සුදු බෙන්ස් රියේ පසුපස දිග ඇදී සිටි ශ්රීමාගේ සිතේ වූ නොරිස්සුම මදක් පහව ගියේ නිවසේ බරාදයේ නවතා තිබූ රිය දුටු විටය. ඒ දියණිය අෂාරි මෙවර ලංකාවට ආ විට ගමන් බිමන් යන්නට කුලියට ගත් රථයයි. අෂාරි අද සවස වන තුරු මිතුරියන් හා දවස ගත කරන බැව් උදේ පැවසූ බැවින් ඇය සිතුවේ තමන්ට අද දවසම තනිව තරහෙන් පුපුර පුපුරා ගත කිරීමට වන බවය.
තම දියණිය සිනාවෙමින් කියනා පරිදි දෙන්නාට එකතු වී “කට්ටියට මෛත්රීකිරීමට “ දැන් හැකිය.
රියදුරු කුමාරටත් තේ බීමට ගෙට එන ලෙස පවසා ඇය ගෙට ගොඩවූවාය. තමන් අවසානයට සේවය කළ කාර්යාලයේ සුභසාධක සංගමයේ වාර්ෂික සභා රැස්වීමේදී ඇයට “උදාර මාතා“ සම්මානය පිරිනැමීම අද සිදුවිය.
වදවී යන වනජීවීන් පිළිබදව කෙරෙන අෂාරිගේ පර්යේෂණ කටයුතුවල සාර්ථකත්වය හේතුවෙන් ඇය දැන් ලොව පුරා සම්මානයට පාත්ර වෙයි. මෙවර ඇය ලංකාවට පැමිණියේද රූපවාහිනී මාධ්ය ආයතනයක් මගින් ලබාදෙන “වසරේ ශ්රී ලාංකිකයා හෙවත් ශ්රී ලංකන් ඔෆ් ද ඉයර්“ සම්මාන උළෙලටය.
එවැනි දේ තුට්ටුවකටවත් මායිම් නොකළත් අෂාරි ලංකාවේ පැවැත්වෙන එවන් උළෙලවලට සහභාගී වන්නේ තමන් එයින් කොතරම් ආඩම්බරයට පත්වනවාදැයි දන්නා බැවින් බව ඇය සිහි කළේ සෙනෙහසිනි. එවන් උදාර දියණයකගේ මව වූ බැවිනි තමන්ටත් මෙලෙස උදාර මාතා සම්මානය පිරිණැමුණේ.
ඒ සම්මානය මෙන්ම කිරි සුදු බෙන්ස් රියද, විනීත රියදුරාද, මසවුළු පිසින ඇසිලින්ද දියණියගේ සෙනෙහස සමග ලැබුණු තෑගිය.
සාලයේ සෙටිය මත එරමිණියා ගොතාගෙන සිටින අෂාරි පරිගණකය ඔස්සේ කවුරුන් හෝ සමග සාකච්ඡාවකය. තම සැමියා ජීවතුන් අතර සිටින කාලයේ කට කැඩෙන තුරු “අෂා, සිට් ප්රොපර්ලි“, “අෂා, ක්ලෝස් යුවර් ලෙග්ස්”, “අෂා බිහේව් ලයික් අ ලේඩි” කීවත් පුටුවල එරමිණියා ගොතා ඉදගැනීමේ හා පුටු ඇදි උඩ ඉදගැනීමේ පුරුද්ද තවමත් ඇය සතුය.
මව දුටු ඇය වහා සංවාදය අවසන් කළාය. “අම්මා ඉක්මනට ඇවිත්. කොහොමද?”
“හොදයි හොදයි. ඔයාගේ හොද කිව්වා ඉතිං“ කියමින් ශ්රීමා කැබිනට්ටුවේ උඩම තට්ටුවේ තමන් අත තිබූ දැව සම්මානය තැන්පත් කළාය. උදාර මාතා සම්මානය, එම වීදුරු තට්ටුව මත විරාජමානව සිටි වීර මාතා, දිරි මෑණි ආදී සම්මාන ගොන්නට එක්විය.
“මම හිතුවේ පුතා ගොඩක් හවස් වෙලා එයි කියලා යාලුවෝ හම්බවුණේ කාලෙකින්නේ“
අෂාරි තම පැරණි පාසල් මිතුරියන් රැසක් සමග ෂැන්ග්රිලා හෝටලයේ දිනක් ගත කිරීමට කතා කරගෙන තිබුණේ ලංකාවට එන්නට සති කිහිපයකට පෙරය.
“මාත් එහෙමයි හිතාගෙන ගියේ අම්මා. ඒ වුණාට ගිය වෙලේ ඉදන් එන්නෙ කොයි වේලේද කියලා හිත හිත හිටියේ”
“ඇයි පුතා යාලුවෝ ආවෙ නැද්ද” ශ්රීමා ඇසුවේ දොර රෙද්දට මුවා වී සාරිය ලෙහන අතරතුරය. එය අෂාරි පකිස්ථානයේ සමුළුවකට සහභාගී වූ ගමනකදී ගෙන ආ එකකි.
“අනේ නෑ අම්මා. නිෂාදියි කුෂිනාරායි පබාවීයි ඇවිත් හිටියා. ෆැටී බබා එක්ක මගදි ආවා. කට්ටියගෙ කතාවම බබෙක් හදන්නේ නැද්ද? තිස් පහට වැඩියි කියන්නේ හයි රිස්ක් නේද අරවා මේවා. මම මුලින්ම කිව්වා මමයි අනුෂයි හතළිහ වෙනකං බබාලා හදන්නේ නෑ කියලා මුලින්ම ඩිසයිඩ් කළා. වී ඩෝන්ට් වෝන්ට් ටු හෑව් අ චයිල්ඩ් වෙන් වී කාන්ට් ගිව් හිම් ඉනෆ් අටේන්ෂන් කියලා”
“මම රිසර්ච් වලට රටවල්වල යද්දි අනුෂ තනියමද අහනවා, එයාට අන්ෆෙයාර් නේද අහනවා. පිස්සු තමයි. මම කිව්වා අපි දෙන්නා අපේ රස්සා ගැන අපේ ගෝල්ස් ගැන හොදට දැනගෙන බැන්දේ, ඒ නිසා ප්රශ්නයක් නෑ කියලා”
“අනේ පුතේ මගෙනුත් අර ඔෆිස් එකේ නෝනලා ඕවමයි ඇහුවේ. මට හයිය තියන කාලේ බලලා දෙන්න ඔයාට දැන්ම ළමයෙක් හදන්න කියන්නලු. මුණුපුරු මිණිපිරියෝ වට කරගෙන හම්බෙන සතුට ඔය මොන සම්මානෙකින්වත් ලැබෙන්නේ නෑ කියලා විමලා මිස් කිව්වා.“
“විමලා මිස් නේද අර පුතාගෙ බබෙක්ගේ කරත්තයක් පෑගිලා වැටිලා කකුල කඩන් හිටියේ” අෂාරි කීවේ සෝපහාස මද සිනාවකිනි.
තමන් එකල චීනයේ සිටි අෂාරි ලවා විමලාට අවශ්ය මිල අධික ටයිගර් බාම් හා බැන්ඩේජ් වර්ග ගෙන්වා ගත් බැවින් අෂාරිට එම සිදුවීම මතකය.
“ඔව් ඔව්”
——————————————————————————————————————————-
සැහැල්ලු බාච්චු ගවුමක් ඇගට දාගත් ශ්රීමා කුමාරටද තේ හදා දී ආවේ අෂාරි බොන ජැස්මින් තේ හා තමාට කහට කෝප්පයක් සහිතවය.
“මම නෙක්ස්ට් වීක් එන්ඩ් එකේ අපි කට්ටියට ෆොරස්ට් හයිඩවුට් බුක් කරන්න හිටියේ. මම ඒක අහන්නේ නැතුවම කැන්සල් කළා අම්මා. නෝ යූස් ස්පෙන්ඩිං මනි ඔන් දෙම්. මම දැන් කතා කළේ අර අම්පාරේ ස්කොල්ස් ඕර්ගනියිස් කරන මහින්දට. එයාට කිව්වා තව ළමයි දහයක් විතර ඇඩ් කරන්න කියලා මේ අවුරුද්දට. අනූත් කතා කළා අම්මා, එයා කියනවා මහින්දටම කියලා අපිට පොඩි දෙන්නෙකුත් බලන්න කියලා. ලබන අවුරුද්දේ මම ඇවිත් ඒ වැඩි ටික කරගන්න පුලුවන්නේ දැන්ම බලලා තිබ්බම.”
“බලන්න වැඩි දෙයක් නෑ පුතේ. කොයි ළමයෙක් කොහෙන් ගත්තත් ආදරෙන් හදද්දි හොදට හැදෙනවා.බය වෙන්න එපා”
“ ඔව් නේද අම්මා” අෂාරි කිව්වේ සෙටියේ දිග ඇදී අම්මාගේ උකුලේ හිස තබා ගන්නා ගමන්ය.
“ළමයට මාස දෙකේදී බීලා ඇවිත් නෝනා මැරිලා වැටෙනකම්ම ගහලා තමනුත් කෝච්චියට පැන්න මිනිහෙක්ගේ ළමයව හදාගෙන ලොකු කරලා ශ්රී ලන්කන් ඔෆ් ද ඉයර් කරපු නෝනා කෙනෙක් කියන නිසා ඒක පිළිගන්නම වෙනවනේ නේද”
ශ්රීමා කතා නැතිව නැවී අෂාරිගේ හිස සිපගත්තාය. ඇයට අදත් දැනුණේ දරුවකු නැතිව දහසක් කතන්දර ඇසූ අට වසරකට පසු අතට ගත් ඒ තනිවූ සිගිත්තියගේ සිනිදු හිස කේ කැටිය මුල් වරට සිප ගත් දා දැනුණු දරු සුවදමය.
උපුටා ගැනීම: Pavithra Abhayawardana