හොඳ පුතා වීමට ගොස් ටින්කිරි කෑම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොරෝනා දෙවැනි රැල්ලට පසුවද අපේ ගෙදර උන්දෑට ළඟපාත කාර්යාලයක් නොලැබුන නිසා ගෙදර සිට කිලෝමීටර සියයක් පමණ ගෙවාගෙන,පැය එකහමාරක් විතර මිඩංගු කරගෙන නැවතත් පරණ පුරුදු තැනටම යාමට සිදුවිය. අපේ කොලුවාටත් යන්තම් මාස නවය සම්පූර්ණ වුනා විතරයි. බිරිඳගේ දෛනික ගමනාගමනය විඩාබර වූ නිසාත්, දරුවාට අම්මා සමඟ ගතකරන්නට ලැබෙන කාලය අඩු නිසාත් විසඳුමක් ලෙස අපි බදු නිවසක පදිංචියට යාමට තීරණය කලෙමු.
බොහෝ වෑයම් කොට ඉඩකඩ සහිත වැදගත් පවුලකට අයත් ගෙයක ඉහල මාලය අපිට කුලියට ගැනීමට හැකි විය. වැඩි කල් නොයවා අපි බඩුමුට්ටුද එක්කාසු කරගෙන එහි පදිංචියට ගියේ මගේ බිරිඳගේ දෙමාපියන්ද කැටිවයි.
බිරිඳට රැකියා ස්ථානයට යාමටත්,මට මගේ සායනයට යාමටත් වැඩි වේලාවක් ගතනොවුන නිසා අපිට වැඩිපුර කාලයක් දරුවා සමඟ ගතකිරීමට ලැබිනි.ඒ අතරතුර පහල ගෙදරත් අපිත් අතර සුහදත්වයද කෙමෙන් කෙමෙන් වැඩිවිනි. එය කෙතරම්ද කියතොත් අපට දැනුනේ අපි පවුල් දෙකක් නොව තනි පවුලක් ලෙසයි.
කාලය කෙමෙන් කෙමෙන් ගලාගොස් වසරක කාලයක් ගතවූ තැන ,බදු ඔප්පුව අලුත් කිරීමට කාලය එලඹ ඇතැයි දැනුම්දීමක් මට ලැබුනු නිසා මමත් බිරිඳත් කලයුත්තේ කුමක්දැයි කියා කතාබහ කරගතයුතු විය. ඒ වන විටත් බිරිඳට මාතර කාර්යාලයකට පත්වීමක් ලැබී තිබුන නිසාත් ,තවදුරටත් වියදම් කරමින් අනුන්ගේ නිවසක රැඳී නොසිට අපේ මහගෙදරකට ගොස් ගෙයක් හදාගන්නා තුරු ඉඳිමු යන්න අවසාන වශයෙන් යෝජනා විය.
නමුත් අප දැනට පාවිච්චි කරන ඇඳ පුටු මේස සහ අනෙකුත් උපකරණ තැබීමට හදිසියේ තැනක් සූදානම් කරගැනීමට වෙලාවක් නොවූ නිසා, අපි තවත් මාසයක පමන කාලයක්, ඔප්පු කාලයට අමතරව රැඳීසිටීමට අවශ්ය බව දන්වා සිටියෙමු. හිමිකරුවන්ගේ අකමැත්තක් නොවුවත්, ” යන්න මාස තුනකට කලින් අයිතිකරුවන් දැනුවත් කලයුතුයි” යන නීතිමය කාරණය මට අවධාරනය කෙරිනි.
ඔප්පුව ලිව්වේ අවුරුද්දකට නිසාත් ,අවුරුද්දක් අවසානයේ කොහොමත් අදාල ගිවිසුම අවලංගු වන නිසාත් මම ඒ ගැන වැඩිදුර විවාදයක් අවශ්ය නැතැයි සිතා කරබා ගතිමි.
ඉන් දිනකට හෝ දෙකකට පසු උදෑසන වරුවක මට ලැබුණ ඇමතුමකි. ඒ අපේ බදුහිමියාගෙනි. මේ අගෝස්තුවේ මුල සතියයි.
“පුතා, පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?, අපේ ලොකු දරුවට කොවිඩ් පොසිටිව් වෙලා.එයාව ගෙදර එක්කගෙන ආවා ඊයේ රෑ,එයාව අද උදේ හොස්පිටල් එකේ නතර කලා,ඔයාලට දැනුම් දෙන්නයි කතා කලේ”
“ආහ් හරි , අපි දෙගොල්ලෝ ගැටෙන්නේ නෑනේ ඉතිං නිතරම, ඒක ගැටලුවක් නෑ. බය තියෙන්නේ දරුවා ගැන තමයි. බලමු…!”
ඒ වහාම මම අපේ බිරිඳ අමතා සියලු විස්තර පවසා සිටියෙමි. එකල ඩෙල්ටා ප්රභේදය වඩා තීව්රව පැතිර ගිය නිසාත් ,හදිසියේ හෝ නියවැසියන් සියලුදෙනා නිරෝධායනය කලහොත් අපිටද නිරෝධායනයට ලක්වීමට සිදුවේයැයි තිබූ බිය නිසාත් අපි ⁣ඉවත්වී යායුතු බව අවසානයේ තීරණය කලෙමු.
ඒ තීරණය ගෙහිමියන්ටද දැනුම් දී ඉදිරි දින දෙක තුන ඇතුලත අත්යවශ්ය සියලු දෑ පමණක් රැගෙන බිරිඳගේ මහගෙදරට යාමට සියල්ල සැලසුම් කෙරිනි. මේ අතරවාරයේ තවත් ඇමතුමකි.
“පුතා.ලොකු දරුවගේ ටිකට් කපනවා කිව්වා අගෝස්තු දහය. අද හතයි නේ. එයාව තනියෙම තියන්න කිව්වා දවස් 14ක්. අපි බැලුවේ එයාව දෙනියායේ හරි මොරවක හරි යවන්න. ඒත් පී.එච්.අයි කියනවා එහෙම නැතිව ගෙදර අයට කිට්ටුවෙන් තියාගන්න කියලා. මම මේ කතා කලේ ,ඔයාලා කොහොමටත් යන නිසා අපිට ඔයාලගේ සාලෙයි එක කාමරේකුයි හිස් කරලා දෙන්න පුලුවන්ද කියලා අහන්න,අපහසු නම් ප්රශ්නයක් නෑ,ලොකු දරුවා මේ ලඟපාත කාමරයක් හරි අරන් අපි නතරකරගන්නම්…”
“නෑ නෑ…පිස්සුද, එහෙම කරන්න එපා ,අපි කොහොමත් බඩු අස් කරන්න ඕනේ. අනෙක අපි රෙන්ට් එකට හිටියට මේ ගෙදර ඔයාලගේ නේ. වෙන තැන් වල ගිහින් ඉන්න එක හරි මදිනේ. කමක් නෑ.දහවෙනිදට කලින් අපි පුලුවන් තරමක් බඩු ටික අයින් කරලා කාමරේකුයි,සාලෙයි,කුස්සියයි හිස් කරලා දෙන්නම්. වැඩේ තියෙන්නේ හදිස්සියේ අපිට බඩු ටික දාගන්න තැනක් නැති එකයි. නැත්නම් මුලු ගේම හිස් කරලා දෙන්න තිබ්බා.” කියලා මම කිව්වා. මිනිස්සු උදව්වක් ඉල්ලුවම නොකර ඉන්න බෑනේ.අනෙක මේ කොරෝනා කාලේ අපේ ජීවිත වුනත් ෂුවර් නෑනේ.
ඒ නිසා දින දෙක තුනක් ඇතුලත කල යුතුව තිබූදේ වරුවකින් සිදුකොට ,බිරිඳත් මමත් දින දෙකක් මැදියම් රෑ වනතෙක් සියලු අනෙකුත් සියලු බඩුබාහිරාදිය අසුරා කාමර දෙකකට දමා අගුලුලා, කුස්සියත්, නාන කාමරයත්,සාලයත් ,ඉස්තෝප්පු කාමරයත් සුද්ද පවිත්රකොට නිවැසියන්ට බාරදී, අගෝස්තු මාසය වෙනුවෙන් ගෙවිය යුතු මුදලත් සතයක් අඩු නැතිව ගෙවා බිරිඳගේ නිවසට පැමිණියෙමු.
අගෝස්තු මාසය ගෙවී ගියේය. සතියකට හෝ දෙකකට වරක් නිවැසියන්ට දුරකතන ඇමතුමක් දී සුවදුක් විමසීමට අපි අමතක නොකලෙමු.
“පුතා අගෝස්තු මාසේ සල්ලිත් දාලා තිබුණා, ඔයාලා හිටියෙත් නැතිව. ඒ ටික ආයේ දෙන්නත් ඕනේ…”කියා ගෙහිමියා මගේ බිරිඳ සමඟ කියූ බව ඈ මට කියද්දී මට සෑහෙන පැහැදීමක් ගෙහිමියා කෙරෙහි ඇති වුණේ නිතැනින්ය. මා මුදල් ගෙවූයේ සල්ලි වැඩි කම නිසා නොව ,අමතර පන්ති කිරීමෙන් උපයාගන්නා මුදලත් නිරෝධායන කටයුතු නිසා ඔවුන්ට අහිමි වන නිසාත්, “සල්ලි දෙන්න තියෙද්දී හදිස්සියේ පැනලා ගියා” යන දෝෂාරෝපණය අසා ගැනීමට මා පුද්ගලිකව අකමැති නිසාත්ය. නමුත් ඒ සල්ලි ආයේ දෙනවා කියද්දී දැනුන සතුට කියා නිම කල නොහැකි විය.
ගෙහිමියන්ගේ නිරෝධායන කටයුතු අවසන් වූ වහාම අපි අපේ බඩුබාහිරාදිය රැගෙන ඒමට සියල්ල සූදානම් කර තිබුණි. නමුත් කරුමයක මහත,හදිසියේ සංචරන සීමා වැටින.එය සතියෙන් සතිය කල් ඇදුනේය.”සංචරන සීමා තිබුනට පාරේ යන්නේ නැත්තේ නැව් විතරයි ” කියා කිව්වත් බඩු ටික පටවාගෙන ඒමට එකඳු ලොරියක් සොයා ගැනීමට අපට නොහැකි විය. ගෙහිමියාටද අපේ බඩු අස්කරවා ගැනීමට එතරම් හදිස්සියක් ඇති බවද පෙනෙන්නට නොතිබුනි.
සැප්තැම්බර් අවසන් සතියේ අතේ සල්ලි නොමැතිවීමෙන් තැන්පතු මුදල ලෙස මා තැබූ රුපියල් ලක්ෂයක් ගෙහිමියාගෙන් ඉල්ලා ගැනීමට සිතා මම දුරකතන ඇමතුමක් ලබාගත්තෙමි.
“අනේ ටීචර්, මට පොඩි සල්ලි හදිස්සියක්, කී මනි ගන්න පුලුවන්වෙයිද දන්නේ නෑ නේද?,අනේ පුලුවන් නම් ලොකු උදව්වක්” මම ඇගෙන් හැකි තාක් ආදරයෙන් ඉල්ලා සිටියෙමි.
“ආහ්, කී මනි නේද? , මම මේ කෝල් එකක් ගන්නමයි හිටියේ, තාම බඩු ටිකත් මෙහේ නේද? ලබන මාසේ වත් උඩතට්ටුව රෙන්ට් එකට දෙන්න ඕනේ. ඔයාලා ඉක්මනට බඩු ටික අස් කරගන්නකෝ.” ගෙහිමියාගේ දුරකතනය විසන්ධි විය.
“ඇත්ත නේන්නම්, බඩු තියෙද්දි කී මනි දෙන්නේ නැතුව ඇති.” මම මටම කියාගත්තෙමි.
නොවඳිනා වැඳුම් වැඳ ලොරියක් කුලියට ගෙන මාමණ්ඩිගේ හිතවතුන් කිහිපදෙනෙකුද පටවාගෙන කුලී ගෙදරට ගොස් වරුවකින් අප සිටි කොටස අස්කරගෙන අප ඒ කුලී නිවසට සමු දුන්නෙමු. ලොරිය පිටත් කිරීමට හදිස්සි නිසා ඔන්ලයින් උපකාරක පන්තියක් කරමින් සිටි ගෙහිමියාට බාධා නොකොට, පසු දින දුරකතන ඇමතුමක් දී ඇයව හමුවන අටියෙන් මම ගෙදර ආවෙමි.
“හලෝ, ටීචර්, බිසීද? ඊයේ ක්ලාස් එකක් නිසා මම කරදර කලේ නැතිව ආවා හදිස්සියට. ටීචර් එහෙනම් මට කී මනි දානවද අද? ,අගෝස්තු මාසේ මුලු ගානම (25,000/=) මට එපා. අපි දවස් කීපයක් හිටියත් නේ.ඒ දවස් ටිකට සාධාරණ ගානක් අඩු කරගෙන ඉතිරි ටික විතරක් දැම්මම ඇති” ගෙහිමියාට කීවෙමි.
“කී මනි දාන්න නම් දවස් තුන හතරක් යයි පුතා. අ⁣ගෝස්තු මාසේ සල්ලි ආපහු දෙන එක නම් අපේ මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරලා තමයි කියන්න වෙන්නේ. මොකද කාමර දෙකක්ම ඔයාලගේ බඩු දාලා වහලානේ තිබ්බේ.අනෙක සැප්තැම්බර් මාසෙත් ඒ ටික තිබ්බානේ…!මම කියන්නේ සැප්තැම්බර් මාසෙට සල්ලි ඕනේ කියලා නෙමෙයි. අනිත් එක ඔයාලා ගිහිල්ලා දවස් කීපෙකින් බිඩේ ෂවර් එකක් අපි අලුතෙන් දැම්මා තිබුණ එක ලීක් වුණ නිසා,තව ඔයාලා ඉන්න දවස් වල දොරවල් දෙකක අගුලු මාරු කලා නේ , ඒවයේ වියදම් ටිකත් තියෙනවා. මම හැමදේම ලියලා තියෙන්නේ. අනෙක ඔයාල ගෙවන්න ඕනේ ලයිට් ,වතුර බිල් මම ගෙව්වා,ඒවත් කී මනි වලින් අඩුකරන්න වෙනවා…,” කියමින් පත යාන්හෑල්ලක් දිගහරින්නට පටන්ගත් ගෙහිමියා කතාව නතරකරන පාටක් නැත.
අපි කුලී නිවසට යද්දී අලුතෙන් දමා තිබූයේ බල්බ පමණි. ඊට අමතරව දොරවල් නැති කාමර වලට දෙරවල් දමා තිබුණි. දොර අගුලු, බිඩේ ෂවර් ආදිය අවුරුදු 5ක් හෝ 10ක් පැරණිය. මට මතක හැටියම නම් අපි කවුරුවත් බිඩේ ෂවර් එකෙන් අදාල කාර්ය කලා හැර වෙන මලදානයක් නොකලෙමු. ඒ දිනවලම කැඩී ගිය පරණ බිඩේ ෂවර් එක වෙනුවට මා විසින් හොඳම වර්ගයේ එකක් ද සවිකලෙමි.තවද අපි දොර අගුලු වල එල්ලී ඔන්චිලි පදින්නට තරම් මන්දබුද්ධිකයන් නොවේ. ඉදින් වසර ගනණක් පැරණි බාල බඩු වෙනුවෙන් අපි මුදල් ගෙවිය යුතුද?
මේ කිසිවක් මා ඇගෙන් ඇසුවේ නැත.මට වැඩිහිටියන්ට නිගාදෙන අයුරින් උස්හඬින් කතාකර බහින්බස් වී පුරුදු නැත.
“හරි, ඒකත් එහෙමද? හොඳයි, ඔයාලා කොහොමත් අපෙන් අසාධාරණ විදියට සල්ලි ගන්න එකක් නෑනේ…කපාගන්න ගානක් කපාගෙන ඉතුරුටික මට දෙන්නකෝ. බිල් ටික මට ෆොටෝ ගහලා දාන්න. මට තර්ක කරන්න දෙයක් නෑ. “
මම දුරකතනය විසන්ධි කලේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණු එකා ගානටය.
මේ සටහන තැබුවේ දුක කියන්නටය. සමහරවිට මා වැරදි වන්නටද පිලිවන. තීරණය පාඨකයා සතුය.
උපුටා ගැනීම: ~ජය ශ්රී~

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!