ච නිසාත් බවය් කියන්නේ.
පෙම් කතා, ෆන් කතා, අතීත කතා කියවලා ජොලියේ හිටපු අපට මේ යකා මොන මගුලට මේ වාට්ටුවක් ගැන දෙසා බානවද කියල අමනාප වෙන්ට කාරි නෑ හිතෝතුනි , මෝටර් බයිසිකල් පදින කොල්ලේ කොල්ලෝ අටෝරාසියක් ඉන්න ගෲප් එකකට මගේ ජීවිතේ එක නරක අත්දැකීමක් කියන්නය් මේ තටමන්නේ.
කතාව කියන්නේ හේතුව නං අද ඉස්පිරිතාලෙ ඉඳං එන මාව පහු කරං හැටට හැටේ පාගල ආව කොල්ලො දෙන්නෙක් ඉස්සරහිං ආව ලොරියකින් යාන්තමට බේරිලා පාරට එහා පැත්තෙ තිබ්බ වැටකුත් කඩාගෙන යනවා ඇස් දෙකින් දැක්ක එක. (වාසනාවකට වගේ මම බැහැල යද්දි උංට මහ ලොකු ආපදාවක් වෙලා තිබ්බෙ නෑ) ඒත් මට ඒත් එක්කම මගෙ ඔලුවට ආවා අවුරුදු තුන හතරකට කලින් සිද්දියක්.
දවස අප්‍රේල් දොලහ. මම තමය් එදා තියටර් එකේ ඔන්කෝල්. නානගෙ ප්‍රහාරෙ වත් චීනගෙ හෙනගෙඩිය වත් පාත් වෙලා නොතිබ්බ කාලෙක හතර වටේම උං අවුරුදු කන්න සෙට් වෙද්දි මොන අවුරුද්දක් වත් නැති මම ඉන්නවා පාදයක් පෙරට තියං ඉස්පිරිතාලෙං කෝල් එකක් එනකං.
මෙන්න බොලේ යාංතමට නිදිමතක් එනකොටම රෑ දහයමාරට විතර අපේ එකෙක්ගෙන් කෝල් එකක් එනවා අය්යා බයික් ඇක්සිඩන්ට් එකකින් කොල්ලෙක්ට EDH එකක් කියලා. (ඔලු කට්ටට යටිං තියෙන ලේ ගැලීමක්) මාත් ඉතිං හරි මල්ලි surgery එක ලැස්ති කරන්න කියලා විනාඩි පහෙන් තියටර් එකේ. අපේ ඇනස්තටිස්ට් කාරයවත් ගෙන්නගෙන දනි පනි ගාල වැඩේ ඉවර කරා (පැය දෙක හමාරක් වගේ ගියා වැඩේට.)
ඔන්න බොලේ වැඩේ ඉවර කරලා මෑන්ගෙ අන්තිම මැහුම් ටික දාද්දිම ඊලඟ කෝල් එක ආවා එක හමාරට වගේ “අය්යා අර බයික් එකේ ගිය අනිත් හාදයට SDH එකක් කියලා.( මේ කිව්වේ මොලෙය් ඒක වැහිලා තියෙන පටලයකුය් අතරේ ලේ ගැලීමක්) ඉතිං හරි මලයා ඕකත් ඔහොම්ම එවපං කියලා කිව්වත් CT එක දැක්කම මට පෙනුනා වැඩේ නං එච්චර හොඳ තැනක නෑ කියලා.
ඒත් ඉතිං සෑහෙන ගේමක් දීලා ඒක ඉවර කරගෙන එද්දි පාන්දර පහමාරට ඊලඟ කෝල් එක එනවා අය්යා අර බයික් එකේම තව මෑන් කෙනෙක් ගිහිල්ලා ඌවත් තියටර් ගන්න වෙනවා කියලා.
ගෙනාව තමය් මෑන්ටත් පලවෙනි මෑන්ගෙ සිද්දියම වෙලා. කොහොම හරි ඒකත් ඉවර කරා උදේ නවය වගේ වෙද්දි.
දැං මේක කියවන සෙට් එකට හිතෙය් මුගෙ රස්සාවෙ මගුල් මොන ඉලව්වකට අපට කියනවද කියන එක. ඇත්තටම මේක කියන්න ලොකු හේතුවක් තිබ්බා. රටේ ලෝකෙ මිනිස්සු අපි ගැන මොන කතා කිව්වත් අපි ලඟට අසරන වෙලා එන හැම එකෙක් ගැනම අපට ලොකු කැක්කුමක් තියෙනවා. කාගෙ උනත් ජීවිතයක් නේද , මේ ඉන්නෙ කාගෙ හරි දරුවෙක්, සහෝදරයෙක්, අම්මෙක් , තාත්තෙක් කියන එක හැම වෙලාවෙම අපේ ඔලුවට වද දෙනවා.
ඉතිං මේ ආව තුන් දෙනාම අවුරුදු විස්සත් තිහත් අතරේ නාබර කොල්ලො. එක කොල්ලෙක් අවුරුදු දෙකක දරුවෙක්ගෙ තාත්තෙක්. අනිත් දෙන්නත් දෙමව්පියන් , සහෝදරයන් වෙනුවෙන් දාහක් වගකීම් තිබ්බ උං.
හැබැය් මේ එකෙක්ට වත් උංගෙ ජීවිත වල වටිනාකම වත් උංට තියෙන වගකීම් වත් සැලකිල්ලක් තිබ්බෙ නෑ.
තුන් දෙනාගෙන් එකෙක් වත් හෙල්මට් දාල තිබ්බෙ නෑ.
අපේ වචනෙං කිව්වොත් තුන් දෙනාම කරටි කැඩෙන්න ගහලා.
පුලුවං උපරිම වේගෙං ගිහිල්ල තිබ්බ වගක් තමය් වෙච්ච ඩැමේජ් වලින් පේන්න තිබ්බේ.
අනික් කාරනේ තමය් මේ තුන් දෙනාටම ඔලුවට වෙලා තිබ්බ හානි හැර වෙන කිසිම මාරාන්තික තුවාලයක් නෑ.
ඉතිං කොල්ලනේ, කෙල්ලනේ මේ කියන දේ ටිකක් ඔලුවට ගනිල්ලා උඹලා වෙනුවෙන් බැරිනම් උඹලට ආදරේ කරන උං , උඹලගෙ වටිනාකම දැනෙන උං වෙනුවෙන් වත්.
බයික් එකක් කියන්නෙ පාරෙ තියෙන අනාරක්ශිතම වාහනේ. ඉතිං උඹලා ඕකෙ යද්දි ඒ බව මතකේ තියා ගනිල්ලා. හැම වෙලාවෙම හෙල්මට් දාල හොඳට ලොක් එක දාගනිල්ලා.
බීලා නං බයික් එකකට නගින්න තියා හිතන්න වත් එපා.
ඒ වගේම උඹලා මොන වාහනේ හැප්පුනත් ලොකුම ඩැමේජ් එක වෙන්නෙ බයික් එකේ යන එකාට. ජීවිතේ නැතිවෙන්න හරි සදාකාලික අබ්බගාතයෙක් වෙන්න හරි තත්පර දශම ගානක් ඇති. ඒ නිසා පිඹලා යන්නෙ නැතුව කන්ට්‍රෝල් කරගන්න පුලුවන් වේග සීමාවක පලයල්ලා.
දැං අරුන්ට මොකෝ උනේ කියලා ප්‍රශ්නයක් එය් හැමෝටම. එදා ඉඳලා සති ගානක් උංව බලාගෙන දැඩි සත්කාර ඒකකයේ තියලා මාර ගේමක් දෙන්නෙක් ගොඩ දැම්මත් වෙච්ච ඩැමේජ් එකේ බරපතලකම නිසාම එකෙක්ව බේරගන්න බැරි උනා.
අවසාන වතාවටත් කියන්න තියෙන්නෙ මේ ජීවිතේ හුඟක් වටිනවා. එක මොහොතක හිතට දැනෙන පොඩි “ආතල් එකක්” වෙනුවෙන් නැති නාස්ති කරගන්න එපා ඕක.
අවසාන වශයෙං කියන්න ඕන මම මේ කියන උඹ, ඌ, මූ ,අරුන්, මුං,කරපං වගේ වචන වෙනුවෙන් අහිතක් හිතන්න එපා කියලා මොකද ඒවා තමය් මගේ ශබ්ද කෝශයේ තියෙන ආදරනීයම වචන…
(සේයා අන්තර්ජාලයෙනි)
උපුටා ගැනීම: වසන්ත බී හේරත් මහනුවර ජාතික රෝහලේ සිට..