එකම එක පාරක් මම හොරකමක් කරා. සැලසුම්සහගත එකක්. එතකොට මම ඒලෙවල් කරනවා. ගාල්ලේ ලොකු අම්මගේ ගෙදර නැවතිලා ඉඳන්. යෝජනාව ගෙනාවේ යාලුවෙක්. පෙරැත්ත කරන්න ඕන උනේ නෑ. මම එකසැරේටම කැමති උනා. අපි දෙන්නටම ඕන උනේ ඒක මොනවගේද කියලා බලන්න මිසක් අවශ්යතාවයක් සපුරගන්න නෙමෙයි.
“කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බ වෙනවමයි” කියලා ඉස්සරම දවස්වල අම්මා කිව්වා වගේම අපේ පවුලම ආර්ථික අගහිඟකම් වලින් මිදිලා හිටපු කාලයක්. සිතු පැතු සම්පත් නැති උනත් අක්කලා දෙන්නම රස්සාවල් කරපු නිසත් වියදම් කරන්න ඉතුරු වෙලා හිටියේ මම විතරක් නිසත් අඩු පාඩු මුකුත්ම නැතුව සැප පහසුවට ජීවත් වෙච්ච කාලයක්.
අපි දෙන්නා ක්ලාස් ඉවරවෙලා වැඩිය සෙනග නැති, ගෝලයො නැතුව මුදලාලි විතරක් වෙළඳාම් කරන පුංචි කඩේකට ගියා සුකුරුත්තන් පිරිලා තිබිච්ච. සැරින් සැරේට ඉල්ලන බඩු ෂෝ කේස් එක උඩ තියන මුදලාලිගෙන් අපි බඩු වල ගණන් අහන ගමන් හිටියේ. මුදලාලි අපි බඩු ඉල්ලන නිසාම කාර්යබහුල වෙලා අවධානය අඩුවෙලා තිබුනේ. මට මතක නෑ යාලුවා මොකද්ද ගත්තේ කියලා. මම ගත්තේ කොණ්ඩ කට්ටක්. කලු පාට වෛරම් වැටිච්ච මෙරුන් පාට එකක්.
ඊටපස්සේ අපි නැවතුනේ බස් ස්ටෑන්ඩ් එකේ. බොරු කියන්නේ මොකටද හිතේ තිබුනේ අමුතුම සතුටක්. කරන්න අමාරු, ලොකු වැඩක් සාර්ථකව ඉවර කරාම ඇතිවෙන ජයග්රාහී හැඟීමට සමාන එකක්. පව්කාරකම ඇරෙන්න වෙන මොකද්ද ඉතින්. හොඳ නරක, කුසල් අකුසල් ගැන ගැඹුරින් තේරුම් ගනිත්දි මම දුක් උනා ඒ හැඟීම ගැන පස්සේ කාලෙක මදි නොකියන්න. මොකද අවශ්යතාවයක් නැතුව විනෝදයට හොරකම් කරන්න මිනිස්සුන්ව පොළඹවන්නේ ඒ හැඟීම වෙන්නැති කියලා මට හිතුනා.
“සොභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.”
තාත්තා නිතරම කියපු දෙයක්. අපි වැරැද්දක් කරොත් සොබා දහම අපට දඬුවම් කරනවා, ඒක නිසා නිතරම හොඳින් ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවෙදිත් සොබා දහම මට බොහොම වටිනා පාඩමක් කියලා දෙන ගමන් හිටියේ. රු. 190 ක් (හරියටම ගාන මතක නෑ. ඒත් කඩේ තිබිච්ච කුඩවලින් මිල අධිකම කුඩයක්) වටින අලුත්ම කුඩේ කලබලේට ඒ කඩේ දාලයි මම ඇවිත් තිබුනේ. ඉතින් කුඩේ ඉල්ලගෙන ආයෙමත් යන්නද? සතුටක් වගේම හිත තිගැස්සිලා තිබුනේ කවදාවත් නොකරපු, වැරැද්දක් බව දැන දැනම කරපු දේ නිසා. හොඳම දේ තමයි කොණ්ඩ කටුව රු. 15 යි. මම කොණ්ඩ කටු කොණ්ඩෙට ගහපු කෙනෙකුත් නෙවෙයි. කාලයක් යනකම් කොණ්ඩ කට්ට මම ළඟ තිබුනා. කවදාවත් කොණ්ඩට නොගහම.
ඒ වගේම කවදාවත් ඒ කඩේට යන්න තියා හැරිලවත් බලන්න බය හිතුනා. මම හිත හදාගත්තා මගේ අලුත්ම කුඩේ මුදලාලිට කොයි විදියකින් හරි ප්රයෝජනවත් වෙන්න ඇති කියලත්.
උපුටා ගැනීම: Anu Jayawardane